ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට විවාදයක් නැත. එහෙත් එය වේදිකාගත නාට්‍යයක් වන්නේ නම් ඉන් රටට අත්වන සෙතක් නැත. වර්තමාන “අපරාධ මර්දනයේ” සැබෑ අවධානය යොමුව ඇත්තේ අපරාධ මත නොව දේශපාලනය මත බව පෙනේ.
ඊනියා පාතාල පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් හා ඔවුන් නාටකාකාරී ලෙස ඉදිරිපත් කිරීම් මෙන්ම කිසිදු සාක්ෂියක් නොමැතිව විපක්ෂ දේශපාලකයන් එම පුද්ගලයන් සමග සම්බන්ධ කිරීම, යුක්තිය වෙනුවට මහජන සංදර්ශනය සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම් මෙම ක්‍රියාදාමය තුළ පැහැදිලිව නිරුවත් වේ.
අපරාධ මර්දනය කරන බවට දිනපතා පුරසාරම් දොඩන ආණ්ඩුවේ ඝෝෂාව කීතු කීතු කරමින් පසුගිය දා වැලිගම ප්‍රාදේශීය සභාව ඇතුළටම පැමිණි තුවක්කුරුවෝ දෙදෙනෙක් එහි සභාපතිවරයාට වෙඩි තබා ඝාතනය කළහ. මේ අතර මීට මාස කීපයකට පෙර අධිකරණය තුළටම විත් රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටි සැකකරුවකු වෙඩි තබා ඝාතනය කිරීමට තරම් අපරාධකරුවන් දිරිමත් වී ඇත. දිනපතා කොහේ හෝ ඝාතනයක් සිදුවේ. පාතාල ක්‍රියාකාරකමක් සිදුවේ.
සංවිධානාත්මක අපරාධවලට එරෙහි ආණ්ඩුවේ ක්‍රියාදාමය එහි සාරයට වඩා ආණ්ඩුවේ පෙනුමට (optics) සේවය කරන බව පෙනේ. කොටින්ම ආණ්ඩුව අපරාධ මැඩලීම සඳහා ක්‍රියා කරනු වෙනුවට අපරාධ සම්බන්ධ සිදුවීම් තම අසාර්ථක දේශපාලනය වසං කර ගැනීම සඳහා යොදා ගන්නා ආකාරය දැකිය හැකි ය. මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආණ්ඩුවේ සෙසු මැති ඇමැතිවරුන් සංවිධානාත්මක අපරාධවලට ”දේශපාලන සම්බන්ධතා” පිළිබඳව නැවත නැවතත් පුළුල් ප්‍රකාශ නිකුත් කර ඇති ආකාරය සලකා බලන්න. විපක්ෂ දේශපාලනඥයන් මෙම අපරාධ කල්ලිවලට, මත්ද්‍රව්‍ය ජාල සහ ඝාතනවලට බැඳී සිටින බව කිසිදු සාධකයකින් තොරව ඒවාහි දී ඉදිරිපත් කරනු පෙනේ.
එවන් ප්‍රකාශ කරන විට ඒ පිළිබඳ කිසිදු විනිවිද පෙනෙන පරීක්ෂණයක් හෝ අඩුම වශයෙන් ප්‍රශ්න කිරීමක් හෝ සිදුකර නැත. නඩු පැවරීම් කොහොමත් සිදුකර නැත. ඒ වෙනුවට අපට ලැබෙන්නේ මාධ්‍ය පරිභෝජනය සඳහා පිළිවෙළට ඇසුරුම් කර ඇති සතුරකු - එනම් ”පාතාල චරිත” + ”විපක්ෂ වංචාකරුවන්” - යන නිරන්තර ඝෝෂාවයි..
විපක්ෂ දේශපාලකයන් (හෝ ඔවුන්ගේ ඥාතීන්) ප්‍රධාන මත්ද්‍රව්‍ය හෝ ආයුධ වැටලීම්වලට සම්බන්ධ කිරීමෙන්, රජය තමන් වීරයකු ලෙසත්, විපක්ෂය කුමන්ත්‍රණකරුවකු ලෙසත් සමාජගත කිරීමට ආණ්ඩුව සැරසෙන බව පෙනේ. විශේෂයෙන්ම අත්අඩංගුවට ගන්නා අය කිසියම් රාජපක්ෂ කෙනකු හෝ වෙනත් විපක්ෂ දේශපාලකයකු සමග සිටින පින්තූරයක් පෙන්වා “මෙන්න බලන්න අපි කියන්නේ බොරු ද” වැනි ලද බොළඳ සහ වංචනික ප්‍රශ්න අසනු දැකිය හැකි ය.
එවැනි පින්තූරවල බොහෝ විට සිටින්නේ අදාළ පුද්ගලයා අපරාධවලට සම්බන්ධ වීමට බොහෝ පෙර රාජපක්ෂ කෙනකු සමග ගත් පින්තූරයකි. ඇරත් ඒවා ප්‍රසිද්ධ තැන්වල-ජනහමුවල ගත් පින්තූරය. කිසියම් පුද්ගලයකුට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග පින්තූරයක් ගැනීමට අවශ්‍ය නම් අද ද එය කරගත හැකි ය. පින්තූරය ගැනීමට පෙර මහින්ද ඔවුන්ගේ චරිත සහතිකය ඉල්ලා සිටින්නේ නැත.
අප අවධාරණය කරන්නේ අදාළ අත්අඩංගුවට ගැනීම සැබෑවක් නොවන බව නොවේ. එහෙත් ඊට දෙන අවධාරණයේ තිබෙන දේශපාලන වර්ණ ගැන්වීමයි. එය කිසිදු පදනමක් නොමැතිව, හුදු දේශපාලන මඩ ප්‍රහාර සඳහාම යොදා ගන්නා තැතින් කරන්නකි. අදාළ පුද්ගලයන් හෝ අපරාධ පිළිබඳ කිසිදු ස්ථිර නීතිමය තීන්දුවක් හෝ විශ්වසනීය පරීක්ෂණයක් පැහැදිලි වීමට බොහෝ කලකට පෙර ඒවා ඉදිරිපත් කෙරේ.
මෙම නාටකය භයානක වන්නේ මෙතැනදීය. එනම් විපක්ෂය සමග පාතාල අපරාධ සම්බන්ධ කිරීමෙන් රජය නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන අවියක් ලෙස භාවිත කිරීමයි. මහජනතාවට යවන පණිවිඩය වන්නේ: ”අපරාධකරුවන් විපක්ෂ කණ්ඩායම්වල සැඟවී සිටින අතර, අපි ඔබගේ ආරක්ෂකෙයා් වෙමු.” යන්නයි. එසේ කියන සහ පෙන්වන අතරතුර, රටේ සැබෑ ව්‍යුහාත්මක ගැටලු - දරිද්‍රතාව, විරැකියාව, ජීවන බර, පද්ධතිමය දූෂණය, දුර්වල ආණ්ඩුකරණය -ජනතා ඇසින් දුරස් කෙරේ.
”දේශපාලන-පාතාල සම්බන්ධතා” පිළිබඳ රජය නැවත නැවතත් ව්‍යාජ ප්‍රචාර කිරීම ඔස්සේ, වෙනස් දේශපාලන මත දැරීම සහ අපරාධකාරී හැසිරීම අතර රේඛාව ද බොඳ කිරීමට කරන උත්සාහයක් දැකිය හැකි ය. විපක්ෂ දේශපාලනඥයකු අපරාධ ජාලයකට ”ඇඟිලි ගැසී” ඇත්නම් (සාක්ෂි නොතකා), එවිට ඔවුන්ගේ හඬ මහජන ඇසෙහි නීති විරෝධී ලෙස පෙන්වනු ඇත. අත්අඩංගුවට ගැනීම් හරහා යුක්තිය ඉටු කරනු වෙනුවට එය හුදු ආඛ්‍යාන පාලනය (narrative control) සඳහා යොදා ගැනේ.
සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම සම්බන්ධයෙන් රජය සැබවින්ම බැරෑරුම් නම්, සංදර්ශනවලින් ඉවත්ව ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. පූර්ණ විනිවිදභාවයකින් යුත් ස්වාධීන පරීක්ෂණ, විශේෂයෙන් දේශපාලනඥයන් අපරාධ සමග සම්බන්ධතා ඇති බවට චෝදනා කරන විට එවන් ක්‍රමවේද අත්‍යවශ්‍ය වේ. එසේ නොමැති විසංවේදී මාධ්‍ය සාකච්ඡාවලින් ඉටුවන සෙතක් නැත.
පොලීසියට ද මෙහි බරපතළ වගකීමක් තිබේ. ඒ මහජන විශ්වාසයට වගවීම ය. දේශපාලනික රඟපෑම්වට හසුව පොලිස් සේවය කෙරෙහි තිබෙන මහජන අවිශ්වාසය තවත් වැඩි නොකර සහ ආණ්ඩුවේ ප්‍රචාරක ආඛ්‍යානයට සේවය කිරීම ඉවතලා යුක්තිය වෙනුවෙන් සේවය කිරීමට පටන් ගත යුතු ය.
පොලිසිය ගැන කතා කරන විට පසුගිය දා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ දී සිදු වූ සිදුවීම සහ ඒ සම්බන්ධයෙන් පොදු සමාජය මෙන්ම ආණ්ඩුව දැක් වූ භයානක ප්‍රතිචාරය ද සටහන් කළ යුතු ය.
යුක්තිය සහ සාමය සංකේතවත් කරන ස්ථානයක් වන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ නීතිය බිඳ වැටීමකට පසුගිය දා ලක් විය. බොහෝ අයගේ අවධානයට ලක් වූ මෙම සිදුවීමට හේතු වූයේ, නවතා තිබූ වාහනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකින් පසු පොලිස් කොස්තාපල්වරයකු අධිකරණ පරිශ්‍රය තුළ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකුට පහර දුන් බව කියන සිද්ධියකි. නීතිඥවරයාට අනුව, කොස්තාපල්වරයා වාහනය වහාම ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය. නීතිඥවරයා පොලිස් නිලධාරියාගේ නියෝගයේ නීත්‍යනුකූලභාවය ප්‍රශ්න කළ විට, තත්වය ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වූ බව කියවේ.
අධිකරණ පරිශ්‍රයෙන් ලබාගත් සීසීටීවී දර්ශන සියුම් හා පැහැදිලි දර්ශන නොමැති වුවද දැන් අන්තර්ජාලය හරහා පුළුල් ලෙස සංසරණය වෙමින් පවතී. එම දර්ශන හරහා නීතිඥවරයාගේ කතාව සනාථ කරන බව පෙනේ. කොස්තාපල්වරයා සහ නීතිඥවරයා අතර යම් වචන හුවමාරුවක් වීමෙන් පසු නීතිඥවරයාට ශාරීරිකව පහර දෙන අයුරු එහි දක්නට ලැබේ. මෙය හුදෙක් ආරවුලක් නොවේ. එය නීතිමය අවකාශයන්හි පාරිශුද්ධභාවයට සහ නිසි ක්‍රියාවලියේ මූලධර්මයට පහර දීමකි.
ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ජාතියක, එවැනි සිදුවීමක් රජයෙන් වහාම, නිසැක ලෙසම හෙළා දැකීමට හේතු විය යුතුව තිබුණි. එහෙත් ශ්‍රී ලංකාවේ, අපි දැක්කේ ප්‍රතිවිරුද්ධ දෙයයි. බලයේ සිටින අයගෙන් බිහිරි නිහඬතාවක් සහ නීතිඥවරයාගේ හැසිරීම පිළිබඳව සැක පහළ කිරීමට හෝ පහරදීමේ බරපතළකම අවතක්සේරු කිරීමට සමහර ඉහළ නිලධාරීන් විසින් කරන ලද සියුම් උත්සාහයක් දක්නට විය.
වඩාත්ම අමනෝඥ වන්නේ ප්‍රහාරයෙන් පසු රජයේ ස්ථාවරයයි. අධිකරණ සංකීර්ණයක් තුළ නීතිඥයකුට පහර දීමේ බරපතළකම හඳුනා ගැනීම වෙනුවට රජය යුක්තිය පසිඳලීමට වඩා පොලිසියේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීමට වැඩි ආයෝජනයක් කර ඇති බව දක්නට ලැබුණි. සිදුවීමෙන් පසු අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා මල්මාලා දමා පිළිගැනීම වැනි විකාරරූපී ක්‍රියා ආණ්ඩුවේ සහාය ඇතිව සිදු වූ බව බැහැර කළ නොහැකි ය. ඒ ඔස්සේ සමාජය තුළ නිර්මාණය කළ මතය වූයේ කෙනකුට පහර දීම පවා විශේෂයෙන්ම පහර කෑමට ලක් වූ පුද්ගලයා ඊනියා ප්‍රභූවරයකු නම් එය සැමරිය යුතු ක්‍රියාවක් බවයි. උණුසුම්ව පිළිගත යුතු ක්‍රියාවක් බවයි. මේ සමස්ත ක්‍රියාදාමය පිළිබඳ නීතිඥයකු ද වන අධිකරණ ඇමැතිවරයා ලජ්ජාවට පත්විය යුතු ය.
මෙම ප්‍රහාරය පිළිබඳ රජයේ ස්ථාවරය හුදෙකලා සිදුවීමක් පමණක් නොවේ. එය නව රජය යටතේ දිග හැරෙමින් පවතින විශාල හා වඩාත් විනාශකාරි දේශපාලන උපාය මාර්ගයක තවත් ලක්ෂණයකි. මෙම උපාය මාර්ගය බලය පවත්වා ගැනීම ගැන පමණක් නොවේ. එය සමාජය තුළ බෙදීම් ඇති කිරීම, පවතින සමාජ ආතතීන් දේශපාලන වාසියට යොදා ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදය ඛාදනය කරන සැබෑ ගැටලුවලින් මහජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම යනාදිය මෙහි සැඟව තිබේ.
සමාජයේ විවිධ කොටස් එකිනෙකාට එරෙහිව පෙළගැස්වීමෙන්, රජය තමන්ගේම අසාර්ථකත්වයන්ගෙන් අවධානය වෙනතකට යොමු කරමින් සහ ජනතාව බෙදා තබා ගැනීමෙන් පාලනය තහවුරු කර ගැනීමේ උත්සාහයක් ද වේ.
මෙම සිදුවීමේ පතුලෙහි ඇත්තේ ප්‍රභූ පෙළැන්තිය සහ ප්‍රභූ නොවන බහුතරය අතර පසුගිය කාලය පුරාම ආණ්ඩුවේ දේශපාලන තන්ත්‍රය මගින් ඇති කළ සහ තාමත් ඇති කරමින් සිටින වෛරයයි. ශ්‍රී ලංකාවේ, නීති ප්‍රජාව බොහෝ විට ප්‍රභූ පෙළැන්තියේ කොටසක් ලෙස සැලකේ. වෘත්තිකයන්, බොහෝ විට කොළඹ හෝ ප්‍රධාන නගරවලින් පැමිණි අය, ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ දෙනකුට ළඟා විය නොහැකි අධ්‍යාපනය සහ සම්පත් ලබාගත් අය ලෙස හුවා දක්වා ඇත. මෙය ඔවුන් සාමාන්‍ය මිනිසාගේ ජීවිතවලින් බැහැර වූවන් ලෙස පින්තාරු කිරීමට යොදා ගැනේ.
එහෙත් සත්‍ය නම් නීතිඥයෝ අධිකරණයේ නිලධාරීහු ය. ඔවුන් අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය වේ. ඔවුන්ගේ රාජකාරිය කිරීමේ දී හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කර ගැනීමේ දී ඔවුන්ට පහර දෙන විට එහි ඇඟවුම් එක් වෘත්තියකට වඩා බොහෝ දුර යයි. නීතිඥයන්ට තර්ජනය කිරීමට හෝ යටත් කර ගැනීමේ අරමුණින් පහර දීමට හැකි නම්, රාජ්‍ය බලයට මුහුණ දෙන විට සාමාන්‍ය පුරවැසියකුට ඇති අවස්ථාව කුමක්ද?
ආණ්ඩුව මෙහි දී එක්තරා අතකින් තමා පෙනී සිටින බව කියන නිර්ප්‍රභූ ජනතාවටම කොකා පෙන්වන බව ද කිව යුතු ය. ඒ කෙසේ ද යත් පොලිසියේ විවිධ අඩන්තේට්ටම් සහ අනීතික පහරදීම්වල දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නෝ සහ හඬ නගන්නෝ නීතිඥයෝ ය. එවන් පිරිසක් පිළිබඳ ව ජනතාව අතර “අපි එදිරිව ඔවුන්” යන ව්‍යාජ ආඛ්‍යානය යටතේ ගැටුම් සහ විරසකකම් ඇති කිරීමෙන් පොලිස් පීඩනයෙන් ජනතාවට බේරීමට තිබෙන ප්‍රධානතම වෘත්තියක් සතුරකු ලෙස පෙන්වා එකිනෙකාගෙන් ඈත් කර තබයි. ජනතාවගෙන් ඇතැමෙක් ද නිහඬවම එම ඇම ගිල දමති.
(***)


