​ජනපති පුටුවේ දෛවය


ජනාධිපතිවරයකුට ධුරය අත්හැර යාමට සිදු වූ පසු එය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකැයි කියමින් එම ජනාධිපතිවරයා ඒ ගැන පොතක් ලියා පළ කළ විට එය විශාල ආන්දෝලනයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එම පොත මගින් ජනතාව නොදන්නා බොහෝ කරුණු හෙළිදරව් වනු ඇතැයිද කෙනකු අපේක්ෂා කළ හැකිය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට 2022 ජුලි මාසයේදී බලය අත්හැර විදේශයකට පලා යාමට සිදුවූ තත්වය විස්තර කරමින් පසුගිය 7 වැනිදා ප්‍රකාශයට පත් කළ ‘‘ජනාධිපතිධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’’ නම් පොත මගින් ඒ දෙකම සිදු වූයේ නැත.

රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එරෙහිව සිදු වූ ජනතාව නොදන්නා, කුමන්ත්‍රණකාරී කටයුතු එම පොතෙහි ඇති බවක් නොපෙනේ. එනිසාම එම පොත නිසා රටෙහි කිසිදු  ආන්දෝලනයක් ඇති වූයේ ද නැත. ජනතාව නොදන්නා ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණකාරී සිදුවීම් හෙළිදරව් කිරීමක් සිදුවූවා නම් එම පොත සති ගණනාවක් පුවත් මවන්නට ඉඩ තිබිණි.

මෙරට රාජ්‍ය බුද්ධි අංශය හා ජාතික තව්හීද් ජමාඅත් සංවිධානය සමග 2019 පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට පෙර රහස් සබඳතා පැවැත් වූ බවට ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ  තමිල් මක්කල් විඩුදලයි පුලිගල් පක්ෂයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක හන්සීර් ආසාද් මව්ලානා කළා යැයි කියන ප්‍රකාශයක් පදනම් කරගෙන බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනී නාලිකාව පසුගිය වසරේ සැප්තැම්බර් මස වාර්තා චිත්‍රපටයක් විකාශය කළේය. එමඟින් රටේ විශාල ආන්දෝලනයක් ඇතිවිය.

එම වාර්තා වැඩසටහනෙන් කියවුණු කරුණු සත්‍යය ද අසත්‍යය ද යන්න තවමත් විසඳි නැත. එහෙත්  එම කරුණු මීට පෙර ජනතාව අසා තිබූ ඒවා නොවීය. ඒ නිසාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මාසයේම කමිටුවක් පවා පත් කළේය. එම කමිටුව දැන් රටටම අමතක වී ගොසිනි. ආණ්ඩුවට ද අමතක වී ගොසිනි.

කෙසේ වෙතත්, 2022 දී ගෝඨාභය රාජපක්ෂ මහතාට බලය අත්හැර පලා යන්නට  බල කළ සිදුවීම් පිටුපස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව ප්‍රකාශ කළ පළමුවැන්නා රාජපක්ෂ  මහතා නොවේ.  ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ද එවැනි කුමන්ත්‍රණයක් තිබූ බව කියමින් පසුගිය වසරේ අප්‍රේල්  25 වැනිදා ‘‘නවය’’ යනුවෙන් පොතක් ප්‍රකාශයට පත් කළේය.

 එමඟින් ඔහු කරුණු ගෙන හැර දැක් වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් ඇද දැමූ ‘‘අරගලය’’ යනුවෙන් ඒ දිනවල පොදුවේ හැඳින්වුණු ජනතා නැඟිටීම පිටුපස ඇමෙරිකාව සිටි බව කියන්නටය.  එම කුමන්ත්‍රණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කරන්නටද සැලසුමක් තිබුණු බවත් හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද එක්තරා ආකාරයකට එම කුමන්ත්‍රණයට සම්බන්ධ වී සිටි බවත් ඔහු එමගින් පවසා තිබිණි.

ඉන්පසු හිටපු ඇමතිවරයකු හා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහෝදරයාගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතා ද ‘‘අරගලය’’ කුමන්ත්‍රණයකැයි ද ඒ ගැන වැඩි විස්තර පසුව හෙළි කරන බවද ප්‍රකාශ කොට තිබිණි. ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ දී ෆේස්බුක් සංවාදයකට සහභාගි වෙමින් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා රාජපක්ෂවරුන් බලයෙන් පහ කිරීම තුන්වැනි පාර්ශ්වයක කුමන්ත්‍රණයකැයි පැවසීය.

අරගලයට සහභාගි වූ සැම කෙනකුම එම තුන්වැනි පාර්ශ්වයේ ඉත්තෙකැයි ද කී ඔහු ජනතාව මෙය පසුව තේරුම් ගනු ඇතැයි ද කීවේය. එහෙත් අද  දක්වා ඔහු කියන තුන්වැනි පාර්ශ්වය ගැන කිසිවක් දැන ගන්නට නැත. ඔහුට ද දැන් එය අමතක වූවා සේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද 2022 ඔක්තෝබර් මාසයේ දී එම ආණ්ඩුව බිඳ වැටීමට  ‘‘වියතුන්ගේ’’ කුමන්ත්‍රණයක් හේතු වූ බව පැවසීය.

මේ සියලු දෙනාම සඳහන් කරන්නේ එකම කුමන්ත්‍රණයක් ගැන ද යන්න පැහැදිලි නැත. නැත්නම් ඔවුන් විවිධාකාරයේ කුමන්ත්‍රණ දකිනවා විය හැකිය. කිසිවකු කුමන්ත්‍රණකරුවන් ප්‍රසිද්ධියේ හෙළිදරව් කරන්නට සූදානම් බවක් ද පෙනෙන්නට නැත. පසුව තොරතුරු  හෙළි කරන බව කී කිසිවකු තවමත් එම තොරතුරු හෙළි කරන්නට ද සූදානම් නැත. විමල් වීරවංශ මහතා පමණක් ඇමෙරිකානු තානාපතිනි ජූලි චං දෙසට ඇඟිල්ල දිගු කරයි.

ලෝකයම දුටු හා ඒනිසාම ලෝකයම දන්නා ඉතා පැහැදිලි කරුණ නම් පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක ඉතා දරුණු ප්‍රතිඵල විඳ දරා ගැනීමට නොහැකිව 2022 මාර්තු අවසානයේ දී ජනතාව විශාල වශයෙන් මහ මඟට බැස උද්ඝෝෂණය කිරීමත් ජූලි මාසය වනවිට එම උද්ඝෝෂණය කිරීමත් ජූලි මාසය වනවිට එම උද්ඝෝෂණ උච්චස්ථානයට පත්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට අතහැර පලා යන්නට සිදුවීමත්ය. එම හිස් තැන පිරවීමට රාජපක්ෂ මහතාගේ පක්ෂය එතෙක් එම උද්ඝෝෂණයට සහය දුන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්කර ගත්තේය.

කුමන්ත්‍රණයක් සිදු වයේ නම් එය සොයා ගත යුතුව ඇත්තේ මෙම ක්‍රියාවලිය තුළය. කුමන්ත්‍රණකරුවන්  හඳුනා ගත හැක්කේ මෙම ක්‍රියාවලිය තුළ  එක් එක් පුද්ගලයාගේ ක්‍රියා කලාපය විමසා බැලිමෙනි. රාජපක්ෂ මහතා බලයෙන්  පහ කිරීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව පිළිගන්නේ නම් එම කුමන්ත්‍රණය සාර්ථක වූ බවද පිළිගත යුතුව ඇත. එවිට මතුවන  ප්‍රශ්නය නම් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීමෙන් කුමන්ත්‍රණකරුවන් ලැබූ ප්‍රයෝජනය කුමක්ද යන්නයි.

2022 වසරේ ඇති වූ මහජන උද්ඝෝෂණ තම තමන්ගේ අවශ්‍යතා අනුව යොදා ගැනීමට විවිධ පුද්ගලයන් ක්‍රියා කරන්නට ඇත. විපක්ෂයේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් උද්ඝෝෂණයට සහාය පළ කරමින් උද්ඝෝෂකයන්ව දිනා ගන්නට කටයුතු කළහ. ජනාධිපති ධුරය ලැබෙන තෙක්ම අගමැති ධුරයේ සිටිමින්ම රනිල් වික්‍රමසිංහ මහතාද අරගලය යනුවෙන් ඒ දිනවල හැඳින්වුණු ඒ අඛණ්ඩ උද්ඝෝෂණයට සහාය පළ කළේය. ඇමෙරිකාව පමණක් නොව සියලු බටහිර රටවල් අරගලයේ සාමකාමී බව අගය කළේය. මේවා කුමන්ත්‍රණකාරී කටයුතු යැයි කිව හැකිද?

අරගලය නිශ්චිත දේශපාලන අරමුණක් නැති බොහෝ දුරට අසංවිධානාත්මක ක්‍රියාවලියකි. අරගලකරුවන් ‘ගෝඨා ගෝ හෝම්’ යැයි කිවාට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් ඉවත් වූ විට කරන්නේ කුමක්දැයි ඔවුන් වෙත සැලැස්මක් තිබුණේ නැත. වික්‍රමසිංහ මහතා බලයට පත්වූ පසු ඔවුන් නිකම්ම ගාලුමුවදොර පිටියෙන් ඉවත් වන්නට සූදානම් වූයේ එහෙයිනි.

සියල්ලටම වඩා වැදගත් කරුණ අරගලය  කුමන්ත්‍රණයක් ද යන්නයි. මෙම මහජන උද්ඝෝෂණ මුලින්ම  ආරම්භ වූයේ ආණ්ඩු පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැඩියෙන්ම සහාය ලැබුණු ගම්බද ප්‍රදේශවලිනි. ඒ ආණ්ඩුව 2021 මැදදී රසායනික පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය හිටි හැටියේ තහනම් කිරීම නිසා එම ගම්බද ප්‍රදේශවල ගොවිතැන් විනාශ වීම නිසාය.

ඒ උද්ඝෝෂණ විපක්ෂයේ උසිගැන්වීම් නිසා ඇති වූවක් විනා ජනතාව ආණ්ඩුවේ  කාබනික පොහොර ව්‍යාපෘතියට විරුද්ධ නැතැයි ජනාධිපතිවරයා මෙන්ම ඇතැම් ඇමැතිවරු මුලදී පැවසුවද වසරකට පසු ජනාධිපතිවරයා රසායනික පොහොර තහනම වරදකැයි පිළිගත්තේය.

ඒ සමගම රටේ විශාල ඉන්ධන හිඟයක් ඇතිවිය. රට තුළ ඇතිවූ දැවැන්ත විදේශ විනිමය අර්බුදය ඊට හේතු විය. එයද කුමන්ත්‍රණයක් නොව පරිපාලනය පිළිබඳ ප්‍රශ්නයකි. විදේශ මුදල් සොයා ගැනීමට ඒ වනවිට ආණ්ඩුවට ඉතිරිව තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම පමණි. එහෙත් ආණ්ඩුවේ උපදේශකයෝ ඊට ඉඩ නොදුන්හ.

මෙයද වරදක් බව පසුව 2022 මාර්තු මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබිණි. ඔහු ඒ මාසයේම එම අරමුදලේ සහාය ද ඉල්ලා සිටියේය. දැන් ක්‍රියාත්මක වන්නේ එසේ ඔහු එදා කළ ඉල්ලීම අනුව මූල්‍ය  අරමුදල ආරම්භ කළ වැඩ පිළිවෙළයි.

එහෙත්  එදා මූල්‍ය අරමුදල ක්‍රියාත්මක වන්නට පෙර  ඇති වූ දරුණු ඉන්ධ හිඟයත්, පැය 13ක දෛනික විදුලි කප්පාදුවත්, වසරක පමණ කාලයක් තුළ තුන් ගුණයකින් පමණ බඩු මිල ඉහළ යාමත් නිසා ජනතා කෝපය 2022 මාර්තු 31 වැනිදා මිරිහානේ දී පුපුරා ගියේය. එම උද්ඝෝෂණය ඉන්පසු විවිධ තැන්වලින් මතුවී ගාලු මුවදොර පිටියේ ඒකරාශි විය. ඉන්ධන පෝලීම්, විදුලි කප්පාදුව හා දරාගත නොහැකි බඩු මිල නිසා කෝපයෙන් සිටි ජනතාව දහස් ගණනින් මෙම උද්ඝෝෂණවලට එක්වූහ. අවසානයේ දී ජනාධිපතිවරයාට රටින් පලා යන්නට සිදුවිය.

එම උද්ඝෝෂණ මර්දනය කිරීමට ද ආණ්ඩුව පෙළඹුණේ නැත. එ.ජා.මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නිශ්චිත පුද්ගලයන් කොටුකිරීමකට යොමුවී සිටීම මීට හේතු වූවා යැයි සිතිය හැකිය.

අනෙක් අතට එදා පැවැති ආර්ථික පීඩාව හමුවේ එවැනි මර්දනයක ප්‍රතිඵල කුමක් වේදැයි කිව නොහැකි විය. සමහර විට උද්ඝෝෂණ මර්දනය විය හැකිව තිබිණි. සමහර විට එය දරුණු ලේ හැළීමකට පෙරළීමටද ඉඩ තිබිණි. කෙසේ වෙතත් මර්දනය පිළිබඳ තීරණය ගත යුතු ජනාධිපතිවරයා එවැනි තීන්දුවක් ගත්තේද නැත.

සිදු වූයේ මෙයයි. කුමන්ත්‍රණය සෙවිය යුතුව ඇත්තේ මෙම ක්‍රියාවලිය තුළය.

(*** එම්.එස්.එම්. අයුබ්)