ශ්‍රී ලංකාවට සංවර්ධන යුගයක් උදාකළ ජේ.ආර්.ජයවර්ධන


ශ්‍රී ලංකාවට සංවර්ධන යුගයක් උදා කළ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 115 වැනි ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

 ජූනියස් රිචඩ් ජයවර්ධන හෙවත් ජේ.ආර්. ජයවර්ධන මහතා මෙලොව එළිය දුටුවේ මීට වසර 115කට පෙර 1906 සැප්තැම්බර් 17 වෙනිදාය.

ඔහු පවුලේ ඥාතීන් අතර “ඩිකී” විය. ඩිකී ජනතාව අතර ප්‍රසිද්ධ වූයේ ජේ.ආර්. යනුවෙනි.

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පියාණන් වූ රාජ නීතිඥ ඊ.ඩබ්. ජයවර්ධන හෙවත් යූජින් විල්ෆ්‍රඩ් ජයවර්ධන මහතා විවාහ වූයේ සේදවත්ත වලව්වේ විසූ ප්‍රබල බෞද්ධ කාන්තාවක් වන හෙලේනා විජේවර්ධන මැතිණියගේ දියණියක වන ඇග්නස් හෙලන් විජේවර්ධන මෙනවිය සමගය. ඇය ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ වූ ඩී.ආර්. විජේවර්ධන මහතාගේ වැඩිමහල් සහෝදරියයි. ඊ.ඩබ්. විජේවර්ධන මහතා 1917 දී ලංකා ජාතික සංගමය පිහිටුවීමේලා පුරෝගාමී මෙහෙවරක් සිදුකළ ජාතික නායකයෙකි. වර්ෂ 1911 දී කොළඹ නගර සභාවට තේරී පත්ව නාගරික මන්ත්‍රීවරයකු වූ ඊ.ඩබ්. ජයවර්ධන මහතා පියවරෙන් පියවර ඉදිරියට පැමිණ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු වශයෙන් පත් වූ අතර, ඊට පෙර එංගලන්ත ආණ්ඩුවෙන් රාජ නීතිඥ නාමයෙන්ද සිය නීතිඥ වෘත්තිය හැඩගන්වා ගත්තේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ ඊ.ඩබ්. ජයවර්ධන මහතා 1932 නොවැම්බර් 28 වැනිදා මිය යන විට 58 වන වියේ පසුවිය. ඊ.ඩබ්. ජයවර්ධන මහතාගේ පවුලට දරුවන් 11 දෙනකු විය. ජේ.ආර්. පළමුවැන්නාය.

ජේ.ආර්. අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. පාසල් අධ්‍යාපනයෙන් පසුව නීතිය හදාරා 1932 දී නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දුන්නේය.

ඩඩ්ලි සේනානායක මහතා සමග ලංකා ජාතික සංගමයේ සමලේකම් පදවිය දැරූ ජේ.ආර්. ජයවර්ධන මහතා ඉංග්‍රීසි අධිරාජ්‍යයෙන් ලංකාව නිදහස් කර ගැනීම සඳහා සටන් වදින තරුණ නායකයකු ලෙස නීති විද්‍යාලයේ සිටින විටදීම ප්‍රසිද්ධියට පත්විය.

ඔහු එකල ඉන්දියා නිදහස් සටනේ නායකයා වූ මහත්මා ගාන්ධිතුමාගේ සේයාරුවක් නීති විද්‍යාලයේ ප්‍රදර්ශනය කිරීම සඳහා මූලිකව කටයුතු කළේ සියලු දෙනාගේම විරෝධතාවය මැදය. එහෙත් එංගලන්ත ආණ්ඩුවේ පවත්වාගෙන යන නීති පීඨයේ එම සේයාරුව ඔහු විසින්ම විවෘත කරමින් තම අධිරාජ්‍ය විරෝධිභාවය පෙන්නුම් කළේය.

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මව බෞද්ධ කාන්තාවක් වුවද පියා ක්‍රිස්තියානි භක්තිකයෙක් විය. ජේ.ආර්. ජයවර්ධන තරුණ වියේදීම බුදු දහම වැළඳ ගත්තේය. එයට හේතු වූයේ පැලෑනේ වජිරඤාණ මහා නාහිමියන්ගේ හා වජිරාරාමවාසී නාරද මාහිමියන්ගේ ඇසුරයි. උන්වහන්සේලා වෙතින් දහම් දැනුම ලබාගත් ජේ.ආර්. කුඩා කාලයේදී තම මෑණියන් වූ හෙලේනා විජේවර්ධන මාතාවගේ ඇසුර නිසා බොහෝ දහම් කරුණුවලින් දැනුවත්ව සිටි බව පෙනී යයි.

ජේ.ආර්. බෞද්ධයකු වීමට උදව් උපකාර කළ අනෙක් පුද්ගලයා නම් ඔහුගේ මාමා වූ ඩී.ආර්. විජේවර්ධන මහතාය. බෞද්ධයකු වශයෙන් ඉදිරියට ආ ජේ.ආර්. සිංහල බෞද්ධ සංස්කෘතියට කැපවෙමින් එතෙක් තමා ඇඳ පැලඳ සිටි ටයි, කෝට්, කබා අතහැර දමා ජාතික ඇඳුම පිළිගෙන ස්වදේශිකයකු වශයෙන් කටයුතු කිරීමට ජාතික ඇඳුමෙන් සැරසුණේය.

කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් පත් වූ ජේ.ආර්. 1946 දී එක්සත් ජාතික පක්ෂය පිහිටුවන අවස්ථාවේදී එහි ආරම්භක සාමාජිකයකු වන සර් රෆීක් ෆරීඩ් මහතා සමග එක්ව පක්ෂයේ සම භාණ්ඩාගාරික පදවියට පත්වූයේ සියලු‍ දෙනාගේ කැමැත්තෙනි. ඒ වනවිට ඔහු කැලණියේ රාජ්‍ය මන්ත්‍රීවරයා වශයෙන් පත්ව සිටියේය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපතිව සිටි ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා ඉන්දියාවේ මහ කොමසාරිස් පදවියට පත් වී යෑම නිසා හිස් වූ කැලණියේ රාජ්‍ය මන්ත්‍රී පුරප්පාඩුව හේතුවෙන් රාජ්‍ය මන්ත්‍රීවරයකු පත් කර ගැනීමේ අතුරු මැතිවරණය පැවැත්වූයේ 1943 වසරේ අප්‍රේල් 17 වැනිදාය.

මෙම මැතිවරණයට ලංකා ජාතික සංගමයේ නායකයකු වූ කෝට්ටේ සිංහයා යැයි විරුධාවලියෙන් පුද ලැබ සිටි ඊ.ඩබ්. පෙරේරා මහතා ඉදිරිපත් වූයේය. ජේ.ආර්. ජයවර්ධන මහතා ද ඉදිරිපත් විය. එහිදී විශිෂ්ට ජයක් ලැබීමට තරුණ ජේ.ආර්.ට අවස්ථාව උදා විය.

1935 පෙබරවාරි මස 28 වැනිදා ජේ.ආර්. ජයවර්ධන මහතා විවාහ ජීවිතයට ඇතුළත් වූයේය. ඔහුගේ මනාලිය වූයේ ප්‍රධාන පෙළේ  ධනවතකු වූ ඒ.ජී. රූපසිංහ මහතාගේ දියණිය වූ එලීනා රූපසිංහ මෙනෙවියයි. මොවුන් දෙපළට උපන් දරුවා රවීන්ද්‍ර විමල් ජයවර්ධන විය. ජේ.ආර්. ජයවර්ධන පරපුරේ සිංහල නමක් ලැබුණු ප්‍රථම පුද්ගලයා වන්නේ ද ජේ.ආර්. ජයවර්ධනයන්ගේ පුතණුවන් වූ රවීන්ද්‍ර විමල් ජයවර්ධනයන් ය.

1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් කැලණිය අසුනට පත්වූ ජේ.ආර්. ජයවර්ධන මහතා, ඩී.එස්. සේනානායක රජයේ මුදල් ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. ඒ සමග ලංකාවේ ප්‍රථම මුදල් ඇමැති පදවියට පත් වී ඔහු තැබූ වාර්තාව ඉතිහාස ගත වී ඇත.

වර්ෂ 1952 දී පිහිටවූ ඩඩ්ලි සේනානායක රජයේ මුදල් ඇමැති පදවිය ලැබූ මෙතුමා සර් ජෝන් කොතලාවල රජය සමයේ සභානායක පදවිය සහ කෘෂිකර්ම හා ආහාර අමාත්‍ය පදවියෙන් පිදුම් ලැබීය.
1956 බණ්ඩාරනායක මහතාගේ ජයග්‍රහණය සමග එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ අන්ත පරාජයකි. ජේ.ආර්. කැලණිය අසුනෙන් ද පරාජය වී හිටපු මන්ත්‍රීවරයකු වනවිට එක්සත් ජාතික පක්ෂයෙන් මැති සබයට පැමිණියේ මන්ත්‍රීවරුන් 8 දෙනකු පමණි. විපක්ෂ නායක පදවිය ලැබුණේ ලංකා සම සමාජ පක්ෂයටය. මෙම පරාජයෙන් උකටලී නොවුණු ජේ.ආර්. ජයවර්ධන මහතා පසුදාම කොල්ලු‍පිටියේ තිබුණු සිරිකොත මන්දිරය එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානයට ගොස් දොර ජනෙල් විවෘත කර පක්ෂයේ නව සංවිධාන කටයුතු ආරම්භ කරන්නට විය.  

ජේ.ආර්. ජයවර්ධනයන්ගේ තනියට පැමිණියේ ආනන්ද තිස්ස ද අල්විස්, ජිනදාස නියතපාල, ආර්. ප්‍රේමදාස ආදී ඉදිරියට යන පිරිසකි. ඒ වනවිට බණ්ඩාරනායක රජය වසර දෙක තුනක් යන විට හෙල්ලෙන දතක් බඳු විය. කුමන්ත්‍රණයකින් අගමැති බණ්ඩාරනායක මහතා ඝාතනය වීමෙන් පසු ගාල්ලේ විජයානන්ද දහනායක මහතා අගමැති තනතුරට පත්වූයේය.

අර්බුදවලින් පිරුණු දහනායක රජය මාස කිහිපයකින් අතරමග නැවතිණි. 1960 මාර්තු මාසයේ පැවැති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය වසර 4කට පසුව තනි පක්ෂයක් වශයෙන් යළිත් බලයට පැමිණියේ අන්ත පරාජයෙන් වැටුණා යැයි කී පක්ෂයට නව ජීවයක් ලබා දෙමිනි.

ඒ නව ජීවයේ මහා ශක්තිය වූයේ ජේ.ආර්. ජයවර්ධනයන්ගේ ශක්තියයි. ඔහු ඩඩ්ලිට අගමැති පදවිය පවරා මුදල්, පළාත් පාලන හා නිවාස අමාත්‍ය පදවිය බාර ගත්තේය. එහෙත් එජාපයට වඩා වැඩි ආසන ප්‍රමාණයක් විපක්ෂය සතුව තිබූ නිසා එම රජයට ඉදිරියට යාම අපහසු විය. ඔලිවර් ගුණතිලක ලංකා ආණ්ඩුකාරයාගේ පිළිවෙත නිසා යළිත් මහා මැතිවරණයක් පැවැත්විණි. එයින් එජාපය පරාජය වුවත් විපක්ෂ නායක පදවිය සහිත වැඩි මන්ත්‍රීන් සංඛ්‍යාවක් හිමි කර ගැනීමට හැකි විය.

ලෝකයේ ප්‍රථම අගමැතිණිය බිහි කළ 1960 ජූලි මස පැවැති මෙම මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වූ සී.පී. ද සිල්වා මහතාට ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. ඔහුගේ පක්ෂ නායකත්වය ද මැතිණියට හිමි වූ අතර, පක්ෂයේ සුපිරි බලවතා වූයේ සිරිමා මැතිණියවත්, සී.පී. වත් නොව අභිනවයෙන් මැති සබයට පැමිණි පීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක මහතාය. අතරමගදී සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ එකතු වී සභාග රජයක් ගොඩනැගුණි. මෙය සී.පී. ද සිල්වා ප්‍රමුඛ රජයේ ප්‍රබල කණ්ඩායමකට ඉවසුම් දෙන්නක් නොවීය.

සී.පී. ඇතුළු මන්ත්‍රී පිරිසක් රජයෙන් එළියට ගෙන රජය පෙරලා දැමීමට රහසිගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. එයට නායකත්වය දුන්නේ ජේ.ආර්. ජයවර්ධන හා එස්මන්ඩ් වික්‍රමසිංහ (වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පියා) යන අයය. අරමුණ සාර්ථක වූ නිසා 1964 දෙසැම්බර් මසදී එම රජය පෙරලා දමන්නට හැකි වූයේ සී.පී. ද සිල්වා මහතා ඇතුළු රජයේ මැති ඇමැතිවරු 14 දෙනෙක් විපක්ෂයට එකතු කර ගැනීම නිසාය.

1965 මාර්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයක් අත් විය. එම රජයේ අගමැති පදවිය සී.පී. ද සිල්වාට බාරගන්නා ලෙස ඩඩ්ලි සේනානායක මහතා පැවසුවත් සී.පී. එය බාරගත්තේ නැත. ජේ.ආර්.ට හිමි විය යුතු සභා නායක පදවිය සී.පී.ට පිරිනමන්නට ජේ.ආර්. කැමති විය. එම නිසා ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂයේ නායකයා වූ සී.පී., ඩඩ්ලි සේනානායක රජයේ සභා නායක වූ අතර, ජේ.ආර්. රාජ්‍ය ඇමැති පදවිය නම් නව අමාත්‍ය පදවියේ වැඩ බාරගෙන දුන් ආදර්ශය තනතුරු නිල තල බලතල සොයා දේශපාලනයේ යෙදෙන සියලු‍ දෙනාටම යහ පාඩමක් වනු ඇත.

එම රජය 1970 මහ මැතිවරණයේදී බිඳ වැටුණේ නොසිතූ පරිදිය. එයින් එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ අන්ත පරාජයකි. 1965-1970 එක්සත් ජාතික පක්ෂ රජයේ සිටි ඇමැතිවරුන්ගෙන් බොහොමයක් ආසනවලින් පරාජයට පත් වූ අතර තම ඡන්ද කොට්ඨාසය ජය ගත්තේ ඩඩ්ලි, ජේ.ආර්. ආදී කිහිප දෙනෙකි. එක්සත් ජාතික පක්ෂයට එම මැතිවරණයෙන් හිමි වූයේ මන්ත්‍රී ආසන 17 ක් පමණි.

1970 ජුනි 14 වැනිදා නව පාර්ලිමේන්තුව රැස් විය. පක්ෂ නායකත්වය පමණක් තබාගත් ඩඩ්ලි, ජේ.ආර්.ට විපක්ෂ නායක පදවිය පිරිනැමීය. ජේ.ආර්. පක්ෂයේ බර කරට ගත්තේය. සිරිමා මැතිණිය අගමැතිණිය වූවාය. රජයටත් තුනෙන් දෙකක බහුතරයක් මැති සබයේ තිබුණි. විපක්ෂයට හිතන්නටවත් බැරි රජයේ බලතල නිසා එක්සත් ජාතික පාක්ෂිකයා මුළුගැන්විණි. නව රජය බලයට පත් වීමෙන් පසු ප්‍රථම අතුරු මැතිවරණ 4 ක් එක් දිනයක් තුළ 1972 ඔක්තෝබර් 09 වැනිදා පැවැත්විණි. විපක්ෂයේ ගාමිණී දිසානායක මහතා නියෝජනය කළ නුවරඑළිය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු නියෝජනය කළ පුත්තලම, රත්නපුර හා කැස්බෑව යන ඡන්ද කොට්ඨාස සඳහා පැවැති මෙම මැතිවරණයෙන් රජයට ජයගත හැකි වූයේ රත්නපුරය පමණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු නියෝජනය කළ කැස්බෑව, පුත්තලම එක්සත් ජාතික පක්ෂයට හිමි විය. 17 ට බැස තිබූ එජාප මන්ත්‍රී ගණන 19 දක්වා වැඩි විය.

මෙම මැතිවරණවලින් මාස ගණනකට පසු පක්ෂයේ නායක ඩඩ්ලි සේනානායක මහතා හදිසියේ මිය ගියෙන් පක්ෂයේ නායකත්වයට පත් වූයේ ජේ.ආර්. ජයවර්ධන මහතාය.

රටේ පැවැති ආර්ථික අර්බුද හමුවේ ජනතාව විශාල වශයෙන් පීඩා විඳින්නට විය. ශත 72 ට මිලට ගත් සීනි රාත්තල රුපියල් 7.50 ක් විය. ශත 35 ට ගත් පාන් රාත්තල රුපියල් 1.50 ක් විය. මයිසූර් පරිප්පු, කඩල, මුංඇට, සව් හාල් සොයා ගැනීමට නොහැකි විය. ඉතා බාල රෙදි වර්ග සමුපකාර ක්‍රමයට ලබා ගැනීමට හැකි විය. අවුරුදු සමයේ රෙදි ගැනීමට පෝලිමේ සිටිය යුතුය. උදේ පාන් ගැනීමට පාන් පෝලිම් විය. සහල් ගෙන යාමට නොහැකි තරමට නීති රීති බලවත් විය. හෝටල්වල අඟහරුවාදා හා සිකුරාදා බත් කන්නට දීම තහනම් විය.

මිනිසුන්ගේ මෙම දුක් කන්දරාව ඉතිරී ගියේ 1977 ජූලි මස 21 වන දින පැවැති මහ මැතිවරණයේදී ආණ්ඩුව පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 8 කට සීමා වීමෙනි. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් මැති සබයට පැමිණියේ සිරිමාවෝ මැතිණිය සහ මෛත්‍රීපාල සේනානායක මහතා පමණි. ජේ.ආර්. සමග එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු බලය හිමි වූයේ හයෙන් පහක ජන වරමක් සහිතවය.

නව රජය පත්වී මාසයක් ගත වනවිට සියලු‍ භාණ්ඩ හිඟය සුන් කර දමා ජනතාවට සෙත සැලසීමට පියවර ගත්තේය. විවෘත ආර්ථික ක්‍රමය යටතේ භාණ්ඩ හිඟය මැඩ පැවැත්විණි. ජේ.ආර්. මහතාගේ නව රජය තුළින් අධ්‍යාපනයේ සිට ආණ්ඩුක්‍රමය දක්වා වෙනස් කළේ ජනතාවාදී පාලන කටයුතු පාලනයකටය.
සිහිනයක්ව තිබූ මහවැලි සංවර්ධන ව්‍යාපාරය නව අමාත්‍යාංශයක් යටතේ වසර 6 ක් තුළ සියලු ඉලක්ක සපුරාලමින් අවසන් කළේය. ගොවියාට ගොවිතැන් කිරීමට ගොවිබිම් අක්කර ලක්ෂ ගණනක් අභිනවයෙන් පැවරිණි. ඉඟිනිමිටිය, ලු‍ණුගම්වෙහෙර ආදී නව ප්‍රසිද්ධ ව්‍යාපාර ගොඩනැගුණි. ලංකාවේ නිෂ්පාදිත සහල් පිටරටට විකිණීමට පවා මේ කාල සීමාව තුළ හැකි විය.

කොළඹ ක්‍රමයේ නිර්මාතෘ වූ ජේ.ආර්. වමත් දකුණත් රාජ්‍ය ප්‍රතිපත්තීන් සමබරව ඇසුරු කළ අයෙකි. එයට කදිම උදාහරණයක් වන්නේ ලංකාවේ දේශපාලකයන් හා කියුබාවේ කස්ත්‍රෝ සමග එකට ඡායාරූප ගත් රාජ්‍ය නායකයකු සිටී නම් ඔහු ජේ.ආර්. පමණි.

එලෙසම ලංකාවේ යම් රාජ්‍ය නායකයකුගේ ප්‍රතිමාවක් විදේශ රටක පිහිටෙව්වා නම් ඒ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රතිමාව පමණක් වනු ඇත. එය ජපානයේ අද ද ගරු බුහුමන් ලබමින් විරාජමානව පවතී.

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ දේශපාලන දර්ශනය පිළිගෙන එක්සත් ජාතික පක්ෂයට එක්වුණු රනිල් වික්‍රමසිංහ මහතා අද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාර ගනිමින් ක්‍රියා කරනුයේ 1956 වසරේදී එක්සත් ජාතික පක්ෂයට ලැබුණු පරාජය මෙන් පරාජයකදී යළිත් පක්ෂය නගාසිටුවන්නටය. ඒ සඳහා ජේ.ආර්. ජයවර්ධන මහතා ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති හා දර්ශනය එක්සත් ජාතික පක්ෂය යළිත් දැන හඳුනාගෙන ක්‍රියාත්මක කරමින් ගත කරන යුගයකට අප සේන්දු වී ඇත.

 ජේ.ආර්. ජයවර්ධන මහතා උපත ලබා මෙම වසරට අවුරුදු 115 කි. දැයෙන් සමුගෙන වසර 25 කි. ඔබේ මෙහෙවර මේ රටේ හැමතැනම තවමත් දක්නට ඇත.

(*** එක්සත් ජාතික පක්ෂයේ සභාපති - වජිර අබේවර්ධන)