වාහන ආනයන ව්‍යාපාරික ප්‍රජා අඳෝනාව


 

දෙදහස් විස්සේ (2020) මාර්තු 19 වැනිදා රජය මගින් භාණ්ඩ වර්ග 1700 ක් රටින් ගෙන්වීම තහනම් කළේය. කොරෝනා වසංගතය නිසාම රජය ඒ තීරණයට යොමු වුණාය කීම අපහසුය.

ආර්ථිකයට මරු ප්‍රහාරයක් එල්ල වුණේ 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව මගිනි. අපේ රටට විදෙස් විනිමය ප්‍රශ්න උද්ගතවූයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවත් සමගය. කොරෝනා වසංගතය නිසා ලංකාව පළමුවැනි වරට ‘ලොක් ඩවුන්’ කළේද 2020 මාර්තු 21 වැනිදා සිටිය. පාස්කු ප්‍රහාරයෙන් අවුරුද්දක් ගෙවුණු තැන කොරෝනා පැමිණීම නිසා අපේ ව්‍යාපාර වැටුණේ කබලෙන් ළිපටය. කොරෝනා ලංකාවට පැමිණ අද වනවිට අවුරුදු එකහමාරකි. වාහන ආනයනකරුවන් ලෙස අපගේ රැකියා නැතිවී අප අන්ත අසරණ වී මේ වනවිට අවුරුදු එකහමාරකි.

අප සේම රජයද අමාරුවේ වැටී සිටින බව අපි දනිමු. අපි පිළිගනිමු. එහෙත් අපේ ප්‍රශ්න, ගැටලු, දුක් දොම්නස් ගැන සොයා බැලීම රජයේ වගකීමකි. හේතුව රටේ ආර්ථික යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවන්නේ පෞද්ගලික අංශයෙන් මිස රජයෙන් නොවේ. රටේ ශ්‍රම බලකාය ලක්‍ෂ 80 කි. ඉන් රාජ්‍ය අංශයේ සේවයේ නියුක්තව සිටින්නේ ලක්‍ෂ 15 කි. ඉතිරි ලක්‍ෂ 65 සේවයේ නියුක්තව සිටින්නේ පෞද්ගලික අංශයේය. නිෂ්පාදන හා සේවා කර්මාන්ත වැඩියෙන්ම තිබෙන්නේ පෞද්ගලික අංශයේ බව ඉන් අනාවරණය වෙයි. රාජ්‍ය අංශයේ නිෂ්පාදන කර්මාන්ත නැති තරම්ය. රජය සතුව තිබෙන්නේ සේවා සපයන ආයතනයකි. ඒ ආයතන සහ ඒවායේ සේවකයන් නඩත්තු කිරීමට රජයට මුදල් උපයා දෙන්නේ පෞද්ගලික අංශයයි. එහෙත් රජයේ ඉහළ තනතුරුවල සිටින දේශපාලකයන් සහ පරිපාලන නිලධරයන් හැසිරෙන්නේත් කටයුතු කරන්නේත් මා ඉහත කී සත්‍යය නොසලකා හරිමිනි.

බොහෝ ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර කරගෙන යන්නේ බැංකු ණය මතය. බැංකු පොහොසත් වන්නේ ඒ ණයවලට ලැබෙන පොලිය මතය. එහෙත් බැංකු තමන් පොහොසත් කිරීමට දායකවන ව්‍යාපාරිකයන්ට කිසිම සහනයක් නොදෙයි. රජයේ මැදිහත්වීමෙන් ණය වාරික නොගෙවා සිටීමට බැංකු මගින් සහනයක් සලසා තිබෙන බව සත්‍යයකි. අවස්ථා හතරකදී එවැනි සහන දී තිබේ. එහෙත් ඒවා සැබෑ සහන නොවේ.

ඒ සහන තාවකාලිකය. ණය වාරික නොගෙවා සිටීමට කෙටි කාලයකට සහන දුන්නාට බැංකු මගින් ඒවාට පොලිය එකතු කරගෙන යයි. ඒ පොලියට ද පොලියක් එකතු කරයි. බැංකුවල ඒ පිළිවෙත නිසා සහන කාලය නිම වනවිට ගත් ණය මුදලට වඩා පොලිය වැඩිවීමේ අනතුරුදායක තත්ත්වයක් දැන් උද්ගතවී තිබේ. එදා මෙදා තුර රජය හෝ මහ බැංකුව පොලියට සහනයක් දෙන්නැයි බැංකුවලට නියෝග කළේ නැත. අද අපට දවසකට රුපියලක්වත් ආදායමක් නැත. එහෙත් බැංකුවලින් දිනපතා පොලිය එකතු කරයි. වාහන ආනයනකරුවන් පමණක් නොව සමස්ත පෞද්ගලික අංශයම අද ගොදුරු වී සිටින්නේ, මුහුණ දී සිටින්නේ ඒ ඉරණමටය. මේ ප්‍රශ්නවලින් ඉතාමත් බරපතපළ ලෙස පීඩාවට පත්ව සිටින්නෝ අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝය.

සිංගප්පූරුව වැනි රටවල් දියුණු වූයේ රජය පෞද්ගලික අංශය සමග එක්ව කටයුතු කළ නිසාය. ව්‍යවසායකයන්ට තිබෙන ක්‍රියාකාරීත්වය හා ප්‍රායෝගික දැනුම දේශපාලකයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට නැත. රටක් දියුණු කළ හැක්කේ ඒ පිරිස් තුනම එකතු වී තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක කිරීම මගිනි. අප කියන්නේ අපට ඕන හැටියට හෝ අපට වාසිවන අන්දමට රට පාලනය කරන්න කියා නොවේ. අප කියන්නේ අප සතු දැනුම රටේ යහපත සඳහා යොදාගන්නා ලෙසය. රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයන් තීන්දු ගන්නේ තනිවමය. ව්‍යාපාරික ප්‍රජාවගෙන් කිසිම දෙයක් අහන්නේ නැත.

ව්‍යාපාරික ප්‍රජාව ඈත් කර කොන්කර තිබේ. ඒ නිසා ඒ දෙපිරිස එකතු වී ඉදිරිපත් කරන්නේ කිසිම ප්‍රායෝගිකත්වයක් නැති තීරණය. රටේ ආර්ථිකය කඩා වැටීමට එය හේතුවකි.

ආර්ථික කළමනාකරණය අතින් ලංකාව අද ලෝකයේ පහළම සිටින රටක් බවට පත්ව තිබෙන්නේ ප්‍රායෝගික දැනුමක් නැති නිලධාරීන් හා දේශපාලකයන් එක්ව ගන්නා තීන්දු නිසාය. ආර්ථිකමය වශයෙන් දකුණු ආසියාවේ රටවල් අතරින් ලංකාව සිටින්නේ ඇෆ්ගනිස්ථානයට පමණක් ඉහළිනි.

ආණ්ඩුව ගහන ගැසට් දවසෙන් දෙකෙන් සතියෙන් හමාරෙන් වෙනස් කරන්නේ ආණ්ඩුව ව්‍යාවසායකයන් සමග සාකච්ඡා නොකර හිතුමතේ තීන්දු ගන්නා නිසාය. හාල් නිෂ්පාදකයන්ගේ හඬට සවන් නොදී ආණ්ඩුව හාල් මිල පිළිබඳ ගැසට් ගැසීමෙන් වෙළෙඳපොළේ හාල් හිඟයක් ඇතිවිය. ඒ අනුව හාල් හිඟයේ නිර්මාතෘවරයා ආණ්ඩුව මිස හාල් නිෂ්පාදකයෝ නොවෙති. අවසානයේ ආණ්ඩුව තම ගැසට්ටුව හකුළා ගත්තේය. ආණ්ඩුව එලෙස නින්දාවට පත්වන්නේ ව්‍යවසායකයන් සමග සාකච්ඡා නොකර හිතුවක්කාරී ලෙස කටයුතු කිරීම නිසාය.

සියල්ල දන්නේ නිලධාරීන්ය. ඔවුන්ගෙන් අසා සියල්ල කළ යුතුය කියා රටේ නායකත්වය සිතනවා විය හැකිය. නායකයෝ නිලධරයන් විශ්වාස කරති. එහෙත් නිලධාරින් කියන දේවල් ප්‍රායෝගිකද නැද්ද කියා නායකයෝ සොයා නොබලති. අදාළ ක්ෂේත්‍රවල ව්‍යාපරිකයන් හෝ ව්‍යපාරික සංවිධාන සමග නායකයෝ සාකච්ඡා නොකරති. ප්‍රායෝගික දැනුම සහ ක්‍රියාකාරීත්ව ඤාණය තිබෙන වාණිජ ප්‍රජාව සමග සාකච්ඡා කර තීන්දු තීරණ නොගෙන කටයුතු කිරීම නිසා රට ව්‍යසනයකට ගොස් තිබේ. රටේ තිබෙන සියලු ව්‍යසනවලට හේතුව පාස්කු ප්‍රහාරය සහ කොරෝනා වසංගතය පමණක් නොවේ. ව්‍යසන දෙගුණ තෙගුණ වී තිබෙන්නේ අත්තනෝමතිකව කටයුතු කරන නිලධාරියකුගේ හෝ දෙදෙනකුගේ තීරණ මත ආණ්ඩුව කටයුතු කිරීම හේතුවෙනි. ගතවූ කාලයේදී ආණ්ඩුව නිකුත් කළ ගැසට් කීයක් අහෝසි කළේද යන කාරණය මත මා කියන කාරණය සනාථ කරගත හැකිය. පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් වන අපටත් අත්විඳින්නට සිදුවී තිබෙන්නේ ඒ හිතුවක්කාර නිලධාරින්ගේ හිතුවක්කාර තීරණවල ප්‍රතිඵල නිසාය. ඒ නිසා ව්‍යවසායකයන් ඉතා අසරණය. නායකයන් ව්‍යවසායකයන්ට සවන් දෙන්නේ ද නැත. නායකයන්ට එවැනි වුවමනාවක් තිබෙන බවක් ඔවුන්ගේ හැසිරීමෙන් පෙනෙන්නේද නැත.

අපේ මේ විවේචනය රාජ්‍ය පරිපාලනයේ සිටින සියලු නිලධාරීන්ට අදාළ නැත. ඔළුව උදුම්මාගන අත්තනෝමතිකව කටයුතු කරන්නේ ඉහළම සිටින නිලධාරීන් ටික දෙනෙකි. නායකත්වයත් ඔවුනට මුළා වී සිටියි.

අධිශීතකරණ සහිත ෆ්‍රීසර් ට්‍රක් ආනයනය තහනම් කළේ 2020 මාර්තු 19 වැනිදාය. 2020 ජුනි 30 වැනිදා ඒවා ගෙන්වීමට යළිත් අවසර ලැබිණි. හදිසියේ ඒ තීන්දුව ගන්න එපා යම් යම් කොන්දේසි මත ඒ අවසරය දෙමු කියා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ලෙස මා මුදල් අමාත්‍යාංශයට යෝජනා කරන්නට සැරසුනත් මට සවන් දුන්නේ නැත. ලංකාවේ ඉල්ලුම ඉහළ යාම මත ඒ වාහනවල ජපානයෙහි මිල ද සියයට 100 කින් පමණ හදිසියේ ඉහළ ගියේය. 2021 ජුනි 11 නැවතත් වාහන ආනයනය නැවත්විය. එහෙත් ඒ වනවිට එනම් 2020 ජුනි 30 වැනිදා සිට 2021 ජුනි 21 වැනිදා අතර කාලයේදී ලංකාවෙන් පිටට එනම් ජපානයට ඒ වාහන ආනයනය සඳහා ගලා ගිය විදෙස් විනිමය ප්‍රමාණය වෙනදාට වඩා දෙගුණයකි. වාහන මිල හා වාහන වෙළෙඳපොළ ගැන දන්නේ වාහන ගෙන්වන්නෝ සහ අලෙවි කරන්නෝය. එහෙත් ඒවා ගෙන්වීම ගැන තීන්දු ගන්නේ වෙළෙඳපොළ ගැන කිසිවක් නොදන්නා රාජ්‍ය පරිපාලන නිලධාරීන්ය. ඒ නිසා රටින් පිටට ගිය ඇමරිකන් ඩොලර් ප්‍රමාණය වෙනදාට වඩා දෙගුණයකි. ඒ අත්තනෝමතික තීන්දුවල එක් ප්‍රතිඵලයකි.

අපෙන් අසා අපෙන් යෝජනා ලබාගෙන කටයුකු කළා නම් අපේ විදෙස් විනිමය සංචිතවලට එවැනි විනාශයක් වන්නේ නැත. වාහන ආනයනය සම්බන්ධයෙන් පමණක් නොව අනෙක් ක්ෂේත්‍රවල ඇත්තේද මෙවැනි තත්ත්වයකි. තීන්දු තීරණ ගන්නේ කිසිම ප්‍රායෝගික දැනුමක් නැති අත්තනෝමතිකව කටයුතු කරන හිස උදුම්මාගත් නිලධාරීන් අතලොස්සකි. මේ ක්‍රමය වෙනස් නොකළහොත් කොරෝනා වසංගතය තුරන් වුවත් ආර්ථික වශයෙන් රට ගොඩ ගන්නට නොහැකිය.

වාහන ආනයනය සම්බන්ධයෙන්ම කතා කළහොත් ලෝකයේ දියුණු රටවල් වන නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් අවුරුදු දහයක් පරණ ජපන් වාහන ගෙන්වීමට අවසර දෙයි. ඒ විවිධ කොන්දේසි යටතේය. ඒ නිසා ඒ වාහනවල වටිනාකම අලුත් වාහනවල වටිනාකමට වඩා සියයට 80 කින් පමණ අඩුය. පහළය. එහෙත් ලංකාවට ගෙන්වීමට ඉඩ දෙන්නේ අවුරුදු තුනක් පරණ කාර්ය. වෑන් නම් අවුරුදු හතරකට වඩා පණ ඒවා ලංකාවට ආනයනය කළ නොහැකිය. සැහැල්ලු ලොරි නම් අවුරුදු හතරකට වඩා පරණ ඒවාද, බර ලොරි සහ බස් නම් අවුරුදු දහයකට වඩා පරණ ඒවාද ලංකාවට ගෙන්වීම තහනම්ය. ඒ නිසා අපේ රටට ගෙන්වන වාහනවල මිල ඉතා ඉහළය.

එහෙත් ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය ලංකාවට වඩා අඩු මුදලකින් තම රටට වාහන ගෙන්වයි. ඒ රටවල් දෙකම දියුණුය. විදෙස් විනිමය සංචිත ඉතා ඉහළය. එහෙත් විදෙස් ණය ගෙවීමටත් විදෙස්වලින් ණය ගන්නා ලංකාව තම රටට ගෙන්වන්නේ වටිනාකමින් ඉහළ වාහනය. ඉතින් රටේ විදෙස් විනිමය සංචිත හිඳීයාම අරුමක්ද? විදෙස් විනිමය සංචිත එසේ හිඳෙන්නේ වාහන සහ වාහන වෙළෙඳපොළ පිළිබඳව දැනුමක් අවබෝධයක් නැති නිලධාරීන් ගන්නා තීන්දු නිසා නොවේද? අවසානයේ ඒ ඔලමොට්ටල තීන්දුවල වන්දිය ගෙවන්නට රටේ සියලු පුරවැසියන්ට සිදුවෙයි.

අද අපේ රටේ පවතින විදෙස් විනිමය සංචිත ප්‍රමාණය මත පරණ ක්‍රමයටම වාහන ආනයන කිරීමට ඉඩ දිය නොහැකි බව අපටද ප්‍රත්‍යක්‍ෂය. එහෙත් විකල්ප අප සතුය. ඒවා ගැන සාකච්ඡා කිරීමටවත් මේ හිස උදුම්මාගත් නිලධාරීන් සූදානම් නැත. විදෙස් රටවල රැකියා කරන අයගේ විදෙස් විනිමය ගිණුම් ලංකාවේ තිබේ. එවැනි ගිණුමක ඩොලර් 10,000 ක් තිබේ නම් ඉන් 5000 කින් වෙනත් රටකින් වාහනයක් ගෙන්වීමට අවසර දිය හැකිය. ගිණුමේ තිබෙන මුදල්වලින් සියයට 50 ක් රුපියල් කර ගැනීමට ඉඩ දිය යුතුය. ඉතිරි සියයට 50 න් වාහනයක් ගෙන්වා ගැනීමට ඉඩ සැලසිය යුතුය. එය එක විකල්ප යෝජනාවකි. දෙවැනි යෝජනාව විදෙස් රැකියාවක නියුතු අයකු වාහනයක් ලංකාවට එවීමට යම් රටකට මුදල් ගෙව්වොත් ඒ ගැනුම් මිලට සමාන මිලක් ඩොලර්වලින්ම ලංකාවටද එවිය යුතුය. ඒ මෙරටෙහි දී වාහනය නිෂ්කාශන කටයුතු සඳහාය. එසේ කිරීමට අවසර දුන්නොත් රට සතුව දැනට තිබෙන ඩොලර් සංචිත නොසොල්ලා, එයට තවත් ඩොලර් උපයාගත හැකිය. සරලව කිව්වොත් රටට ඩොලර් ලැබෙයි. එහෙත් එසේ නොකර වසාගෙන සිටීමෙන් රටට ඩොලර් නොලැබෙයි.

එසේ කළහොත් අපේ රට සතුව තිබෙන විදෙස් මුදල් සංචිත හෝ මෙරට බැංකුවල තිබෙන විදෙස් මුදල් වැය නොවෙයි. ආණ්ඩුව එවැනි දේවල් නොකරන නිසා රටෙහි පවතින්නේ විදෙස් මුදල් සඟවා තබාගැනීමකි. ඩොලරයක වටිනාකම රුපියල් 203 ක් බව ආණ්ඩුව කියයි. ඒ නිසා ඩොලර් තිබෙන කිසිවෙක් ඒවා රුපියල්වලට මාරු නොකරති.

අපනයනකරුවන්ට ලැබෙන මුදල් ද මාරු නොකෙරෙයි. ආණ්ඩුව ඩොලරයක වටිනාකම රුපියල් 203 ක හිර කළත් බාහිර වෙළෙඳ පොළේ ඩොලරයකට රුපියල් 250 කට ආසන්න මුදලක් ලැබෙයි. ඒ නිසා රට ඇතුළේ තියෙන ඩොලර් ටිකත් බැංකු පද්ධතිය ඇතුළට නොඑයි. අප කියන විකල්ප ක්‍රමවලට ගියහොත් රේගුවට ලොකු බද්දක්ද ලැබෙයි. ඒ වාහන ආනයනය කිරීමේදී අය කරන බද්ද සියයට 300 ක් තරම් විශාල නිසාය. එමගින් දැනට ජනතාවට වාහනක් මිලදී ගැනීමට තිබෙන අපහසුතාද මග හැරී යයි. වාහන මිලද අඩුවෙයි. මා මේ කියන්නේ වාහන වෙළෙඳපොළ යළි පණ ගැන්විය හැකි විකල්ප ක්‍රමය. එහෙත් මේ ටික අපෙන් ඉගෙන ගැනීමට උද්ධච්ඡ නිලධාරීහු අකැමැත්තාහ.

අද අපට රජයෙනුත් සහනයක් නැත. බැංකුවලිනුත් සහනයක් නැත. රජයෙන් සහනයක් ලබාගත නොහැකිව තිබෙන්නේ උද්ධච්ඡ නිලධාරීන් නිසාය. බැංකුවලින් සහනයක් නොලැබෙන්නේ ලාබ ලැබීම ඔවුන්ගේ ඒකායන පරමාර්ථය නිසාය. පෞද්ගලික බැංකුවල වැඩි කොටස් ප්‍රමාණයක් අයිති රටේ සුපිරි ධනවතුන්ට ය. තමන් පොහොසත් වුණේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සල්ලිවලින් කියා බැංකුවල අයිතිකරුවෝ නොසිතති.

භාණ්ඩ වර්ග 600 ක් රටින් ගෙන්වන්නේ නම් ඒවා ගෙන්වීමට පෙර මුදල් එනම් ඩොලර් තැන්පත් කළ යුතු බවට රජය නීති පැනවූයේ ඊයේ පෙරේදාය. ඉන් සිදුවන්නේ කුමක්ද? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට එසේ තැන්පත් කිරීමට මුදල් නැත. ඔවුනට බැංකුවලින් ඩොලර් ලබාගත නොහැකිය. එහෙත් ලොකු සමාගම්වලට ඔවුන් කොටස් වෙළෙඳ පොළෙන් උපයන පොලී රහිත මුදල් සමග මහා පරිමාණයෙන් මුදල් තිබේ. රජය කියන ආකාරයෙන් රටින් බඩු ගෙන්වීමට මුදල් තැන්පත් කළ හැක්කේ මා ඉහත කී ලොකු සමාගම්වලට පමණකි. අවසානයේ සිදුවන්නේ රටේ සියලු වාණිජ කටයුතු මහා පරිමාණ ව්‍යාපාරිකයන් අතළොස්ස අතට පත්වීමය. එහි කෙළවර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල මළගම උදාවෙයි. පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ලක්‍ෂ 65 න් ලක්‍ෂ 45 ක් පමණම සේවය කරන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලය. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් රජය තීන්දු තීරණ ගන්නේ මේ අයුරින් නම් ඉදිරියේදී විරැකියාව, ඇති නැති පරතරය හා දුප්පත්කම තවත් ඉහළ යන බව මගේ වැටහීමයි. තක්සේරුවයි.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)