රටේ ආර්ථිකය නැංවීමට එදා ගීතයේ දායකත්වය


තේ පැන් දින දින වැඩි වැඩියේ

බීමෙන් සිරුට සැප වැඩිවේ

මීට දශක කිහිපයකට ඉහතදී මෙම ගීතය අසා රසවිඳ නැති කෙනෙකු සිටිය නොහැකි තරමට එම ගීතය මෙරට ජනප්‍රියත්වයට පත්විය. මේ රටේ ගීත සාහිත්‍යයයේ ඉතිහාසය පරීක්ෂා කර බැලුවොත් ඒ ගී නාමාවලියෙහි බොහෝ විට දැකිය හැක්කේ එක්කෝ ප්‍රේමය, විරහව, මානව දයාව පදනම් කරගෙන ලියැවුණු ගීතය.

එක්කෝ සමාජ සාධාරණත්වය විරෝධාකල්ප පදනම් කරගත් ගීතය. එසේත් නැත්නම් දේශප්‍රේමය ආගමික ශ්‍රද්ධාව බොදු බැතිය ආදිය පදනම් කර ගැනුණු ගීතය. එහෙත් තේ පැන් පැන දින දින වැඩි වැඩියේ ගීතයේ පසුබිම් කතාව ඊට වෙනස්ය. මෙම ගීතය රුක්මනී දේවී ගායනා කරන බව නොදන්නා කෙනෙක් නැත. එහෙත් එහි නිර්මාණ රචකයා පිළිබඳ රසිකයා අතරර මොනම අන්දමේ හෝ කතාබහක් මේ දක්වා සිදුවී නැති බව පෙනේ. මෙම ගීතය පිළිබඳව යළි අපගේ අවධානයට ලක්වූයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා කාණ්ඩ දෙකකින් යුතුව සම්පාදනය කළ ගේය කාව්‍ය කර්තෘවරු කෘතිය නිසාය. මහාචාර්වරයා මෙම කෘතියෙන්  කාලයේ වැලිතලාවට වැසි යාමටට ඉඩ තිබූ ජනප්‍රිය ගී රැසක් නිර්මාණය කළ පද රචකයන් පිළිබඳ අගනා පර් යේෂණාත්මක හෙළිදරව්වක් කරයි.

මේ පැන් දින දින වැඩි වැඩියේ ගීතය මෙරට වෙ​ෙළඳ ප්‍රචාරණය අරමුණු කර  ගනිමින් රචිත ප්‍රථම ගීතය සේ සැලකිය හැකිය. ඒ අනුව මේ ගීතය නිර්මාණය වන්නේ සිලෝන් ටී ප්‍රවර්ධනය සඳහාය.

බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාවට මුලින්ම තේ පැළයක් රැගෙන එන්නේ 1824දීය. එය ඔවුන්  විසින් පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයේ සිටුවන ලදී. පසුව නැගෙනහිර ඉන්දියා වෙ​ෙළඳ සමාගම විසින් 1839දී ඉන්දියාවේ ඇසෑමයෙන් හා කල්කටාවෙන් තේ පැළ ගෙන්වා පේරාදෙණියේදී අත්හදා බැලීම සිදු කෙරිණි. ඊටත් පසුව 1839දී ලංකා වෙ​ෙළඳ මණ්ඩලයත් 1854දී ලංකා වැවිලිකරුවන්ගේ මණ්ඩලයත් මෙරට පිහිටුවා ගැනුණි. ජේම්ස් ටේලර් විසින් 1867දී මෙරට ප්‍රථම වාණිජ තේ වගාව ආරම්භ කරන අතර ඒ මහනුවර ලුල්කඳුර වත්තේදීය.

බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාවේ තේ වගාව ආරම්භ වූයේ බ්‍රිතානය වැවිලිකරුවන්ගෙනි. ඒවා පැවැතියේ බ්‍රිතාන්‍ය වැවිලි සමාගම ලෙසය. මෙම සමාගම පසුකාලීනව එනම් 1970දී රජයට පවරා ගැනුණු අතර ශ්‍රී ලංකා තේ ජාත්‍යන්තරයට හඳුන්වා දුන්නේ ‘සිලෝන් ටී’ යන නමිනි. ජාත්‍යන්තර තේ සඳහා අද දක්වාම ඒ නම භාවිතා වන්නේ ශ්‍රී ලංකා තේ සඳහා ලෝකයේ බොහෝ රටවල පවතින ඉල්ලුම හේතුවෙනි.

මුල් කාලීනව ‘සිලෝන් ටී’ ප්‍රවර්ධනය කිරීමේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන්නට ඇති අතර තේ පැන් දින දින වැඩි වැඩියේන ගීතය ද ඒ අරමුණින් රචනා වූවකි.

තේ පැන් දින දින වැඩි වැඩියේ

බීමෙන් සිරුරට සැප වැඩිවේ

උණුවී පැසෙනා ජලයෙහිලා

පිරිසිදු තේ කොළ වත් කරලා

සීනි ද කිරි මුසු කර නිසි සේ

සාදාගෙන පදමට රස සේ

වැඩි සැපයට තේ වැඩි වැඩියෙන් බොනු

දන මන පිනවන සේ

 

සුවඳැති මධුරස මන පිනනා

දෙව් බොජුනකි කුස ගිනි නිවනා

ශාරීරික ශක්තිය වඩවමිනා

ගතෙහි විඩා දුරලන ලෙසිනා

වැඩි සැපයට තේ වැඩි වැඩියෙන් බොනු

දන මන පිනවන සේ

රුක්මනී දේවි ගායනා කළ මේ ගීතය රචනා කර ඇත්තේ ඩබ්ලිව්. ඩී. මර්සලීනු ඇල්බට්ය. ක්‍රි.ව. 1894 – 1940 ඔහුගේ කාලය ලෙස සැලකේ. ජනප්‍රිය ගීත කිහිපයක්ම ඇල්බට් ලියා ඇතත් මේ දක්වාම ඔහු කාලයේ වැලිතලාවෙන් වැසී සිටියේය. ඔහුගේ රචනා පිළිබඳව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් තම ගේය කාව්‍ය කර්තෘවරු කෘතියේ පළමු වෙළුමේ දීර්ඝ සඳහනක් කරන අතර ඊට පෙර ඔහුගේ ගීතවල හිමිකම් තහවුරු නොවුණා  පමණක් නොව රසික ජනයා අතර මේ රචකයා සැඟවුණු චරිතයක් විය.

තේ පැන දින දින වැඩි වැඩියේ ගීතය 1940 දශකයේදී රචනා වුවත් වෙෙළඳ ප්‍රචාරණයට අවශ්‍ය සරල හා සිත් ගන්නා සුලු භාෂාවක් යොදා ගැනීමට මර්සලීනු ඇල්බට් සමත්වී ඇත. තේ බීම ශරීර සෞඛ්‍යයට සැපවත් වන්නක් බව ගීතයේ මුලින්ම අවධාරණය වේ. රසවත් තේ කෝප්පයක් සාදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව පවා ගීතයේ විස්තර කෙරේ. එය බැලූ බැල්මටම අසන්නාගේ ප්‍රිය උපදවන්නකි. එබැවින්             වෙ​ෙළඳ ප්‍රචාරණයක් වෙනුවෙන් ගීතයකට පද ඇමිණීම වඩාත් සාර්ථකව ඇල්බට්ට කිරීමට හැකියාව ලැබී ඇති බව කිව හැකිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවර්ධනයට එකල ගීතයද දායක කරගත් විශේෂ අවස්ථාවක් ලෙස මේ නිර්මාණය පෙන්වා දිය හැකිය.

මර්සිලීනු ඇල්බට් නම් රචකයා මේ ගීතය පමණක් නොව තවත්  ජනප්‍රිය ගී කිහිපයක්ම රචනා කර ඇත. ලක්ෂ්මී බායි ගායනා කරන අදටත් වඩාත් ජනප්‍රිය ගීතයක් ලෙස සැලකෙන

‘ආදී සිංහලුන්

පිට දීප දේශ ජය ගත්තා’

ගීතයේ රචකයා වන්නේද ඩබ්ලිව්. ඩී. මර්සලීනු ඇල්බට්ය. ඔහුගේ රචනා සම්බන්ධයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා තම ගේය කාව්‍ය කර්තෘවරු පළමු වෙළුවේ මෙසේ සඳහන් කරයි.

‘මර්සලීනු ඇල්බට් ගීතාවලියෙහි කූටප්‍රාප්තිය ලෙස සැලකිය හැකිවන්නේ පිට දීප දේශ ජය ගත්තා ආදී සිහලුන්’ය. ගීතයෙහි අඩංගු අදහස් කොතරම් ප්‍රබලවී ද යත් ඇතැමුන් අනුමාන කළේ එය ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ රචනයක් කියාය. ඇල්බට් මේ ගීතය රචනා කළ 30 දශකය වනාහී ළදරු කිරිපිටි ආදිය පමණක් නොව ජපානයෙ හා චීනයෙන් කළාල පැදුරු ආදිය ද ආනයනය කළ කාලයකි. ‘සිංහල හාලේ බත් අනුභව කරනු’ රට කිරිවලට දරුවන් හුරු  නොකරනු’ එවක පැවැති සටන් පාඨය. රට හාල්, රට කිරි, රරට පැදුරු දැකීමෙන් දේශමාමක කවියකු  තුළ හටගත් කම්පාව මේ ගීතයෙන් ඇසේය.

මර්සිලීනු ඇල්බට්ගේ මේ ගීත දෙක පමණක් වුව ගෙන පරීක්ෂා කර බලන කල්හි පැහැදිලි වන්නේ දේශීය ආර්ථිකය නැංවීමේ ක්‍රියාවලියට ඔහු ලබාදී ඇති දායකත්වයය. පිටදීප දේශ ජය ගත්තා ගීතයේ භාවිත කර ඇති වචන මාලාව පරීක්ෂා කර බලන විට දේශීයත්වය අගයන්නකු  තුළ මොනතරම් දේශානුරාගී හැඟීමක් ඇති වන්නේද යන්නයි.

ආදී සිංහලුන්

පිට දීප දේශ ජය ගත්තා

ආදී සිංහලුන්

තම රට දේවල් පිටරට පටවා

පිට කාසී මෙහි ඇද්දා

ආදී සිංහලුන්

පිට රට සිරිතට දිව දික් කරලා

අපෙ සිංහල කළු සුද්දා

කන්ට අඳීන්ටා පිටරටින් එනතුරු

මුහුදට දත නියවන්නා

හෙරලි බතල ටික නුපුරුදු වම්මා

රට හාලේ බත කාලා

කිරි නැති හින්දා රට කිරි දීලා

සිංහල දරුවො මරන්නා

පිට රට හාලේ බත් ටික නැත්නම්

බඩගින්නේ සිංහලයා

අන්තිමේදී බුදියන පැදුරත්

දැන් දැන් පිටරටින් එන්නා

රට නැංවීමට නම් රට ජාතිය ගැන ආදරයක් ඇති කරගත යුතු බවත් පිටරටින් ගෙනෙන තුරු බලා නොසිට දේශීය ආර්ථිකය දියුණු කළ යුතු බවත් මේ ගීතයෙන් අවධාරණ කෙරෙයි. මර්සිලීනු  ඇල්බට් ගීතයෙන් පෙන්වා දෙන පිටරට දේ බලාගෙන හිඳීමෙන් වන විපත අද අප හොඳින් අත්විඳිමින් සිටින බවද පැහැදිලිය.

දේශීය ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින් කලින් කලට විවිධ ව්‍යාපෘති ක්‍රියාවලට නැංවු බව පෙනේ. ආචාර්ය අජන්තා රණසිංහ ලියා සනත් නන්දසිරි ගායනා කළ ‘ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ’ ගීතයද වගා සංග්‍රාමය කෙරෙහි එකල ජනතාව යොමු කිරීමේ අරමුණ ඇතිව ලියැවුණි.

‘ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ

දාං අදින්නේ

ගැටවු කතාබහට කඩ එළිපත්තේ

රංචු ගැහෙන්නේ

ගමේ රටේ අහේනියයි ළමයිනේ

ඔය පුරසැරම් වැඩකට නෑ ළමයිනේ

අපේ කාලෙ අස්වැද්දු කුඹුරු ලියදි පාළුවෙලා

තල කුරහන් අල දෙල් කොස් හේන් පිටින් පාළුවෙලා

අම්ම අම්ම මොක මොකවත් කන්න බොන්න දුන් පලියට

ලැජ්ජ නැද්ද කාලෙ කන්න ගැටවරයිනි  කඩපිල් යට

මේ ගීතය එදා සිට අද දක්වාම මෙරට රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වූ බව පෙනේ. රචකයා මේ ගීතයේ  අවධාරණය කරන්නේ ගම්වල තරුණයන් කඩපිල්වල රංචු ගැසෙමින් දාං අදිමින් කාලය කා දමන බවය. වැඩිහිටි පරම්පරාව අස්වැද්දු කුඹුරු හේන් එහෙම පිටින්ම පාළුවට ගොස් ඇති බවය. ගැටවරයන් කඩපිල් යට කල් ගෙවමින් අම්මා අප්පා ලබාදෙන දෙයින් ජීවත්වීම ලජ්ජාවක් බවය. මෙරට තරුණ පරපුර ගොවිතැන වෙත සක්‍රීයව යොමු කිරීමේ අරමුණ මේ ගීත රචනයෙන් මනාව ඉටු වන්නේය.

මෙරට කෘෂි ආර්ථිකයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් වූ මහවැලි ව්‍යාපාරය උද්දාමයට ලක් කරමින් ඒ කෙරෙහි ජනතාවගේ සමීප බව තහවුරු කරමින් හැඟීමක් දැන්වීම පිණිස මහවැලිය හා බැදුණු ගීත කිහිපයක්ම අපේ ගීත සාහිත්‍යය තුළ නිර්මාණය වී තිබේ. මහවැලි ගීතය ලෙස කා අතරත් ජනප්‍රිය මේ ගීතය ඉන් එකකි.

මහවැලි මහවැලි මහවැලි

සිරිපදලස සමනොළ සිරසේ

සිඹ සිඹ සිහිලස විඳ සොඳ සේ

ගිරිකුළු විනිවිද නවමං මතු කොට

නව ලොවකට ඔබ ගලාබසී

අතීත රජයට සිරිසර ඇස හැර

ඔබ එනතුරු මග බලාහිඳී

මහවැව් බැඳි පෙර රජදරුවෝ

ඔබගෙන් යළි නව පණ ලැබුවෝ

ලෙලි දිලි ගලා බසී

මහවැලි මහවැලි මහාවැලි

 

සිරිදුව හෙට මෙහි වඩිනා මගුලට

මග පාදා පියවිලි අතුරා

ඔබ බැස එනු දැක හිනැහෙයි සිරිලක

අනාගතය කිරි දිය උතුරා

 

සිරිපද ලස සමනොල සිරසේ

සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ

ලෙලි දිලි ගලා බසී

මහවැලි මහවැලි මහාවැලි

පණ්ඩිත් ඩබ්ලියු. ඩී. අමරදේවයන් ගායනා කරන මේ ගීතය රචනා කළේ මහගමසේකර සූරීන්ය. 1976 දී එවකට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය පොල්ගොල්ල වේල්ල විවෘත කරන අවස්ථාවේ අමරදේව මහතා මෙම ගීතය ගායනා කළ බව කියැවේ. මේ ගීතය ගැයුණු බව කියැවෙන්නේ 1976 ජනවාරි මස 08 වැනිදාය. මහගමසේකර දැයෙන් සමුගත්තේ ජනවාරි මස 14 වැනිදාය. මෙ අනුව මහගම සේකරයන් දැයට දායාද කළ අවසන් ගීතය ද මෙය වන්නට පුළුවන. දේශීය කෘෂි ආර්ථිකය නැංවීමට මහවැලිය මහෝපකරී වන බව කලාත්මක හැඟීමෙන් කියාපාන්නටත් ඒ හැඟීම පොදු රසිකයා තුළ ඇති කිරීමටත් සේකර කවියා සමත්ව ඇත.

මීටත් අමතරව මහගමසේකර කවියා, එබඳු ගීත හා කවි බොහොමයක් රචනා කර ඇති බව ප්‍රකටය.

කෙසේ වෙතත් රටක ආර්ථිකය නැංවීමෙහිලා පොදු ජනයා පෙළ ගැස්වීමට කලාවෙන් ලද හැකි දායකතව්ය කෙබඳුදැයි මේ සියලු කරුණුවලින් පැහැදිලි වේ.

(*** ගාමිණී කන්දේපොළ)