මහ සයුරේ සැඩ ජල කඳට අසුව දියඹේ ගසාගෙන ගොස් උදව් ඉල්ලා කෑ ගසන විට තම ජීවිතය පරදුවට තබා ජීවිත අනූනවයක් බේරා ගත් මේ අපූරු මිනිසුන් අපට මුණගැහුනේ ගල්කිස්ස වෙරළ තීරයේදීය.
පසුගිය මාස දහය ඇතුළත මොවුන් මරණින් ගලවාගත් ජීවිත ගණන අනූනවයකි.
ඔවුන්ගේ තියුණු ඇස් යොමුව තිබෙන්නේ නිතරම මහ සයුර දෙසටය. ජල කඳ අතරේ නොපෙනී යන දෑතක්. ගිලෙන මිනිස් රුවක් කොයි මොහොතේ රළ අතරින් මතුවේද කියා ඔවුන් බලා සිටින්නේ විමසිල්ලෙනි.
එක්දාස් නවසිය අනූ අට වර්ෂයේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක‍්‍රියාවට නැංවුණු කළ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමෙන් පසුව දෙදාස් දෙක වර්ෂයේදී යම් පසුබෑමකට ලක් වූවත් දෙදාස් නවය වර්ෂයේ සිට නැවතත් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ලෙස නව ගමන්මගකට අවතීරණය වන්නේ ඉතාමත් ශක්තිමත් ආකාරයට.
මේ සම්බන්ධයෙන් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී මෙහෙයුම් කමාන්්ඩර් රොහාන් ජෝෂප් මහතා මෙසේ පැවසුවේය.
වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ට පැවරී ඇති රාජකාරි අතර මුහුදේ ගිලෙන පිරිස් බේරා ගැනීමේ රාජකාරිය ජීවිත ආරක්ෂකයින් හොඳින් ඉටු කරනවා. මේ ආයතනය ආරම්භකරපුදා ඉඳලා මුහුදේ ගසාගෙන ගොස් බේරාගත් ජීවිත ගණන එකසිය හතළිස් අටක් පමණ වෙනවා. එම පිරිසෙන් එකසිය විසි දෙකක්ම දේශීය සංචාරකයෝ. විදේශිකයින් විසි අට දෙනකුගේ ජීවිතත් ගලවා ගත්හ.
වෙරළ ආරක්ෂක රාජකාරී ජීවිත කාලය තුළ අමතක නොවන සිදුවීමක් පිළිිබඳව සිය අත්දැකීම් විස්තර කරමින් ජෝශප් මහතා මෙසේද පැවසුවේය.
ඇත්තටම ජීවිතයත් මරණයත් අතර ඉන්න මනුස්සයෙක් බේරා ගන්න අයකුට ලැබෙන සතුට හැමෝටම ලැබෙන්නෙ නැහැ. එහෙම බැලූවම මෙහි සේවය කරන ජීවිත ආරක්ෂකයො වාසනාවන්ත පිරිසක්.
මට මතකයි එක දවසක් රට වටේම තිබෙන ජීවිත ආරක්ෂක මුරකුටි වලින් වාර්තා වුණා. දියේ ගිලෙන්න ගිය දහ දෙනෙක්ගේ දිවි බේරගත්තු කතාවක්.
ඒ විවිධ ප‍්‍රදේශයන්හි වාර්තා වූ දියේ ගිලෙන්නට ගිය පිරිස් ගලවා නොගත්තා නම් එදා රටේ ප‍්‍රදේශ කිහිපයකින් දියේ ගිලී මියයෑම් දහයක් වාර්තා වෙන්න ඉඩ තිබුණ.
ඇත්තටම මට මතකයි එක්තරා මවක අපට පිංදුන්නා වෙන්නට ගිය ජීවිත හානි වැළැක්වූවාට. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. දියේ ගිලී බේරාගත් අයකුට ලබාදෙන ප‍්‍රථමාධාර ඉතාම වැදගත්.
|
|
දියේ ගිලූනු පුද්ගලයකු ගොඩබිමට රැගෙන එමින් |
.
ප‍්‍රථමාධාර නියමාකාරයෙන් නොදුන්නොත් පැය හතලිස් අටක් ඇතුළත රෝගියා මිය යා හැකියි.
එයට අප කියනවා දෙවැනිවර දියේ ගිලී මියයාම කියලා.
දියේ ගිලෙන පුද්ගලයකුට වැඩි වශයෙන් සිදුවන දෙයක් තමයි පෙනහලූ ජලයෙන් පිරියාම. රෝගියාට ප‍්‍රථමාධාර දිමේදී පෙනහලූ වලට ආපු ජලය ඉවත් නොකළොත් රෝගියා පැය හතලිස් අටක් ඇතුළත මිය යනවා එය දෙවැනි වර මිය යාමක් ලෙස අප හඳුන්වනවා. එවැනි අවදානමක් කිසි විටෙක ඇති නොවන්නට පුහුණු කළ ජීවිත ආරක්ෂකයන් අප මේ සැම මුරපොළකටම යොදවා තිබෙනවා.
දියවැලෙන් ගලවාගත් පමණින් ජීවිත ආරක්ෂකයකුගේ කාර්යභාරය අවසන් වන්නේ නෑ.
දියවැලට හසු වූ දියඹට ගසාගෙන ගිය පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීම, දියඹේදීම ඔහු කෘත‍්‍රිම ශ්සවනය ලබාදීම, ඔහුගේ තත්ත්වය පරීක්ෂා කිරීම, ඔහු ගොඩට නියම ඉරියව්වෙන් රැුගෙන ඒම පමණක් නොවේ ප‍්‍රථමාධාර ලබාදීමෙන් පසු රෝගියා රෝහලට බාරදී වෛද්‍යවරයා දැනුම්වත් කළ යුතුයි. ලබාදුන් ප‍්‍රථමාධාර සම්බන්ධයෙන් වෛද්‍යවරු දැනුම්වත් කිරීමත් වැදගත්.
තම ජීවිතය ආරක්ෂක සේවා කාලය තුළදී ලැබූ අත්දැකීම් පිළිබඳව බලනැවි කේ.එස්.පී. කුමාර මහතා පැවසුවේ මෙවැනි කතාවකි.
සති අන්තයේදී ගල්කිස්ස මුහුදු තීරයේ දියනෑමට එන පුද්ගලයින් වැඩියි. මත්පැන් පානය කළාට පසුව තමයි ඔවුන් වතුරට බහින්නේ. ඒ වගේ වෙලාවට අපි මොනතරම් දැනුවත් කළත් නාන්න එපා අද මුහුද සැරයි කියලා ඔවුන් ඒ පිළිබඳව කනකට ගන්නේවත් නැතුව වතුරට බහිනවා.
නිතරම අපි ජනතාවට දැනුම් දෙනව අපගේ මුරකුටිය දෙපස ඇති කොඩිදෙක මැද්දේ නාන්න කියලා.
එසේ කොඩි දෙක මැද්දෙන් නෑමෙන් කිසිවකු දියෙහි ගිලූනොත් හැකි උපරිම කාලයකින් දියෙහි ගිලෙන්නට යන නැතැත්තාගේ දිවි ගලවා ගන්න පුළුවන්.
සිය අත්දැකීම් ඉරිදා ලංකාදීප වෙත පැවසීමට අප හා එක් වුණේ නායක නැවි සංජීව කුමාර මහතා:
මා මෙම වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවිත ආරක්ෂකයකු ලෙස සේවය කිරීම අරඹලා වසර දෙකක් පමණ වෙනවා. මාපියන් සමග මුහුදු වෙරළට එන දරුවන් පවා අනතුරට ලක්වෙලා අපි එවැනි ජීවිතත් බේරාගෙන තිබෙනවා.
දියවැලකට අසුව ගසාගෙන යනකොට බොහෝ දෙනෙක් කරන වැරදි ක‍්‍රියාවක් තමයි බියවීම, තම ශරීර ශක්තිය හීන කර ගනිමින් දියවැලට හසුව ඇදීයන ස්ථානයෙන්ම ගොඩබිමට එන්න උත්සාහ කිරීම එය වැරදියි. මෙහිදී දියඹට ඇදී යනවිට කලබල නොවිය යුතුයි. දියවැල ඇදීයන දෙසට ඇදී ගිහින් ඉන්පසුව දියවැලට මග හැර වෙරළට සමාන්තරව පිහිනා යා යුතුයි. වමට හෝ දකුණට පිහිනා යා යුතුයි. ඇදීගිය ස්ථාන යෙන්ම ගොඩ එන්න උත්සාහ කිරීමෙන් වෙන්නේ ශරීර ශක්තිය හිනවීම විතරයි.
දියවැලෙන් ගැලවීම අපහසු නම් ආධාර ඉල්ලා සංඥා කළ යුතුයි.
සාමාන්‍යයෙන් දියවැලක් සීයට අනූවක වේගයෙන් ගලාගෙන යනවා. දුඹුරු පැහැති ජලය, රළ බිඳුම ඉක්මවා යන පෙණ දෙපසට වදින ?ලි අපද්‍රව්‍ය මුහුදට පාවී යන ආකාරය මගින් හා පෘෂ්ඨය මත රැුළිති හට ගැනීම මගින් දියවැල් ඇති මුහුදු කලාපය අපට හඳුනාගත හැකියි.
දවසක් මට මතකයි නාන්න ආ පිරිසකගෙන් තුන් දෙනෙක් දියවැලට අසුව දියඹට ගසාගෙන ගියා. එවැනි අවස්ථාවක ඔවුන් බේරා ගන්න තව තුන්දෙනෙක් වතුරට පැන්න. අන්තිමේ ඒ හය දෙනාම බේරගන්න අපට විශාල මහන්සියක් වෙන්න වුණා.
මේ වැරදි ක‍්‍රියාවලිය බොහෝ විට දිය නාන අය කරන වැරදිම ක‍්‍රියාවක්. යම් අයකු බේරා ගැනීමට පෙර අපි මුලින්ම අපේ ජීවිත ආරක්ෂාව සලසාගත යුතුයි. එහෙම නොවී තමාගේ හිතවතා බේරා ගන්න අතේ කිසිම ජීවිත ආරක්ෂක උපාංගයක් නොමැතිව වතුරට බැසීමෙන් සිදුවන්නේ ඔබ ඔබේ ජීවිතයත් අවධානමකට ලක් කිරීම පමණයි ඔහු කියයි.
|
දියේ ගිලූනු පුද්ගලයෙකු බේරාගන්නා ජීවිතාරක්ෂකයෙක් |
ගල්කිස්ස වෙරළ ආරක්ෂක මුරපොළ භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ වෙරළ ආරක්ෂක නාවික නිලධාරී එල්. පී. ලියනගේ මහතා අප හා මෙසේ පැවසුවේය.
මා මෙහි භාරව කටයුතු කරන නිලධාරියා පමණයි. ජීවිත ආරක්ෂක ක‍්‍රියාවලියේදී වැඩි කාර්ය භාරයක් කරන්නේ ජීවිත ආරක්ෂකයෝ.
මා ඇතුළු මෙහි සේවය කරන සියලූම දෙනා වරින් වර ජනතාව දැනුම්වත් කරනවා. ජීවිත ආරක්ෂක මුර කුටිය දෙපස ස්ථානගතකොට ඇති කොඩි දෙක අතරට ඇවිත් නාන්න කියලා. පසුගිය සතිය තුළ තරුණ යුවලක් බේරා ගැනීමට මෙම ජීවිත ආරක්ෂකයන් කටයුතු කොට තිබුණි. කොතෙක් ජීවිත බේරා ගත්තද නැවත ඔවුන් තමා හමුවීමට නොපැමිණි බව මේ ජීවිත ආරක්ෂකයින් පැවසුවේ යම් කලකිරීමකින් යුතුවය.
ජීවිතයක වටිනාකම මිල කළ නොහැකිය. එවන් වටිනා ජීවිත මරණින් ගලවා ගැනීම උදෙසා මෙම ජීවිත ආරක්ෂකයින් කරන සේවාවද මිල කළ නොහැකිය. එවන් සේවාවක් සපයන මෙවැනි මිනිසුන්ගේ වටිනාකම වැල්ලේ රැඳුණු පා සටහන් මෙන් මැකී යාමට ඉඩ දිය හැකිද?

