“එහෙත් විමතියට කරුණ වන්නේ, එවකට සිටි රජයන් (?? - රජය නොව, ආණ්ඩු) පරාජය වන බව දැන දැනත් මෙම ඡන්ද ව්‍යාපාර සඳහා මහජන මුදල් මිලියන ගණන් වැය කිරීමයි. ජිනීවාවල සැසිය පැවැත්වෙන දිනවල විශාල මැති ඇමැතිවරුන් සහ නිලධාරි කණ්ඩායම් දවස් ගණන් ස්විට්සර්ලන්තයේ සිටිමින්, කාලය සහ මහජන මුදල් වැය කළා. මේ සියල්ල ඔවුන් කළේ, ඡන්දය පරාජය වනවා කියන යථාර්ථය දැන දැනම, පොදු මාධ්‍ය සංදර්ශන මගින් රටේ ජනතාව නොමග යැවීමට පමණයි.”
ඉහතින් ඇත්තේ ඔක්තෝබර් 9 වැනිදා විදේශ කටයුතු ඇමැති විජිත හේරත් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉකුත් (2025) ඔක්තෝබර් 6 වැනිදා ශ්‍රී ලංකාවට අදාළ “සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම්” පිළිබඳ අංක A/HRC/60/L1/Rev.1 දරන යෝජනා කෙටුම්පත ඡන්දයකින් තොරව සම්මත කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ දී කරන ලද හේතු දැක්වීමෙන් උපුටා ගත්තකි. එම යෝජනාව වෙනුවෙන් ආණ්ඩුව ඡන්දයක් නො ඉල්ලා සිටීම පිළිබඳව විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු හා මානව හා සිවිල් අයිතිවාසිකම් ක්‍රියාධරයෝ ප්‍රශ්න කළහ. ඊට හේතු දක්වමින් ඔහු අවධාරණය කළේ, කලින් සිටි ආණ්ඩු මෙන් පරදින යෝජනා වෙනුවෙන් මහජන මුදල් නාස්ති කිරීමට මේ ආණ්ඩුව සූදානම් නොමැති බවය.
පසුගිය ආණ්ඩු මහජන මුදල් නාස්ති කෙරුවේ ජිනීවා යෑමට පමණක් නොවේ. හැම උත්සවයකටම, හැම දේශීය හා විදේශ සවාරියකටම මහජන මුදල් නාස්ති කිරීම, හැම ආණ්ඩුවකම සාමාන්‍ය කාරණාවක් බවට පත්ව තිබෙන්නකි. එනමුත්, මුදල් නාස්ති නොකිරීමට විසඳුම, වැඩේ නොකර සිටීම නොවේ. එනිසා ජිනීවා යෑමත් මානව හිමිකම් කොමිසම හමුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනෙනු ලැබූ යෝජනාව සඳහා අනෙක් සාමාජිකයන් දිනා ගනිමින් ඡන්දයක් ඉල්ලීම, මහජන මුදල් නාස්ති නොකර කළ යුතුව තිබුණි. කළ හැකිව තිබුණි. ඔහු එය නොදන්නා බව ඔහුගේ ප්‍රකාශයෙන් තහවුරු කර ඇත.
මුදල් නාස්තිය ගැන කීව ද මේ ආණ්ඩුව ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ මුදල් නාස්තිය ගැන එතරම් උනන්දුවක් ඇතැයි දකින්නට නැත. මාලිමා ආණ්ඩුව යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මුදල් නාස්තිය සම්බන්ධ පළමු සිද්ධිය වාර්තා වන්නේ සැමෝවාහි ආපියා දූපත් නගරයේ 2024 පැවැති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී නොවන්නට තීන්දු කර, ලන්ඩනයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය ඊට සහභාගී කරවීමෙහි ය. සැමෝවාවේ වගකීම් බාර කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාටය. එනිසා ජනාධිපති වෙනුවට එම රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන්නට යැයි දැනුම් දිය යුතුව තිබුණේ ඔහුටය. එහෙත් ලන්ඩනයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය එකී රාජ්‍ය නායක සමුළුවට සහභාගී කරවීමෙන් ලෝක සිතියමේ අනෙක් කෙළවර ඇති නවසීලන්තය නැතිනම් ඕස්ට්‍රේලියාව හරහා සැමෝවා දක්වා වූ ගුවන් ගමනට වැය කළ අතිශය විශාල මුදල පැහැදිලිවම ලොකු නාස්තියක් විය.
ඉදිරි දශකයක පමණ කාලයක ඇමැති හේරත් කියන ආකාරයට විදේශ කටයුතු සඳහා වෙන් කෙරෙන මුදල් නිසියාකාරව හා ප්‍රයෝජනයක් ඇති සේ භාවිත කිරීමට නම්, එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජන කාර්යාල 02 ක ඇතුළු අපගේ මහ කොමසාරිස් හා තානාපති කාර්යාල 55 ක වගකීම්, දෛනික වැඩ ප්‍රමාණය හා නිලධාරී තනතුරු හා පුද්ගල සංඛ්‍යා සම්බන්ධයෙන් ද වත්මන් ලෝක තත්වයට අදාළව ද අලුත් ඇගැයුමක් කළ යුතුව ඇත. එවගේම විදේශවල ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාල 11 ක් නඩත්තු කිරීම සම්බන්ධව නිසි ඇගැයුමක් කර ඒවායේ අවශ්‍යතාව අනුව තීන්දු ගැනීමය.
මේ මොහොතේ එනමුත් වැදගත්ම කාරණය වන්නේ, මානව හිමිකම් කොමිසම මෙවර සැසි වාරයේ දී ශ්‍රී ලංකාවට අදාළව ඉදිරිපත් කළ A/HRC/60/L1/Rev.1 යෝජනා කෙටුම්පත ඡන්දයකින් තොරව සම්මත කිරීමට ඉඩ හැරීමේ ආණ්ඩුවේ දේශපාලන නිපුණත්වය කියවා ගැනීම ය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට ශ්‍රී ලංකාවට අදාළව ගෙන එනු ලැබූ යෝජනා සඳහා නිමිත්ත වන්නේ, 2009 මැයි මාසයේ උතුරු-නැගෙනහිර යුද්ධය නිමා කිරීමේ දී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, යුද අපරාධ හා මූලික මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ආණ්ඩුවේ හා හමුදා නායකයන් පූර්ණ ලෙස වගකීම් බාර ගත යුතු යැයි වන චෝදනාව ය. එවැනි උල්ලංඝන කිරීම් ස්වාධීන පරීක්ෂණයකට බඳුන් කිරීමේ හැකියාවක් හා දේශපාලන වුවමනාවක් ලංකාණ්ඩුවට නැතැයි වන පූර්ව නිගමනයේ සිට, ශ්‍රී ලංකාව සම්බන්ධව ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමේ යෝජනාව ඉදිරිපත් කෙරුණි. දෙමළ ඩයස්පෝරාවේ බලපෑම් ද සමගින් බටහිර බලවතුන් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව මේ යෝජනා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමේ ඔවුන්ගේ න්‍යාය පත්‍රයක් ද තිබිණ. 2009 සිට මෙතෙක් අවුරුදු 16 ක කාලයක් තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම හමුවට ගෙනෙනු ලැබූ යෝජනා 11 කි. ශ්‍රී ලංකාණ්ඩුව විසින් තමන්ට වාසිදායක ලෙස සංශෝධනය කරගනු ලැබූ පළමු යෝජනාව සඳහා 2009 දී බහුතර ඡන්දයක් ලබා ගත් නමුත් 2012 සිට අනෙක් සෑම යෝජනාවක්ම ශ්‍රී ලංකාවට එරෙහිව වැඩි ඡන්දයෙන් සම්මත විය.
විජිත හේරත් ඇමැති පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ පරිදි මෙතෙක් වූ ආණ්ඩු මානව හිමිකම් කොමිසමෙහි බලවත් රටවල් සමග සම්මුතීන්වලට එළැඹි අවස්ථා ඇත. එවැනි සම්මුතීන් විශේෂයෙන් යොමු වූයේ ලංකාණ්ඩුවේ දේශපාලන නායකයන්ට හා හමුදා ප්‍රධානීන්ට එල්ල කෙරුණු චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්වීම වළකා ගැනීමටය. එවැනි සම්මුතීන්වලට එළැඹීමට අනිවාර්යයෙන්ම ඔවුන් සමග සෘජු ගනුදෙනු තිබිය යුතු විය. එවැනි ගනුදෙනු බොහෝමයක් සිදු වූයේ ජිනීවා ගමන්වලදී විය යුතුය. ඒ වෙනුවෙන් බර පැන දරන්නට සිදුවූවා නම්, හේරත් ඇමැති කියන ආකාරයට ඒවා නාස්ති කිරීම් දැයි නොදනිමි.
ඒ කෙසේ නමුත් 2014 වන විට, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කෙරුණු යෝජනාවෙහි ද සම්මුතිවාදී නැඹුරුවක් තිබිණ. 2014 මාර්තු සැසියට ඉදිරිපත් කෙරුණු A/HRC/25/1 යෝජනාවෙන් ඉල්ලා සිටියේ, “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය” විය. ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් සම්බන්ධව එම යෝජනාවෙහි සෘජු ඉල්ලීමක් නොවුණි. ඒ වෙනුවට මානව හිමිකම් කොමසාරිස් වෙත පැවරූ කාර්ය වූයේ, ජනාධිපති රාජපක්ෂ විසින් පත් කෙරුණු “උගත් පාඩම් හා සංහිඳියා කොමිසම් සභාව” විසින් ආවරණය කරනු ලැබූ කාලයෙහි ශ්‍රී ලංකාණ්ඩුව හා යුද්ධය කෙළවර කිරීමේ දී සහමුලින් විනාශ කෙරුණු එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිදු කරන ලදැයි වන මානව හිමිකම් උල්ලංඝන හා ඊට සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් වන බරපතළ චෝදනා පූර්ණ පරීක්ෂණයකට භාජන කර, ඒ සම්බන්ධ වාචික කාර්ය සාධන වාර්තාවක් 27 වැනි සැසිවාරයට ඉදිරිපත් කරන ලෙසත් පූර්ණ ලිඛිත වාර්තාවක් 28 වැනි සැසිවාරයට ඉදිරිපත් කරන ලෙසත් ය. මානව හිමිකම් කොමසාරිස් ඊට අදාළ පරීක්ෂණ සඳහා ඔහුගේ කොමිසමෙහි මානව හිමිකම් කාර්යාලයක් (OHCHRISL) ජිනීවාහි පිහිටුවීය.
එතැන් සිට මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කෙරුණු යෝජනාවල මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, යුද අපරාධ හා මූලික මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණ ගැන කතා නැත. ඒ සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරාවේ ද මත බෙදීම් ඇති විය. එවගේම, යුද්ධයේ නිමාවෙන් පසු උතුරු-නැගෙනහිර බිම් මට්ටමේ ද සැලකිය යුතු වෙනස්කම් වෙමින් තිබිණ. 2010 සහ 2015 පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීම, පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ සහ නැගෙනහිරට මෙන්ම උතුරට ද පළාත් සභා පිහිටුවීමේ මැතිවරණ සමග එල්.ටී.ටී.ඊය යටතේ ගැට ගසා තිබුණු දෙමළ සමාජය එතෙක් වූ අදේශපාලන ජීවිතයෙන් නිදහස්ව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාකාරිත්වයකට නතු වන්නට, නැවත හුරුවන්නට විය.
බිම් මට්ටමේ දිග හැරුණු එවැනි වෙනස්කම් සමග 2015 ඔක්තෝබරයේ ශ්‍රී ලංකාණ්ඩුව ද හවුල් වූ අංක 30/1 දරන මානව හිමිකම් යෝජනාව මගින් සංහිඳියාවට අලුතින් එකතු කෙරුණු සංක්‍රමණික යුක්තිය, හානි පූරණය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වැනි කාරණා ක්‍රියාත්මක කිරීමේ ආයතන, යාන්ත්‍රණ පිහිටුවීම හා කාල සටහන් ප්‍රධාන වගකීම් බවට පත් කෙරුණි. ඊට පිටතින් ඉතිරි වූයේ 2014 මාර්තු සැසියට ඉදිරිපත් කර සම්මත කෙරුණු A/HRC/25/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ අපරාධ සම්බන්ධ තොරතුරු, සාක්ෂි එකතු කිරීමට පිහිටවූ මානව හිමිකම් කාර්යාලයේ කාර්යයන් පමණි.
එතැන් සිට ඉදිරිපත් කෙරුණු යෝජනා ඉල්ලා සිටි අයුරු 2022 ඔක්තෝබර් 6 වැනිදා සම්මත කරනු ලැබූ අංක A/HRC/RES/51/1 දරන යෝජනාවේ වූයේ ද 8 වැනි පරිච්ඡේදයෙන් අවධාරණය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ සිදුවූ අපරාධ සම්බන්ධ තොරතුරු, සාක්ෂි එකතු කිරීමට පිහිටවූ මානව හිමිකම් කාර්යාලයේ කාලය දීර්ඝ කිරීමටත් එහි ක්‍රියාකාරකම් ශක්තිමත් කර දියුණු කිරීමටත් ය. ලංකාණ්ඩුව එවර විරුද්ධ වූයේ නිශ්චිතව 8 වැනි පරිච්ඡේදය හේතු කර ගෙනය.
මාලිමා ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමැති හේරත්ගේ අර්ථ දැක්වීම් අනුව මුදල් නාස්තිය සමගින් වූවත් සුඩානය, උගන්ඩාව, කෙන්යාව, වැනි රටවල් කිහිපයක් මෙන් ශ්‍රී ලංකාව හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ගෙන යාමේ කතා කිසිවක් නොවුණේත් ජනාධිපති පුටින්ට හා ඊශ්‍රායල අගමැති නෙතන්යාහුට මෙන් අපගේ රාජ්‍ය නායකයන් කිසිවකුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර නොමැත්තේත් සුඩාන හමුදා නායක අලි මුහමඩ් අලි අබිඩ්-අල් රහ්මාන් යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සඳහා මීට සතියකට පමණ ඉහතින් (2025) ඔක්තෝබර් 6 වැනිදා වරදකරුවකු යැයි තීන්දු කෙරුණු ඉරණමට අපගේ කිසිවකු මුහුණ නොදුන්නේත් කලින් පැවැති ආණ්ඩු ජාත්‍යන්තර බලවතුන් සමග ජිනීවාහි මානව හිමිකම් සමුළුවේදීත් ඉන් බැහැරවත් දිග හැරගත් සංවාද හේතුවෙනි. එවැනි සංවාද සමග ලංකාණ්ඩුවේ ස්ථාවරය විවෘතව නිල වශයෙන් ප්‍රකාශ කිරීමේ ප්‍රධානම වේදිකාව සැකසුණේ යෝජනා වෙනුවෙන් ඡන්දය ඉල්ලීමෙනි.
එනමුත් ශ්‍රී ලංකාවට ලැබුණු ඡන්ද සංඛ්‍යාව හැම යෝජනාවකදීම අඩු විණැයි ඇමැති හේරත් පාර්ලිමේන්තුවේ දී කියූ තොරතුර නිවැරැදිය. එසේ වන්නට බරපතළ හේතුවක් ඇත. යුද අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණ අත හැර සංහිඳියාව, සංක්‍රමණික යුක්තිය, හානි පූරණය සඳහා අවශ්‍ය පියවර ගත යුතු යැයි යෝජනා වලින් ඉල්ලා සිටි විසඳුම් සාර්ථකව ක්‍රියාත්මක කරන්නේ යැයි කීමට ලංකාණ්ඩුවට නොහැකි වීම, එසේ ඡන්ද අඩුවීමට ප්‍රධානම හේතුව වන්නේය. අවම තරමින් අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) හෝ ඒ වෙනුවෙන් ප්‍රමාණවත් නොවූවකි. එබැවින් යෝජනා සම්මත කිරීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඡන්දය දිය යුත්තේ කුමකට දැයි ඇත්ත ප්‍රශ්නයක් ඉතිරිව ඇත.
පසුගිය ඔක්තෝබර් 6 වැනිදා ඡන්දයක් නොමැතිව සම්මත කෙරුණු මානව හිමිකම් පිළිබඳ අංක A/HRC/60/L.1/Rev.1 දරන යෝජනාවෙහි සඳහන් වන කාරණා 14 න් අවසන් කාරණාව ලෙස ඇතුළු කර ඇති 51/1 යෝජනාවේ පරිච්ඡේද අංක 8 හැරණු විට, විරුද්ධ වන්නට වෙනත් කිසිදු කාරණාවක් ලංකාණ්ඩුවට නොතිබිණ. අනෙක් සියල්ල ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ක්‍රියාත්මක කළ යුතු ජනතාවාදී යෝජනා ය. ඒ සඳහා කල් මැරීමට අවශ්‍යය ද නැත. මානව හිමිකම් කොමිසමේ යෝජනා අවශ්‍යය ද නැත. එනිසා ජිනීවා ගිය විජිත හේරත් ඇමැතිවරයාට තිබුණේ මෙතෙක් වූ ආණ්ඩු නොකළ සංහිඳියාව වෙනුවෙන් යෝජනා 2026 සැප්තැම්බරයට පෙර ක්‍රියාත්මක කිරීමේ සහතිකය ලබා දෙමින් 14 වැනි කාරණාව ඉවත් කර ඡන්දයක් ගන්නේ නම් තමන් ද A/HRC/60/L.1/Rev.1 යෝජනාවට පක්ෂව ඡන්දය දෙනවා යැයි කියන්නට ය. එවැනි සාධනීය තීන්දුවක් ගත්තේ නම්, අනෙක් ආණ්ඩු මුදල් නාස්ති කළේ යැයි කියූ චෝදනාවට වටිනාකමක් ලබා දෙන්නට ඉඩ තිබිණ.
(*** කුසල් පෙරේරා)

