නිර්භීත ආණ්ඩුවක් අවශ්‍ය ඇයි?


එදිනෙදා ජීවිතය සඳහා ජනී ජනයා දරන පරිශ්‍රමය මෙරට පාලකයන්ට දැනෙන බවක් පෙනෙන්නේ නැත. සාමාන්‍ය ජනතාව නොතකා ආණ්ඩුව ගන්නා තීන්දු එයට සාක්ෂියකි. මෑත කාලයේ ආර්ථිකය ස්ථාවර කරන හා සමාජ ප්‍රතිසංස්කරණ අරමුණු කරගෙන ගත් තීරණ සමග දේශපාලඥයන් සහ ජනතාව අතර විශාල දුරස්ථභාවයක් නිර්මාණය වී තිබේ. පරතරය කොපමණ ද යත් ඉදිරි මැතිවරණයක දී, අපේක්ෂකයන් තෝරා ගැනීමේ ක්‍රමවේදයට කිසිසේත් සම්බන්ධ විය යුතු නැති බව සිතන කොටසක් අප අතර සිටිති. එම පිරිස දිනෙන් දින වැඩිවන බව නිරීක්ෂණය කළ හැකිය. එය කිසිසේත් සුදුසු තත්වයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව, පවත්වන ඡන්දයකින් මහජන නියෝජිතයන් තෝරා පත්කරගත යුතු අතර රට ගොඩනගන දර්ශනයක් අනුව කටයුතු කරන වගකීමක් පාලකයන්ට පැවැරේ.

පොදු ජනතාවගේ අභිවෘද්ධීය තකා, බහුතරයගේ කැමැත්ත වෙනුවෙන් ආණ්ඩුවක් තීරණ ගන්නා බව විද්‍යමාන විය යුතුය. එසේ සිදුවන බවට විශ්වාසය ගිලිහෙමින් පවතින අවස්ථාවක ජනතා අපේක්ෂා සහ ඒවා ඉටුකළ හැකි තරම සම්බන්ධ පරතරය පුළුල්වීම අයහපත් තත්වයකි. අර්බුදයකට පත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගන අතරතුර ආදායම හා වියදම ගැළපීම පමණක් නොව පාලන ක්‍රමය ගැන මහජන විශ්වාසය දිනාගත හැකි පරිදි කාලෝචිත, ගැඹුරු ප්‍රතිසංස්කරණ කරන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීම වැදගත්ය.

 

පැරණි ආකෘතියක අලුත් රාමුවක් ගොඩනැගීම

මෙම වසර තුළ නියමිත මැතිවරණ සඳහා දේශපාලන පක්ෂ කඳවුරු බඳිමින් සිටී. බරපතළ ආර්ථික පිරිහීමක් සහ එය හේතුකොටගෙන උද්ගත වූ සමාජ ප්‍රශ්නවලට විසඳුම් අලුතින් සපයන්නට සූදානම් බව පක්ෂවල හා ප්‍රධාන දේශපාලනඥයන්ගෙන් කියැවෙන්නේ නැත. පැරණි ආකෘතිය ඉවසාගත නොහැකිව සිටින සමාජයට අලුත් රාමුවක් බව හුවා දක්වන නමුත් ඇතුළුවෙන්නට යෝජනා කරන ආකෘතිය වෙනස් දෙයක් නොවේ. ලෝකයේ සෑම රටක්ම ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදයකට පසු පැමිණි මාවත ඔස්සේම ඉදිරියට ගමන් කිරීම වෙනුවට විකල්ප අත්හදා බලා ඇත. එම විකල්ප අතරින් සාර්ථක තීරණ හමුවේ ජයග්‍රහණ අත්පත් කරගෙන ඇති අතර දෙවැනි තෙවැනි අවස්ථාවල දී ද, පරාජය වුවහොත්, පැවැත්ම සහමුලින්ම වෙනස් කරගෙන ඉදිරියට ගමන් කර ඇත.

අද පවතින සංකීර්ණතා හඳුනාගෙන, තොරතුරු තාක්ෂණ හා නවීන සන්නිවේදන යුගයට ගැළපෙන සැලැස්මක් සකස් කරගැනීම අලුත් අවස්ථාවකි. එම පරිවර්තනය සඳහා අවශ්‍ය තීරණ ගැනීම වැදගත්ය. කුඩා රටක් වශයෙන්, ශ්‍රී ලංකාවට ලෝක ආර්ථිකය තුළ තරගකාරී කටයුතු කළ හැකිය. එයට ගැළපෙන දක්ෂ මානව සම්පතක් රටට ඇත. අවස්ථා අඩු සහ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් පැහැදිලි නැති තත්වයක් තුළ සැලකිය යුතු පිරිසක් වෙනත් රටවලට පිටත්ව යමින් සිටිති. දූෂණය තුරන් කිරීම හෝ ජනතාවට සහන දෙන පොරොන්දු සහිත තාවකාලික විසඳුම් වෙනුවට පැරැණි අත්දැකීම් පදනම් කරගෙන පරිවර්තනීය යෝජනා සමාජයට ඉදිරිපත් කිරීම වැදගත්ය. දේශපාලනඥයන් සහ දේශපාලන පක්ෂ මෙම අංශ සම්බන්ධයෙන් නිර්භීතභාවයක් පෙන්විය යුතුවේ.

 

බදු අඩු කරන කුඩා ආණ්ඩුවක් සඳහා යෝජනා

ක්‍රමය පවත්වාගෙන යෑමට ඉහිලිය නොහැකි වියදමක් දරන සමාජයක් පවතින තත්වය ප්‍රතික්ෂේප කිරීම පුදුමයක් නොවේ. වියදම අධික බව සලකා මහජනතාවට අධික බදු පනවන ආණ්ඩු ජනතාවගෙන් යැපෙන තරම පාලනය නොකරන්නේ ඇයි? පොදු ජනතාවට බර පටවා යැපෙන්නට සූදානම් වන ආණ්ඩුව තමන්ගේ වියදම් ද පාලනය කරගත යුතුය. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන විසි දෙකකට ආසන්නය. මෙම ජන කොටස පාලනය කිරීම සඳහා විශාල රාජ්‍ය සේවයක්, අකාර්යක්ෂම රාජ්‍ය ආයතන ප්‍රමාණයක් හා දේශපාලන ස්ථර ගණනාවක් අවශ්‍ය නැත.

මෙම ස්ථර අතරින් එකක් වන පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතුය. අධිරාජ්‍යවාදීන් ගෙන් නිදහස ලබා ගැනීමෙන් පසු පාලනය සඳහා ඇතිකරගත් ව්‍යුහ යුගයෙන් යුගය වෙනස් කර ඇත. මෙම වෙනස්කම්වලින් ජනතා ප්‍රශ්න විසඳන ආකාරය හෝ ඒ සඳහා දරන පිරිවැය තක්සේරු කළ යුතුය. 1987 දී සම්මත කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අනුව ඇති කළ ක්‍රමය රටට දැන් ප්‍රයෝජනයක් නැත. පළාත් සභා අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් 2018 වසරේ සිට අක්‍රීයව පවතී. පළාත් සභා ඡන්ද නොපැවැත්වීම දේශපාලන පක්ෂවලට හෝ ජනතාවට බරපතළ ප්‍රශ්නයක් නොවන බව පෙනේ. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව විසඳීමට පළාත් සභා හඳුන්වා දී ඇත. සාමය උදාකරගත් පසු සියලු පර්ශ්ව එකතුවී පවත්වන සාකච්ඡාවකින් අනතුරුව රටට ගැළපෙන සහ පහළ තලයේ ජනතාවගේ සාධාරණ ප්‍රශ්න විසඳන ක්‍රමවේදයක් සකස් කරගත යුතුය.

පවතින පළාත් සභා ව්‍යුහය අධික පිරිවැය සහිත, සමාජ බෙදීම් ඇතිකරන සහ අකාර්යක්ෂමතාව පිරී රාමුවක් බව ඔප්පු වී ඇත. ලෝකයේ අනෙක් රටවල් පවා වරින් වර සංශෝධන ඉදිරිපත් කරයි. ඉන්දියාව පවා මෙම පියවර අනුගමනය කර ඇත. චීනය හෝ ජපානය පළාත් හා ප්‍රාදේශීය පාලනය කරගෙන යන ක්‍රම නවීන යුගයට ගැළපෙන පරිදි සකස් කර ඇත. පළාත් සභා ඉවත් කර පළාත් පාලන ආයතනවලට බලතල ලබාදීමෙන් ජනතාවට වැඩි සේවයක් සැලකිය හැකිය.

 

රජයේ වියදම ජනතාවට ප්‍රශ්නයක් බව ඇඟවීම

රජයේ ආයතන ප්‍රමාණය, සේවය කරන පිරිස ජාතික අය වැය ලේඛනයට කරන බලපෑම සුළු පටු නොවේ. 2022 වසරේ දී බදු ආදායමෙන් සියයට 73 ක් රජයේ සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා වැය කර ඇත. වැටුප්, දීමනා, කාර්යාල නඩත්තුව ඇතුළු පිරිවැය අනුව ලැබෙන සේවය ගැන ජනතාව තෘප්තිමත් නැත. රාජ්‍ය ආයතනවල පවතින ගතානුගතික ක්‍රමවේද හා නිලධාරීන්ගේ ආකල්ප මහජනතාවගේ කනස්සල්ලට හේතු වී තිබේ. ආණ්ඩු හදන්නට සූදානම් වන දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයන් මහජනතාවට අවශ්‍ය සේවා සම්පාදනය කරන ප්‍රතිපත්ති අලුතින් සකස් කරන ආකාරය ගැන කල්පනා කළ යුතුය.

යහපත් ආණ්ඩුකරණය මහජන නියෝජිතයන් ගේ වගකීමකි. ශ්‍රී ලංකාවේ ක්‍රමය අනුව මහජන නියෝජිතයෝ ආයතන හසුරුවති. රාජ්‍ය ව්‍යාපාර පාලනය කරන අතර අවසානයේ දී මෙම ආකෘති දේශපාලන ග්‍රහණයට නතු වී තිබේ. ඡන්දයකට පසු බලයට පත්වන ආණ්ඩුව ඇමැතිවරු පත් කරන අතර ඔවුන්ට පැවැරෙන විෂය අනුව ආයතන ලැයිස්තුවක් ද ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ. විෂය හා එයින් රටට කළ හැකි සේවය වෙනුවට තමන්ට අයත් ආයතන ගණන ගැන අවධානය යොමු කරන ඇමැතිවරු හිතවතුන් සහ අනුගාමිකයන් ආයතනවලට පත් කර ඊළඟ ඡන්දයට පසුබිම සකස් කරගනිති. වෙළෙඳ පොළ න්‍යාය වෙනුවට දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම අවසානයේ දී මේවා අසාර්ථක හා ඵලදායීතාවක් නැති තැන් බවට පත්වේ. දැනට කරගෙන යන මහජන ධනය නාස්ති කරන ආයතන පද්ධතියට ජනතාව ගෙවන වන්දිය අසාර්ථක ආර්ථිකයක කොටසකි.

 

වියදම පාලනය මහජනතාවට වාසියකි

විදුලිය උත්පාදනයට ගෙවන අධික වියදමක් හා මහජනතාවගෙන් අය කරගැනීම මෙයට කදිම සාක්ෂියකි. ශ්‍රී ලංකාවේ ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ ගාස්තුව ආසියානු රටවලින් පිලිපීනයට හා සිංගප්පූරුවට පමණක් දෙවැනි වේ. ඉන්දියාව, බංගලාදේශය හෝ නේපාලය ඇතුළු රටවල අය කරන ගාස්තු අඩුය. වාණිජ විදුලිය ගාස්තු සිංගප්පූරුවේ ගාස්තු ක්‍රමයට සමානය. සිංගප්පූරුව මෙන් දියුණු වෙන්නට වෑයම් කරන ශ්‍රී ලංකාව එරට හා සමාන විදුලිය ගාස්තු ගෙවන කර්මාන්ත හා සේවා පවත්වාගෙන යන්නේ කෙසේද? මෙම ක්‍රමය බිඳ අලුත් ක්‍රම ඇති කරන්නට විරුද්ධතා ඇත. පවතින රාමුවෙන්, යැපෙන පිරිස විදුලිය බල අංශයේ වෙනස්කම්වලට විරුද්ධය. විදුලිය නිපදවන අඩුවියදම් ක්‍රම ඇති කළහොත් හෝ ඒ සඳහා ආයෝජන ලබා ගතහොත් ජනතාවට වාසි අත්වේ. එම වාසිය රාජ්‍ය වියදම අඩු කරන අතර අධික බදු අය කර පාඩු පියවන මිල සූත්‍ර අත්හැර දැමිය හැකිය. ඛනිජ තෙල් අලෙවිය ද මේ හා සමානය. සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අංශය ද අලුත් යුගයට ගැළපෙන පරිදි දියුණු කළ යුතුවේ. මේවා කරන්නට තීරණ ගත යුතු අතර තීරණ ක්‍රියාත්මක කරන්නට ද දක්ෂ කණ්ඩායමක් අවශ්‍යය. දියුණු වූ රටවල් ඉක්මන් තීරණ ගෙන ඉක්මනින් ක්‍රියා කළ අතර එහි වාසිය එම රටවල වැසියන්ට අත්පත් වී තිබේ.

 

රාජ්‍ය පාලනයට තොරතුරු තාක්ෂණය

කුඩා හා වියදම් අඩු පාලන ක්‍රමවේදයක්, කාර්යක්ෂම ආයතන ව්‍යුහයක් අපගේ ඉලක්කය විය යුතුවේ. ගතානුගතික ක්‍රම හා රටට නොගැළපෙන ආයතන උහුලාගෙන අනාගතයට ඇතුළු විය නොහැක. ජගත් ප්‍රජාව කෘතිම බුද්ධිය හා තොරතුරු තාක්ෂණයෙන් ලබාගත හැකි අවස්ථා ගැන සාකච්ඡා කරන කාල වකවානුවකි. ඇතැම් රටවල දැනටමත් ශ්‍රමය වෙනුවට අර්ධ ලෙස ස්වයං ක්‍රියාකාරී යන්ත්‍ර කර්මාන්ත හා සේවා සඳහා ඇතුළු වී තිබේ. ජනතාවට මෙම පරිවර්තනය නුහුරු නැත. අවුරුදු ගණනකට කලින් බැංකුවල පෝලිමේ සිටි ජන කොටස් දැන් නිවසේ සිට ගනුදෙනු හසුරුවති. බිල්පත් පියැවීම් කරන බව පෙන්වා දිය යුතුය. දුරකතනයක් ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටි පිරිස් අද අන්තර් ජාලයෙන් ඉගෙන ගනිති. ආණ්ඩු තවමත් මෙම ජනකොටස්වලට දේශපාලන ලැයිස්තු අනුව සහානාධාර බෙදීමට හා හිතවත්කම් අනුව රජයේ රැකියා දෙන යුගයක පසුවේ. මෙම ක්‍රමය තාක්ෂණිකව වෙනස් කළ හැකිය.

 

මගහැරුණු අවස්ථා ගැන මතබේද

රටක් වශයෙන් නැගී සිටින්නට තිබුණ අවස්ථා ගණනාවක් ශ්‍රී ලංකාව අහිමිකරගෙන තිබේ. නියමිත මොහොතේ තීරණ ගෙන ජාත්‍යන්තර තරඟකාරීත්වයට ඇතුළුවීය හැකි වූයේ නම් ලෝකයේ ඉදිරියෙන් කියැවෙන රටවල් අතර ශ්‍රී ලංකාව ද සනිටුහන් වේ. යමක් කරන්නට හැකි, නිර්මාණශීලි මානව සම්පතක් අපට ඇත. සෑම අවස්ථාවකම දක්ෂ පිරිස් රට හැර ගොස් ඇත. ඔවුහු ලෝකයේ නොයෙක් රටවල ජීවත් වෙමින් එම රටවල දියුණුවට දායකවෙමින් සිටිති. පසුගිය ආර්ථික අර්බුදය මානව සම්පත රට හැර යන ගමන තවත් වේගවත් කළ බව මතක් කළ යුතුය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමරීකා එක්සත් ජනපදය හා යුරෝපා රටවල් වේගයෙන් සංවර්ධනය වන විට, අවස්ථාවෙන් ප්‍රයෝජන ගත හැකිව තිබුණි. උපායමාර්ග අනුගමනය නොකිරීමෙන් එම මාර්ගය ඇවිරිණි. ජපානයේ ආර්ථිකය වර්ධනය වන මොහොතේ දී ශ්‍රී ලංකා ජපාන සහයෝගීතාවකින් රටට ඉදිරියට ගමන් කරන ජවයක් ලබාගත හැකිව තිබුණ බව ද මතක් කළ යුතුය. ආර්ථිකය ප්‍රසාරණය කරන ජපාන සැලැස්ම අනුව ඔවුන්ගේ ව්‍යාපාර ආසියාවට ව්‍යාප්ත කළ අතර එවකට තිබුණ ත්‍රස්තවාදය හා විශේෂයෙන් 83 ජූලි කලබල එම වාසිය අවුරා දැමීය. චීනය සිය ප්‍රතිසංස්කරණවලින් පසු වේගවත් වර්ධනයක් අත්පත් කරගත් අතර චින ශ්‍රී ලංකා ආර්ථික ක්‍රමෝපාය මගින් යටිතල පහසුකම් සංවර්ධනය හැර නිෂ්පාදන ආර්ථිකයකට හෝ කර්මාන්ත අංශයේ ආයෝජන ලබා ගැනීමට සැලැස්මක් නොතිබුණි. ඉන්දීය ආර්ථිකය සමග ඔවුන්ගේ වර්ධනයේ කොටසක් ලබා ගැනීමෙන් ශ්‍රී ලංකාවට ආසියාවේ බලවත් රටක් වශයෙන් නැගෙන්නට ඉඩක් විවෘත වෙමින් තිබේ.

විදේශ ප්‍රතිපත්තිය හා ජාත්‍යන්තර සම්බන්ධතා ගැන දැක්මක් සහිතව රටට සැලැස්මක් සකස් කළ යුතුවේ. රට තුළ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන අතරවාරයේ ආර්ථික වර්ධනයක් සඳහා ශ්‍රී ලාංකේය අනන්‍යතාව ඇති වැඩපිළිවෙළකට යා යුතුය. දේශපාලන ගැටුම්, පක්ෂ අතර මතබේද, ජාතීන්, ආගම්, පක්ෂ හෝ පංති වශයෙන් බෙදී අභ්‍යන්තර ආරවුල් ඇති කරගතහොත් දැන් ඇති අවස්ථාව අහිමි වන බව ද මතක් කළ යුතුවේ. ශ්‍රී ලංකාව තීන්දු ගැනීමේ දී කලාපීය භූ දේශපාලනය ගැන ද අවධානය යොමු කිරීම වැදගත්ය. අපගේ ඇතැම් නායකයන් මෙම පසුබිම නොසලකා තීරණ ගැනීමෙන් අවාසනාවන්ත තත්වයට මුහුණ දුන් බව ද මතක් කළ යුතුය. රටට අවශ්‍ය කුඩා පාලනයක් හා ශක්තිමත් ආයතනික ව්‍යුහයකි. ඒ සඳහා නිර්භීත තීරණ ගතහොත් අනාගතය පහසු වනු ඇත.

මෙම ලිපිය ගැන  ඔබගේ අදහස [email protected] ලිපිනයට දැක්වීමෙන් සංවාදයකට එකතු විය හැකිය.

(***)