ගංවතුර ආපදා කාගේ වරදකින්ද?


වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ප්‍රධාන වැව් 75 ක් තිබෙන අතර එයින් කිසිවක් අනතුරුදායක තත්වයක නොපවතින බව කිව යුතුය. අධික වර්ෂාපතනය හමුවේ ඒවායේ බැමි හෝ වාන් දොරටු හෝ විනාශ වූයේ නැත.

එහෙත් ඒවා සියල්ලම වාන් දමමින් පැවැතියේය. ඊට අමතරව අප දෙපාර්තමේන්තුව මගින් පාලනය වන මධ්‍ය පරිමාණ වැව් හා ජලාශ දහයකට පමණ හානි සිදු වී තිබේ. එකක වැව් බැම්ම බිඳී යෑමට ලක් වූ අතර වැව් තුනක පමණ වාන්වලට හානි සිදු විය. එසේම මධ්‍ය පරිමාණ වැව් බැමිවල හදිසි අවස්ථාවල දී වැව් බැම්ම පහත් කළ හැකි සේ කපා ඉවත් කළ හැකි ස්ථාන තිබේ. වැව් 25 ක පමණ එවැනි ස්ථාන කපා ඉවත් කිරීමෙන් වැව් බැමි පහත් කර වැඩි ජල පිටවීමට අපි කටයුතු කළෙමු. එසේ නොකළේ නම් වැව් බැමිවලට ඉහළින් දමන වතුරෙන් ඒවා කැඩී යාමේ අවදානමක් තිබිණ.

මේ අතර ඉකුත් 30 වැනිදා උදෑසන වනවිට මාවිල්ආරු වැවේ බැම්ම එක් ස්ථානයකින් හානි වී තිබිණ. ඊට හේතු වූයේ මහවැලි ගඟේ අධික ජල භාරයයි. එය අපට පාලනය කළ නොහැකි වුවත් මේ දක්වා එයින් ජනතාවට හානි සිදු වී නොමැත. ඒ ඊට පෙර දිනයේ ම ජනතාව ඉවත් කිරීමට කටයුතු කළ හෙයිනි. එසේ වුවත් මාවිල්ආරු වැවට හානි වීම වැළැක්විය නොහැකි විය. මහවැලි ගඟේ අධික ජලභාරය නිසා වැව හා ඊට පහළ කොටස සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවූ අතර එම ස්ථානය වෙත ළඟාවීම ද අතිශය දුෂ්කර විය. එබැවින් වැවේ බැම්ම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වීමෙන් එහි වැව් බැම්ම ඉහළින් වතුර දැමීම සිදු විය.

මෑත කාලයේ වාර්තා වූ දරුණුතම මහා ගංවතුර උවදුර ලෙස මෙය හැඳින්විය හැකි ය. 1956 දී ඇති වූ මහා ගංවතුර තත්වයට වඩා මෙහි බලපෑම වැඩිවීමට ද පිළිවන. 1956 කාලයේ ගංගාවල ජලය බැස යා හැකි සහ රැදෙන තැන් විශාල වශයෙන් තිබුණ ද වර්තමානය වනවිට ඒවා දැකගන්නට නොමැත. එය ද මෙම ගංවතුර තත්වය දරුණු වීමට එක් හේතුවකි. එබැවින් මෙම ගංවතුර උවදුර වසර 75 කට පසු පැමිණි දරුණුතම ගංවතුර ව්‍යවසනය යැයි කිව හැකි ය.

වසර 1956 දී ඇති වූ මහා ගංවතුර තත්වය නොදුටු නොඇසූ වර්තමානිකයන් බොහෝ දෙනකු සිටිය හැකි ය. එම සන්දර්භයේ මහා ගංවතුර තත්වයක් හා එහි බලපෑම කවරේද යන්න විමසීම වැදගත් ය. ගංවතුරවලින් ඇති වෙන හානි මත පදනම්ව ගංගාවෙන් ගංගාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිර්ණායක සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව ගංගාවේ සාමාන්‍ය ජල මට්ටමට වඩා ජලය කුඩා ප්‍රමාණයකින් වැඩි වූ විට සුළු ගංවතුර තත්වයක් ලෙස එය හැඳින්වේ. එයින් අවදානම් තත්වයක් ඇති නොවේ. එහෙත් ඊට වඩා ජල මට්ටම වැඩි වෙන අවස්ථාවල දී ජනතාවට අනතුරු ඇඟවීම් කරනු ලබයි. ඉන්පසු අවස්ථාව මහා ගංවතුර තත්වයක් වශයෙන් සලකනු ලැබේ. එවැනි මහා ගංවතුර අවදානමක දී ජීවිත හානි විශාල ප්‍රමාණයක් සිදු විය හැකි ය. එබැවින් මහා ගංවතුර පැතිරිය හැකි ප්‍රදේශ ගැන ද වාර්මාර්ග දෙපාර්තමේන්තුව විසින් ජනතාව දැනුම්වත් කරනු ලබයි. මහා ගංවතුර තත්වයක දී අවදානම් බවට නිවේදනය කරනු ලබන ප්‍රදේශවලින් ජනයා අදාළ කාලයේ දී ඉවත් නොවන්නේ නම් ඔවුන්ට පසුව තමන් සිටින ස්ථානවලින් ඉවත්වීම ඉතාම දුෂ්කර වේ. මහා ගංවතුර සම්බන්ධ නිර්ණායක ගංගාවෙන් ගංගාවට වෙනස් ය.

කැලණි ගංගාවට අදාළව නිකුත් කළ මහා ගංවතුර තත්වය සුළු අගයකින් එම ප්‍රමාණය ඉක්මවා ගියේය. කැලණි ගඟේ කොළඹ ප්‍රදේශයට අදාළ ගංවතුර පුරෝකථන සඳහා අප උපයෝගී කරගන්නේ එම ගංගාවෙහි අවිස්සාවේල්ලෙහි පිහිටි ජල මිනුම් ස්ථානයේ ජලමාපකයෙහි අගය යි. ගංවතුර අවස්ථාවේ එහි අගය මීටර් 19 ඉක්මවා ගියේ ය. අවිස්සාවේල්ලේ ජලමාපකයෙහි අගය ඒසා ඉහළ අගයක් ගන්නා විට කොළඹ හා කැලණි ගංගා මිටියාවතේ ප්‍රදේශවලට ඇති විය හැකි ගංවතුර උවදුරේ ස්වභාවය ගැන අපට පුරෝකථනය කළ හැකි ය.

මේ වෙනවිට (නොවැම්බර් 30 වනවිට) කැලණි ගඟේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශය හැර අනෙක් සියලු‍ ස්ථානවල ගංවතුර අවදානම පහව ගොස් තිබේ. කොළඹ ආශ්‍රිත ගංවතුර තත්වය උපරිම වශයෙන් තවත් අඟල් හයකින් හෝ හතකින් හෝ ඉහළ යා හැකි ය. එසේ වුවත් ඊයේ (01) උදෑසන වෙද්දී අඩු විය හැකිව තිබුණි. එනයින් කොළඹට බලපා ඇති ගංවතුර අවදානම ද අද සවස වනවිට අඩියක දෙකක මට්ටමක් දක්වා බැස යනු ඇත.

කැලණි ගඟෙන් හටගත් ගංවතුර උවදුර හේතුවෙන් බියගම, වත්තල, වැල්ලම්පිටිය, සේදවත්ත සහ කොටිකාවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ග්‍රාම නිලධාරී වසම් සැලකිය යුතු අගයකින් යට විණි. ඒවා බොහෝමයක් පහත් බිම් ය. ඊට අමතරව මාඔය සහ අත්තනගලු‍ ඔය ආශ්‍රිතව මීට පෙර නොවූ පරිදි ඇතැම් ස්ථාන අඩි හත අට දක්වා ප්‍රමාණයකින් යට විය. ඒවායේ ජලය ද දැන් යමින් බැස යමින් තිබේ.

මෙවැනි අයහපත් කාලගුණ තත්වයක් ඇති වෙන බවට පුරෝකථනය කර තිබිය දී ගංගාවල ඉහළ ද්‍රෝණිවල පිහිටි විශාල ජලාශ හිස් කරන්නේ ද යනුවෙන් ඔබ නගන ප්‍රශ්නයට දිය හැකි පිළිතුර මෙසේ ය. කැලණි ගංගාව ගතහොත් එහි පිහිටි ජල විදුලි බලාගාර පාලනය වෙන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නොවේ. එසේම ඒවා ප්‍රමාණයෙන් විශාල ජලාශ ද නොවේ. කිතුල්ගලින් ඉහළ ප්‍රදේශවල පිහිටි ජලාශ හිස් කළ ද ඊට පහළ ධාරා ප්‍රදේශවල තිබෙන ජලය ගඟ දිගේම පැමිණිය යුතු ය. මහවැලි ගඟෙහි පිහිටි ජලාශ හිස් කිරීමක් නොකළේය. මහවැලි ජලාශ හිස් කිරීම පහසු කටයුත්තක් ද නොවේ. නිදසුනක් ලෙස දැදුරු ඔය ජලාශයේ ජල ධාරිතාව මෙන් පස් ගුණයක ජලකඳක් දවස් තුනක කාලයක දී මුදා හැරීමට අපි කටයුතු කළෙමු. මුළු ජලාශයම හිස්ව තිබුණත් මෙවැනි ධාරානිපාත වර්ෂාවක් හමුවේ කිසිවක් පාලනය කරගත නොහැකි ය.

පැවැති ධාරානිපාත වර්ෂාව හමුවේ ප්‍රධාන ජලාශ සහ වැව් කිසිවක වේලි හෝ බැමි අනාරක්ෂිත තත්වයට පත්ව නැති බව අවධාරණය කළ යුතු ය. ඒවා සියයට සියයක්ම ආරක්ෂිත ය. වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, දැදුරුඔය, රාජාංගනය ආදී සියලු‍ විශාල ජලාශවල ආරක්ෂාව පිළිබඳව සෑම වසරකදීම මාස දෙකෙන් දෙකට වාර්මාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය එකතු වී වාර්තා ලබා ගනියි. ඒවා නිර්මාණය කර තිබෙන්නේ ඕනෑම ගංවතුර තත්වයකට ඔරොත්තු දෙන පරිදි ය. ජල තත්වය අඩු වූ පසු ඒවායෙහි ආරක්ෂාව ගැන යළිත් සොයා බැලීමක් කිරීමට සිදු වේ. හේතුව, ජලාශවල වාන් දොරටු විවෘත කළ පසු ඒවාටත් ඉහළින් ජලය පිට වීමට ඉඩ නොදෙන්නේ වුව ද මෙවර ඇති වූ අධිගංවතුර උවදුර හමුවේ වාන් දොරටුවලටත් ඉහළින් ජලය ගලා ගිය බැවිනි. එවැන්නක් සිදුවන්නේ ඉතා කලාතුරකිනි. දැදුරු ඔය ජලාශයෙහි බැම්ම මට්ටමට අඩි හයක් හතක් දක්වා ජලය පිරුණු අතර තබ්බෝව ජලාශයේ වැව් බැම්මේ මුදුන් මට්ටම අඩියක් ඉතිරි වෙන තෙක් ජලය පිරුණි. එපරිදි සැලසුම් කළ ප්‍රමාණයටත් වඩා ජලය පිරුණු හෙයින් ඒවායෙහි ආරක්ෂාව ගැන නැවත පරීක්ෂණයක් පැවැත්විය යුතු ය. එසේ වුවත් මේ දක්වා විශාල ජලාශවල වේලිවලට කිසිදු හානියක් සිදුව නැති බව කිව හැකි ය.

මේ වනවිට මහවැලි ගංගාවේ මනම්පිටියෙන් ඉහළ ප්‍රදේශයට විශාල ගංවතුර තත්ත්වයක් නොමැති වුවත් මනම්පිටියෙන් පහළ ප්‍රදේශ වෙන ත්‍රිකුණාමලය, මුතූර්, සෝමපුර යටවී තිබේ. එම ප්‍රදේශවල ගංවතුර බැස යාමට තවත් දවස් හතරක්වත් ගත වනු ඇත. පොලොන්නරුව නගරය මේ වෙනවිට යථා තත්වයට පත්ව ඇත. මොරගහකන්ද ජලාශයට පහළින් පිහිටි මාර්ගයේ කොටසක් කැඩී ගියේ එම ජලාශයෙන් නිකුත් කරන ලද අධික ජලකඳ හේතුවෙනි. එම පාලම ජලය දරා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීමෙන් ඒ ව්‍යසනය සිදු වූවා විය හැකි ය.

කැලණි ගඟේ ගංවතුර පාලනය සඳහා කළ යුතු බොහෝ දේවල් හඳුනාගෙන තිබේ. එකක් දැරණියගල, වී ඔය ඇතුළු කැලණි ගංගාවේ අතු ගංගා ගලා එන ප්‍රදේශ හරස් කර තවත් ජලාශ තුනක් ඉදිකිරීම ය. ගංවතුර පැතිර නොයෑම පිණිස ගංවතුර පාලන බැමි (Flood bund) ඉදි කිරීම තවත් එකකි ගොතටුව හා කැලණි පාලම ආසන්න ප්‍රදේශවල මේ වෙද්දීත් එවැනි ගංවතුර පාලන බැමි දැකිය හැකි ය. ගංවතුර පාලනය කිරීම සඳහා තිබෙන්නේ මෙවැනි විකල්ප පමණි. ජනතාවට වන්දි මුදල් දී ඔවුන් ඉවත් කර ජලාශ ඉදි කිරීම සාපේක්ෂ වශයෙන් පහසු වුව ද ගංවතුර පාලන බැමි සෑදීම වියදම් අධිකය. ගංගාවකට අයිති ප්‍රදේශ තිබේ. ගං දෑල පහත් බිම් ඊට ඇතුළත්ය. කැලණි ගං මිටියාවතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඒවා දකින්නට නොමැත. එම ප්‍රදේශවල නොයෙක් ඉදි කිරීම් සිදු කර ඇති අතර ගංවතුර උවදුරක දී වැඩි වශයෙන් යට වෙන්නේත් එම ප්‍රදේශයි. එබැවින් ඉදිරියේ දී ගං දෑල සහ පහත් බිම් ආරක්ෂා කිරීමට අදාළ නීති සකස් කිරීමත් ඒවා ගැන ජනතාව දැනුම්වත් කිරීමත් වැදගත්ය.

ඉදිරි දිනවල කාලගුණ පුරෝකථන සැලකිල්ලට ගනිමින් ජලාශ සහ ගංගා නිරීක්ෂණය කෙරේ. වැසි තත්වයේ අඩුවීමත් සමග ගංගාවල ජලය ගලා ගෙන යන අතර ජලාශ ද පාලනය කළ හැකිය. ඉදිරි දිනවල දී ජලාශ තාවකාලිකව වසා දමන අතර ජනතාවට එයින් කිසිදු හානියක් සිදු නොවේ. මහා ජලාශ නිසි ප්‍රමිතියට අනුව නිර්මාණය කර ඇති බැවින් මේසා අධිගංවතුර තත්වයක දීත් ඒවාට හානි සිදු නොවිණි.

මෙවැනි ආපදා තත්වයකදී මහජනතාවට දිය යුතු පණිවුඩ කිහිපයක් තිබේ. පළමුවැන්න පදිංචියට ස්ථානයක් තෝරා ගැනීමේ දී ගංගා පහත් බිම් තෝරා නොගැනීමය. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අඟලේ සිතියම්වල ඒ ඒ දිස්ත්‍රික්කවල වගුරුබිම් පැහැදිලිව දක්වා ඇත. එවැනි ගොඩකරන ලද වගුරු බිම්වල පදිංචි වීමත් ඉතා භයානකය. ඉදිකිරීම් සඳහා නිර්දේශ ලබා දෙන ආයතනවල වගකීම වන්නේ මෙවැනි අනතුරුදායක ස්ථානවල ඉදි කිරීම සඳහා අනුමැතිය ලබා නොදීම ය. එවැනි ස්ථානවල පදිංචිව සිටින්නේ නම් ගංවතුර තත්වයක දී අප දෙපාර්තමේන්තුව ඒ ප්‍රදේශවලින් ඉවත් විය යුතු බවට උපදෙස් දුන්විට පමා නොකර ඒවා පිළිපැදීම මීළඟ වැදගත් පණිවුඩය යි.

(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)