සාහිත්‍ය අනුමණ්ඩලය ලංකාවේ විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පවත්වන සාහිත්‍ය කලා ආශ්‍රිත සම්මන්ත්‍රණ මාලාවේ මහනුවර සම්මන්ත්‍රණය ඊ.එල්. සේනානායක පුස්තකාල ශාලාවේදී පසුගියදා පැවැත්වුණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා එහිදී කළ දෙසුම ඇසුරින් මෙම ලිපිය සැකසුණි.
සාහිත්‍ය අනුමණ්ඩලය ලංකාවේ විවිධ නගරවල පවත්වන සාහිත්‍ය කලා ආශ්‍රිත සම්මන්ත්‍රණ මාලාවේ මහනුවර වැඩසටහනට මා සහභාගි වන්නේ ඉමහත් ප්‍රමෝදයෙනි. මේ වූකලි අත්‍යවශ්‍ය කාර්යයකි. හුදෙක් වාර්ෂික සාහිත්‍ය උත්සවය පවත්වා සම්මාන ආදිය බෙදා දීම ඉක්මවා සාහිත්‍ය රසවින්දනය ජීවිතයෙහි අර්ථවත් අංගයක් බව මහජනයාට පෙන්වා දෙන වැඩසටහන් නිරන්තරයෙන් පැවතීම අවශ්‍ය වේ. අර්ථවත් මහජන ජීවිතය යනු කිසියම් ආර්ථික ක්‍රියාවක යෙදෙන යන්ත්‍රමය ජීවිතය පමණක් නොවේ. මනුෂ්‍යයාට භාවමය-මානසික ජීවිතයක්ද තිබේ. මේ භාවමය-මානසික ජීවිතය ගොඩනගා ගැනීමට පුරවැසියාට ආධාර කිරීම රාජ්‍යයේ කාර්යයක් වේ. එය හුදෙක් රාජ්‍යයේ කාර්යයක් පමණක් නොවේ. අර්ථවත් පුරවැසි ජීවිතයක් රටක පැවතීමේ වැදගත්කම දන්නා සියලු දෙනාම ඊට කැපවීම අවශ්‍ය වේ.
‘සාහිත්‍යයෙහි කියවීමෙහි ප්‍රයෝජන’ වැනි අර්ථ දෙන මාතෘකාවක් ගැන සාකච්ඡා කිරීමේදී අප සුපරික්ෂාකාරී විය යුතු දෙයක්ද තිබේ. සාහිත්‍ය කෘතිය යනු මූලිකවම සෞන්දර්ය වස්තුවකි. උදැල්ලක් වැනි උපයෝගී වස්තුවක් හෙවත් උපකරණයක් නොවේ. සෞන්දර්ය වස්තුවම පළමු අගය එහි නෛසර්ගික අගයයි. එනම් එයම සුන්දර වස්තුවක් වීමය. සෞන්දර්ය වස්තුවක් වන සාහිත්‍ය කෘතියක් කියවීමෙන් ලැබෙන ප්‍රයෝජන වූකලි එහි සෞන්දර්යමය ගුණයෙන් වෙන් කළ නොහැක්කකි. උදැල්ලකින් පස් පෙරළන්නට පුළුවන. එය උදැල්ලේ උපයෝගිතා කාර්යයයි. සෞන්දර්ය වස්තුවක් වන සාහිත්‍ය කෘතියෙන් එවැනි ක්ෂණික උපයෝගිතා අරමුණක් ඉෂ්ට කරගත නොහැකිය. එසේ කරන්නට තැත් කිරීමද වැරැදිය. කලා කෘතිය යම් නිශ්චිත සමාජ දේශපාලන හෝ දෘෂ්ටිවාදී අරමුණ සෘජු උපකරණයක් සේ භාවිත කිරීමට එරෙහිව සෞන්දර්ය දාර්ශනිකයන් අදහස් දක්වා ඇත්තේ ඒ නිසාය. කොතරම් වටිනා අරමුණක් වුවත් ප්‍රචාරණය වාහක යාන්ත්‍රණයක් සේ කලාව භාවිත කිරීම හොඳ කලාව නිර්මාණයද හොඳ කලා රස වින්දනයද නොවේ.
හාස්‍යය, උත්ප්‍රාසය හා වින්දනය
සාහිත්‍යයෙන් රසිකයා ලබන රසවින්දනය සෑම විටෙකම හිසට බර ගෙන දෙන බරපතළ අදහස් යැයි ගැනීම අවශ්‍ය නැත. හොඳ සාහිත්‍ය කෘතිය එහි පළමු තලයේදී ක්ෂණික වින්දනයක් රසිකයාට ලබා දෙයි. මෙය එක් එක් ස්වරූපයෙන් සිදුවේ. කෙටිකතාව හෝ නවකතාව වැනි සාහිත්‍ය ප්‍රභේදයකදී ඒවාගේ ගැඹුරු තේමාත්මක මානය සාමාන්‍ය රසිකයාට එක්වර නොවැටහෙන්නේ විය හැකිය. එහෙත් ඒ කෘති හා යම් තලයකදී සම්බන්ධ වීමේ ඉඩ පාඨකයාට තිබේ නම් උචිතය. ඇතැම් විශිෂ්ට නවකතාවල ඇතැම් තැන් අප නැවත නැවත කියවන්නේ ඒවා ලියැවී ඇති භාෂාවෙහි වන ආකර්ෂණීයභාවය නිසාය. සෑම නවකතාවක්ම සෑම විටෙකම ආකර්ෂණීය භාෂාවකින් පමණක් ලියැවිය යුතු යැයි මින් අදහස් නොවේ. හුදෙක් භාෂාව අලංකාර කිරීම සඳහා නවකතාවේ භාෂාව සරසා දැක්වීම අනවශ්‍ය දෙයකි. ඒ ඒ නවකතාවේ කලාත්මක අවශ්‍යතාව අනුව භාෂාවේ ස්වරූපය වෙනස් වේ.
ඇතැම් නවකතාවල ගැඹුරු තේමාව එක් වරම නොවැටහුණත් එහි එන කතා රසය නිසා ආකර්ෂණය වූ පාඨකයෝ සිටිති. කතාව ගොඩනගා ඇති ආකාරයෙහි ආකර්ෂණීයභාවය නිසා ඇතැම් කෘතිවලට ආදරය කරන අය සිටිති. මේ ආරම්භක ආකර්ෂණය සාහිත්‍ය කෘතියක පැවතීම වරදක් නොවේ. සාහිත්‍ය කියවීම යනු වින්දනීය විනෝදාත්මක කාර්යයකි.
මේ කාරණය පැහැදිලි කිරීමට අපි නිදර්ශනයක් වෙත යමු. මේ දේශනයේදී ඔබ සමග බෙදාගැනීමේ පහසුව නිසා මා නිදර්ශන ලෙස ගන්නේ කවියයි. එහෙත් මෙය හුදෙක් කවියට පමණක් අදාළ කාරණයක් නොවේ.
සිර සැට්ට ඇඳ
තැඹිලි ගෙන යති
යෞවනියෝ
(ලක්ශාන්ත අතුකෝරල- හිතග්ගිස්සෙ නැතක් මොට්ටු)
මේ කෙටිකවිය අපගේ ක්ෂණික අවධානයට ලක් වන්නේ එහි එන හාස්‍යය නිසාය. ඒ යෞවනියන් තැඹිලි ගෙන යන්නේ හිස උඩ තබා ගත් කූඩයක යැයි මොහොතකට සිතමු. එහෙත් සැබෑ තැඹිලි හා ‘සිර සැට්ට’ අතර ඇති වන සහසම්බන්ධය නිසා ඇති වන්නේ එක්කරා සුන්දර හාස්‍යයකි. කවිය යනු චිත්තරූප හෙවත් සංකල්ප රූප සමග කරන ක්‍රීඩාවකි. ඒ හාස්‍යමය චමත්කාරය හැරුණු විට මේ කවියෙහි මහත් ගැඹුරු අර්ථයක් නැත. එහෙත් මේ ආරම්භක චමත්කාරය විඳිනු පිණිස කවි කියවීම වරදක් නොවේ.
එහෙත් විශිෂ්ට සාහිත්‍ය කෘතිය එවැනි ලක්ෂණවලින් නතර වන්නේ නැත. තවත් පියවරක් ඉදිරියට යයි.
ගැඹුරු ආලෝචනය සහ රසික පරිකල්පනය
ඒ දෙවෙනි පියවරට අපි ගැඹුරු ආලෝචනය යැයි කියමු. ආලෝචනය යනු යමක් ගැන තියුණු කල්පනාවක යෙදීමය. ඉංග්‍රීසියෙන් Reflection යැයි හැඳින්වෙන්නේ මෙයයි. හොඳ සාහිත්‍ය කෘතිය අප අපගේම පැවැත්ම ගැන ගැඹුරු කල්පනාවකට අප යොමු කරයි. ‘පැවැත්ම’ යනුවෙන් බොහෝ දේ අදහස් වේ. අපගේ ඒකපුද්ගල පැවැත්මද සාමූහික පැවැත්මද ඉන් අදහස් වේ. අවශ්‍ය නම් ජීවිතය යැයි එය හඳුන්වන්නට පුළුවන.
සාහිත්‍ය කලාවල වැදගත් කාර්යයක් නම් අපගේ ජීවිතයෙහි පවත්නා යාන්ත්‍රික පැවැත්මෙහි වේගය නතරකොට සිතීමෙහි යෙදෙන අය බවට අප පත් කිරීමය. මනුෂ්‍යයා යනු අන් දේවල් කරන අතරම පවා සිතීමෙහි යෙදෙන කෙනකු බව ඇත්තය. ජීවිකාව සඳහා කුලී වැඩෙහි යෙදෙන කෙනකු පවා ඒ වැඩ කරන අතරම සිතීමෙහි යෙදෙයි. මනුෂ්‍යයා නිදහස්කාමී සත්ත්වයකු වීමේ එක් රහසක්ද එයයි. ඒ අතරම සාහිත්‍ය කලා අපට සිතීම සඳහාම සිතීමේ අවස්ථාව ලබා දෙයි. සාහිත්‍ය කෘතියක් කියවීම යනු යම් නිෂ්පාදන කාර්යයක් පිණිස ශ්‍රමය යෙදවන අතර හෙවත් වැඩ කරන අතර කළ හැකි කාර්යයක් නොවේ. වැඩ කිරීම නවතා කළ යුතු කාර්යයකි. එය කලා රසාස්වාදයෙහි ඇති වැදගත් ගුණයක්ද වේ. සාහිත්‍ය රස විඳින අතර අපට සිතීම සඳහාම සිතීමට ඉඩ ලැබේ. ඒ සිතීම ගැඹුරු ආලෝචනයක් වන්නේ ඒ නිසාය.
එසේ ගැඹුරු ආලෝචනය උදෙසා සාහිත්‍ය නිර්මාණය මගින් එක්තරා නව පරිකල්පනයකට රසිකයා යොමු කළ යුතුය. මනුෂ්‍යයා සිහින දකින්නෙකි. පවතින තථ්‍ය යථාර්ථයෙහි පීඩාවට එරෙහිව මනුෂ්‍යයා නගන පළමු කැරැල්ල පරිකල්පනයෙහි යෙදීමය. එනම්, සිතින් මවාගත් ලෝකයකට පිවිසීමය. එය පරිකල්පනය භාවිතයෙන් ලෝකය යළි සැකසීමකි. සාහිත්‍ය කලාවලින් මේ මානව ශක්‍යතාව හා අවශ්‍යතාව පවත්වා ගැනීමට උපකාර කරයි.
මේ කවිය මා උපුටා ගත්තේ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ලගේ සුනිල මිණි (2025) කාව්‍ය සංග්‍රහයෙනි. එය මාතෘකාවක් නැති කෙටි කවියකි.
බලන්න !
සඳ වසන්නට පැමිණ
සඳ පැහැයට ම හැරෙන
අර වලාකුළු
මේ කවියෙහි එන චිත්තරූපය මනරම්ය. එය සිත්තමක් සේ අපගේ මනසෙහි ඇඳේ. පුන්සඳ පායා ඇති දිනවල මාද මේ දර්ශනය දැක තිබේ. සඳ මුවා කරන්නට මෙන් එන වලාකුළුද රන් පැහැයක් ගනියි. සැබැවින්ම වලාකුළු සඳ වෙත පැමිණීමට පෙර පැවති ආකාරයට වඩා සඳ එළිය නිසා සුන්දර වේ. සඳට සතුරුකම් කරන්න එන වලාකුළු සඳ නිසා ලස්සන වේ. මේ වූකලි බුදුන් නසන්නට හඹා එන අංගුලිමාල බුදුන් නිසා යහපත් වූවාක් වැනි දේකි. මෙය අපේ ජීවිතවලටද අදාළ සංසිද්ධියකි. එනමුත් අපේ සැබෑ ජීවිතවලදී ‘සඳ’ වලාකුළු නිසා විනාශ වී ගිය අවස්ථා නැත්තේ නොවේ. ඒ අර්ථයෙන් මේ කවිය තරමක් පරමාදර්ශීවාදී වන්නේ යැයි කෙනෙකු කියන්නට ඉඩ තිබේ. කෙසේ වෙතත් ඒ කල්පනාව වෙත අප මෙහෙය වෙන්නේද කවියෙහි වන චිත්තරූපය නිසාය.
ප්‍රකට පරිවර්තකයෙකු වන චූලානන්ද සමරනායක කවියෙක්ද වේ. පරිවර්තක කීර්තියට වැසීගොස් ඇති ඔහුගේ කවිකම්ද අපගේ අවධානයට ලක් විය යුතුය. අපි ඔහුගේ විත් සහ විත් (2022) කවි එකතුවෙහි එන කවියක් කියවමු:
හැර දමමි
හිරුට
පිවිසෙනු පිණිස
කවුළුව
හිරු
දැකිය යුතුමය
පොඩිව ගිය
ඇතිරිල්ල
සකසනා
ඈ මුවෙහි ඇඳි
මොනාලීසා
මඳහස
මෙහි ගැඹුරු අර්ථ මතු වන්නේ එක්තරා මනුෂ්‍යමය අවස්ථාවකිනි. ගෘහස්ථ ප්‍රේමයේ එක්තරා අර්ථවත් මොහොතක් මේ කවියට හසුවේ. ඒ කුමක්දැයි මනසෙහි චිත්‍රණය කරගැනීම රසිකයාට බාරය. කථක ප්‍රේමවන්තයා හෝ ස්වාමි පුරුෂයා ජනේලය හරියි. මේ උදෑසනක්ද දවාලක්ද විය හැකිය. තෘප්තිමත් කායික ප්‍රේමයෙන් යුත් රාත්‍රියක් ගත කළ අවසානයෙහි එළඹෙන උදෑසන ස්ත්‍රිය ප්‍රමෝදයෙන් සිටියි. ඇගේ තෘප්තිය ප්‍රකාශ වන්නේ ගුප්ත මන්දස්මිතයකිනි. මේ දවාලක නම් ඒ දෙදෙනා කායික ප්‍රේමය විඳීම සඳහා කාමරයේ ජනේල හා ජනෙල් තිර වසාදමන්නට ඇත. රමණ වාරය අවසන ඔහු ඒ ජනේල හා තිර විවර කරයි. ඇයගේ තෘප්තියෙහි මන්දස්මිතය ඔහුට සතුට ගෙන එයි. හිරුද එය දැකිය යුතු යැයි ඔහු සිතන්නේ ඒ නිසාය. මේ කවිය පිළිබඳ තවත් අර්ථකථන තිබෙන්නට පුළුවන. ඒ සියල්ල පරිකල්පනය කිරීම රසිකයාට බාරය.
සහවේදනීය පරිකල්පනය
සාහිත්‍යයෙහි එක් කාර්යයක් වන්නේ පරිකල්පනය වගා කිරීමය. මේ කාරණය ගැන බොහෝ දේ ලියා ඇති මහාචාර්යවරියක වන මාර්තා නස්බෝම් ආඛ්‍යානමය පරිකල්පනය වගා කිරීම අධ්‍යාපනයෙහි කොටසක් සේ දකියි. අපට වඩා නොයෙක් ආකාරවලින් වෙනස් පසුබිම්වල අයගේ ජීවිතය වෙත පාරිකල්පනිකවම මෙන්ම සහවේදනීය හා සහකම්පනීය වශයෙන් එළඹීමේ හැකියාව වර්ධනය කිරීම සාහිත්‍යයෙහි අරමුණ වන බව ඇය පැහැදිලි කරයි. අප ජීවත් වන සමාජයෙහි නොයෙක් ආකාරයේ විවිධ මනුෂ්‍යයෝ ජීවත් වෙති. ස්ත්‍රී-පුරුෂ භේදය මූලික වෙනස්කමකි. ඉක්බිතිව ලිංගික නම්නතාව අතින් වෙනස්කම් පවතී. ජනවාර්ගික, ආගමික, සංස්කෘතික මෙන්ම සමාජ පන්තිමය වෙනස්කම්ද පවතී. මේ ආකාර බහුවිධ වෙනස්කම් සහිත මනුෂ්‍යයන් සපුරා වටහා ගැනීමට තථ්‍ය ජීවිතයේදී අප කාටවත් අවස්ථාව නැත. පිරිමියකු වන මට ස්ත්‍රියක වීමේ අත්දැකීම සපුරා අත්විඳ වටහාගැනීමට කෙලෙසකවත් ඉඩ ලැබෙන්නේ නැත. ජනවාර්ගිකව සිංහලද ආගමික වශයෙන් බෞද්ධද වන බව අන්‍ය ජාතිකයකුගේ හෝ අන්‍ය ආගමිකයකුගේ ජීවිතයෙහි සියලු අංග මගේම සෘජු අත්දැකීමෙන් අත්විඳ වටහාගන්නට හැකියාවක් නැත. එපමණක් නොව බෞද්ධයෙකු වුවද දැඩි ආගමික භක්තියෙන් යුක්ත කෙනකු නොවන මට දැඩිතර බෞද්ධ බැතිමතකුගේ භක්තිය නමැති අත්දැකීම මාගේම අත්දැකීමක් ලෙස විඳින්නට ලැබෙන්නේ නැත. මා මේ කියන කාරණය ඔබ කාටත් අදාළය.
අප බොහෝ දෙනකුට සෘජුව අත්විඳිය නොහැකි අත්දැකීම් වෙත ප්‍රවේශ වන්නට සිදුවන්නේ පාරිකල්පනික වශයෙනි. ආඛ්‍යානමය පරිකල්පනය වැදගත් වන්නේ එතැනදීය. අපට වඩා වෙනස් මනුෂ්‍යයන්ගේ ජීවිත වෙත පාරිකල්පනික වශයෙන් ඇතුළුවීමේදී සහකම්පනීය වශයෙන් ඒ ජීවිත වෙත ප්‍රවේශ වීම අවශ්‍ය වේ. අපට වඩා වෙනස් මනුෂ්‍යයන්ගේ සියලු අදහස් හා විශ්වාස සමග අප එකඟ නොවන විට පවා ඒ ජීවිත වෙත පාරිකල්පනික වශයෙන් එළඹීමේ හැකියාව සහවේදනීය පරිකල්පනය යනුවෙන් අදහස් වේ. මේ කාරණය ගැන සවිස්තර පැහැදිලි කිරීමක් මහාචාර්ය මාර්තා නස්බෝම් ලියූ මවිසින් සිංහලට නැගුණු කලාව කුමකටද? නම් කෘතියෙහි ඇතුළත් වේ. සාහිත්‍යය කියවීමේ තවත් එක් අර්ථවත් ප්‍රයෝජනනයක් සේ සහවේදනීය පරිකල්පනය වගාකිරීම හැඳින්විය හැකිය. මහාචාර්ය මාර්ක් විලියම් රෝශ් වරක් විස්තර කළ හැටියට ‘සාහිත්‍යය අප වෙත උදාකර දෙන්නේ අප තවමත් සැබෑ ජීවිතයේදී නොගත් හෝ මුණ නොගැසුණු ආස්ථාන හෙවත් ස්ථාවර පාරිකල්පනික වශයෙන් අපට මුණ ගැස්වීමය.’1
සහවේදනීය පරිකල්පනය යනු හුදෙක් අනෙක් මනුෂ්‍යයාගේ වේදනාව පරිකල්පනයෙන් දැකීම පමණක් නොවේ. ඊට වඩා අර්ථවත් ව්‍යූහමය පරිවර්තනයක ආරම්භක ස්ථානයකි. ඒ ව්‍යූහමය පරිවර්තනය සඳහා හුදෙක් සහවේදනයට වැඩි දෙයක් අවශ්‍ය වේ. මේ කාරණය පැහැදිලි කිරීමට ශන්තාල් මූෆ් හා අර්නස්ටෝ ලක්ලාව් දේශපාලන න්‍යායධරයන් දෙදෙනාගේ කියුමක් ඇසුරින් අප මෙය වටහා ගනිමු. ඒ දෙදෙනා දකින ආකාරයට පරිවර්තනීය දේශපාලන ක්‍රියාකාරිත්වය යනු ‘පුද්ගලයකු යටත් වූවකු බවට පත් කරන සමාජ සම්බන්ධතාවක් පරිවර්තනයකට ලක් කිරීමේ අරමුණින් කරන ක්‍රියාකාරිත්වයකි.
සංස්කෘතික විචාරය
සංස්කෘතිය යනු සදා නොවෙනස් දෙයක් නොවේ. වෙනස් වන්නකි. සැබැවින්ම සංස්කෘතිය යන සංකල්පය තුළ සංරක්ෂණය හා සංස්කරණය යන අදහස් දෙකම තිබේ. සංස්කෘතිය සැකසෙන්නේ ස්වාභාවික දේවල් වෙනස් කිරීමෙනි. මහපොළොව, පස, පරසරය ආදිය වෙනස් කිරීමෙන් අප මේ සංවාදය කරන තැන පුස්තකාලය නමැති සංස්කෘතික වස්තුව සකසා ඇත්තාක් මෙනි. මේ පුස්තකාලයෙහි ඇති පොත් නම් සංස්කෘතික වස්තු සකස්වී ඇත්තේ ස්වාභාවික දේවල් වෙනස් කිරීමෙනි. ගස් වෙනස් කොට කඩදාසි සාදා ඇත්තාක් මෙනි. එලෙසම පොත්වල ඇති අදහස්ද අපේ අදහස්මය සංස්කෘතිය වෙනස් කරයි. සංස්කෘතිය යනු හුදෙක් ස්වභාව ධර්මය වෙනස් කිරීමෙන් සකසා ගන්නක් පමණක් නොවේ. සංස්කෘතිය සැකසීම සඳහා සංස්කෘතියද වෙනස් කළ යුතුය. ඇතැම් පැරැණි සංස්කෘතික අංග සංස්කරණය කරමින් නව සංස්කෘතිය සැකසෙන්නේ නොමැති නම් සමාජයකට ඉදිරියට යා නොහැකිය. මේ කාරණයේදී සියලු සාහිත්‍ය කලාකරුවෝ එකම අදහසක් නොදරති. සමහර කලාකරුවෝ සංස්කෘතිය යැයි ඔවුන් විශ්වාස කරන දේ ආරක්ෂා කර ගැනීම උදෙසා කලා නිර්මාණවල යෙදෙති. සමහර කලාකරුවෝ පවතින සංස්කෘතියෙහි ඇතැම් අංග වෙනස් කිරීම උදෙසා සවිඥානකවම මැදිහත් වෙති. ඒ කවර කලාකරුවන්ගේ වුවද නිර්මාණය විශිෂ්ට නම් එක්තරා සංස්කෘතික විචාරමය මුවහත ඒ කලාකෘතිවල අඩංගු වේ.
බොහෝ සමාජවල සංස්කෘතික තලයෙහි ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ සැබැවින්ම සිදුවීමට පෙර ගතානුගතික සංස්කෘතික අංග ප්‍රශ්න කිරීම සාහිත්‍යය තුළ සිදුවේ. අපි කෙටි කවියක් උදාහරණයට ගනිමු.
විහඟුන්ට
භය උපද්දයි
පන්සලේම
ගණ්ටාරය
(ලක්ශාන්ත අතුකෝරල- හිතග්ගිස්සෙ නැතක් මොට්ටු -2008).
මේ කවිය තුළ එක්තරා සංස්කෘතික විචාරයක් අඩංගු වේ. මේ කවිය මුලින්ම ලියවුණේ ඇතැම් භික්ෂූන් වහන්සේ අදට වඩා බෙහෙවින් ප්‍රචණ්ඩ ස්වරූපයේ හැසිරීම් ප්‍රදර්ශනය කරන කාලයකය. ශාන්ත අභයභූමියක් වන පන්සල කුරුල්ලන්ට පවා බිය ගෙන දෙන තැනක් වී ඇති බව කවියා කියයි. ඝණ්ටාර නාදය අධිනිශ්චය වූ ආගමික ශබ්දය අඟවයි. අනික ඝණ්ටාර නාදය යනු ධර්මයෙහි නාදය නොව ආගමික සංස්ථාවෙහි නාදයයි. හුදෙක් පන්සල පමණක් නොව ඕනෑම ආගමික සංස්ථාවක් අධිනිශ්චය වී අනික් කතිකා යටපත් කරගෙන අනවශ්‍ය ඝෝෂාකාරී තත්ත්වයකට පත් වූ විට ඒ සමාජයෙහි මහජන ජීවිතයෙහි සමබරතාව බිඳ වැටේ.
අවසාන වාග් මාලාව
අපි දැන් ටිකෙන් ටික සාහිත්‍ය රස වින්දනයෙහි අර්ථය පිළිබඳ යම් ගැඹුරු අවබෝධයක් කරා පැමිණෙමින් සිටිමු. මේ කොටසේදී මා විස්තර කරන්නට යත්න දරන්නේ දර්ශනය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ රිචඞ් රෝටිගේ අදහසකි. එය ‘අවසාන වාග් මාලාව’ යනුවෙන් හැඳින්වේ. ඔහු මෙසේ කියයි: “සියලු මනුෂ්‍යයෝ තමන්ගේ ක්‍රියා, තම විශ්වාස, තම ජීවිත සාධාරණීකරණය කිරීමෙහිලා භාවිත කරන වාග් මාලාවක් තමන් තුළ රැගෙන යති. අපේ මිතුරන්ට ප්‍රශංසා කිරීමට හා අපේ සතුරන් කෙරෙහි අමනාපය ප්‍රකාශ කරන්නට, අපේ දිගු කාලීන ව්‍යාපෘති, අපේ ගැඹුරුම ආත්ම සංකා (ආත්ම අවිශ්වාස) හා අපේ ඉහළම අපේක්ෂා ප්‍රකාශ කරන්න අප භාවිත කරන්නේ මේ අවසාන වාග් මාලාවට අයත් වචනය.මහාචාර්ය රෝටි එය විස්තර කරන සන්දර්භයෙන් එය එළියට ගෙන සාහිත්‍ය රසවින්දනයෙහි එක් අර්ථයක් වටහා ගැනීම උදෙසා භාවිත කරයි. එනමුත් රෝටි ඒ අවසාන වාග්මාලාව සම්බන්ධයෙන් එක් අර්ථවත් දෙයක් මගේ භාවිතයටද අදාළ වේ. ඔහු දකින හැටියට උත්ප්‍රසාත්මක පුද්ගලයා හෙවත් උත්ප්‍රසාවාදියා මේ අවසන් වාග් මාලාව පිළිබඳ සැකමුසු ආකල්පයක් දක්වයි. එනම් වචන දෘඪ හෝ ස්ථාවර දේ සේ උත්ප්‍රාසවාදියා නොදකියි. ඔහු හෝ ඇය ඒ වචනවල සිරගත වන්නේ නැත. එවැනි උත්ප්‍රාසවාදියෙකු නිර්මාණය කිරීමෙහිලා සාහිත්‍යයට දැඩි කාර්යභාරයක් තිබේ.
(***)