“කැලණියේ මහා සිත්තරා” නමින් හඳුන්වනු ලබන කලාගුරු සොයිලියස් කලාකරුවාණන් දැයට අහිමි වී සැප්තැම්බර් 01 වැනිදාට අඩසිය වසක් පිරීම නිමිත්තෙන් පළවන ලිපියකි.
මාදම්පේ මහබැද්දේගම ආයුර්වේද වෛද්‍ය වලිමුනි සිරිනෝරිස් මැන්දිස් හා නිශ්ශංක සිරෝ මැන්දිසි හාමිනේ ගම්පති යුවළට දාව අට දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවන දරුවා ලෙස 1896 දී උපන් සොයිලියස් මැන්දිස් යනු චිත්‍ර හා මූර්ති කලාව ස්වෝත්සාහයෙන්ම ප්‍රගුණ කරගත් නිරන්තර අභ්‍යාසය මගින් තමන්ටම ආවේනික වූ කලා ශෛල්‍යයක් ගොඩනගාගත් සුවිශේෂී චරිතයකි.
මාදම්පේ කතෝලික විදුහල, නාත්තන්ඩිය වීරහේන මහා පිරිවෙනේ මූලිකව අකුරු කළ මොහුගේ මවුපිය දෙපළගේ අභිප්‍රාය වූ ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස ජීවන වෘත්තිය තෝරා දීමටය. එසේ වුවද දෛවය ඊට හරස් වෙමින් වෙනම නිර්මාණකරුවකු බවට පත් කිරීමේ අඩිතාලම වැටුණේ එවකට එම පිරිවෙනේ පරිවෙනාධිපති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නා හිමියන් සොයිලියස් දරුවා පිළිබඳ දැක් වූ මතය අනුවය. වැඩිහිටි මැන්දිස් පරපුර තුළ ඉමහත් ගෞරවාදරයට පත් එහිමියන් දරුවා ගැන දැක්වූ අනාගත වාක්‍යයට අභියෝග කිරීමට වැඩිහිටියන්ට අවශ්‍ය නොවුණි. ඒ වන විටත් පිළිමගේ නිර්මාණ කටයුතු අරඹා තිබූ මාවිල සුමන කුසුමාරාමයේ කාර්යයන් පැවරී තිබුණේ සොයිලියස් පවුලේ සමීපතම ඥාතියෙකුට ය.
සතියේ නිවාඩු දිනවල එහි සුළු වැඩ කොටස් සඳහා කුඩා සොයිලියස් එකී ඥාතියා මොහු සම්බන්ධ කර ගත්තද, තම නිසඟ හැකියාවන් එළි දක්වා ගැනීමට කදිම තෝතැන්න බවට එය පත්විය.
ඉන් අනතුරුව ස්වාධීන කලා නිර්මාපකයකු ලෙස කුලියාපිටියේ රණස්ගල්ල විහාරය, මැද්දේපොල රජ මහා ලෙන් විහාරය, පොළොන්නරුවේ ජයමහා විහාරය, උඩුබද්දාව ටැම්පිට විහාරය, මල්වාන ලෙනගම්පල විහාරය, ගාල්ල පිටිදූව විහාරය සරසමින් මොහුගේ අග්‍රගණ්‍ය දස්කම් විස්කම් පෙලහැරේ අග්‍රස්ථානය දක්වා යාමට මං පෙත් විවර විය.
මේ වන විට විදේශ ආක්‍රමණ නිසා විනාශ වී ගිය කැලණිය පූජා භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු මහා දානපති හෙලේනා විජයවර්ධන මැතිනිය කැලණියේ ප්‍රධාන දායිකාව ලෙස අරඹා තිබුණි. ඒ යටතේ නව පිළිම ගෙහි ඉදිකිරීම් ඇයගේ වියදමින් 1888 දී අරඹා තිබුණි. දිගින් අඩි 150 ක් හා පළලින් අඩි 90 ක් විශාල මෙම නව විහාර මන්දිරය මෙරට විශේෂතම ස්ථානයක් බවට පත් කිරීමට හෙලේනා මැතිනියගේ ඒකායන අදහස විය.
මේ සඳහා ශිල්පියෙකු තෝරා ගැනීමේ දී විජයවර්ධන පවුලම දිවයිනේ විහාරස්ථානවල විවිධ ශිල්පීන්ගේ නිර්මාණ දැඩි පරීක්‍ෂාවට ලක් කළ අවසන් පරීක්‍ෂණ සියල්ලෙන්ම සමත් බව දැක්වූ වයසින් අවුරුදු 30 ක් වූ භද්‍ර යෞවනයේ පසුව සොයිලියස්ව තෝරා ගැණිනි.
මහා භාරතයේ තවත් ‘භාග්’ හෝ එල්ලෝරාවක් වැනි ස්ථානයක් බවට කැලණිය පත් කිරීමට පුරා වසර 18ක් තම කෙටි දිවියෙන් කැප කිරීමට සොයිලියස්ට සිදු විය.
කැලණිය සිතුවම් කිරීමට පෙර කිසියම් කොන්දේසියක් පැනවීමට සොයිලියස් නොපැකිළි විය. ඒ එතෙක් පැවැති පන්සල් චිත්‍ර සම්ප්‍රදායට මූලික ජාතක කථා වෙනුවට නව ආරක් හඳුන්වා දීමයි. ඒ අනුව මෙරටට බෞද්ධාගම රැගෙන ආ සමයේ සිට විදෙස් ආක්‍රමණ නිසා රටේ ඇති වූ විනාශයන් ඕලන්ද යුගයේ පැන වූ ආගමික තහංචි වලින් පසු ඇතිවූ තත්වයන් වැනි ඈත මෑත ඓතිහාසික සිද්ධීන් වඩා උචිත පසුබිමක් තුළ ඉදිරිපත් කිරීමට සොයිලියස් කැලණිය යොදා ගැනීමය.
චිත්‍ර හෝ මූර්ති ගෘහ නිර්මාණ කලාව පිළිබඳ කිසිදු ආභාෂයක් හෝ ප්‍රමාණවත් අධ්‍යාපනයක් සොයිලියස් නොලද වුවද, සාලියස් මාස්ටර්, ජෝර්ජ් කීට් වැනි එකල සිටී ප්‍රවීණයන් අභිබවා හෝ සම තැන ගැනීමට හෙතෙම සමත්විය.
මීට අමතරව, 1927 වසර් හෙලේනා විජයවර්ධන මැතිනියගේ මූලිකත්වයෙන් ඇරඹි කැලණි දුරුතු මහ පෙරහරට ද නවතාවයක් එක් කිරීමට ඇයට අවශ්‍ය විය. ඒ අනුව නව අංග එක් කරමින් ජනාකර්ෂණය වැඩියෙන් දිනාගත් දිවයිනේ ප්‍රමුඛතම පෙරහරක් බවට කැලණි පෙරහැර පත් කිරීමේ දී සොයිලියස්ගේ ශිල්පීය දැනුම ඉවහල් විය.
එකල අඩු පහසුකම් වලින් යුතු බිංගිරිය ප්‍රදේශයේ කලා හැකියාවන් ඇති දරුවන්ට අත්වැලක් ලබාදීමට සොයිලියස්ට අවශ්‍ය විය. බිංගිරිය ඔට්ටුපල්ලම නම් ප්‍රදේශයේ තමා මිලදී ගත් අක්කර් 80 ක් විශාල පොල් වත්ත මධ්‍යයේ ඉදිකළ මඩුව විද්‍යායතනයක් බවට පෙරලීය. එමගින් අවට දරුවන් විශාල පිරිසකට තම හැකි පමණින් ස්වේච්ඡාවෙන්ම චිත්‍ර හා මූර්ති කර්මාන්තය උගන්වා ඇත. එනිසාම අදටත් එය “චිත්‍රවත්ත” නමින් ප්‍රදේශවාසීහු හඳුන්වති.
අසමසම නිර්මාණකරණයකට ප්‍රාරම්භකයා වූ මහා කලාකරුවාණෙනි, අඩ සිය වසක් පුරා ඔබ ලක් තලය පුරා රැන්දූ නාමය මතුවටත් නිතැතින්ම බැබළෙනවා ඇත.
කලාගුරු සොයිලියස් මැන්දිස් අනුස්මරණ පදනමේ ප්‍රධාන සම්බන්ධීකාරක
(*** ආනන්ද කරුණාරත්න)