එන්න යන්න පෝට් සිටි


 

කොළඹ නගරයේ අලුතින් ඉදි​ෙවන වරාය නගරය ජනතාවට මෙන්ම රටට ද අලුත් සංකල්පයකි. එමෙන්ම මෙය දියුණුව කරා යන ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ඇති දැවැන්ත ව්‍යාපෘතියකි. ජනාකීර්ණ කොළඹ නගරය තුළ තවත් දැවැන්ත නගරයක් ලෙස ඉදිවෙමින් පවතින පෝට් සිටි එසේත් නොමැති නම් වරාය වාණිජ නගරය ඉදිකිරීමෙන් අපේක්ෂා කරන්නේ විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම හා විදේශ රටවල වෙළෙඳ පොළ හා තරග කිරීමයි.   

කොහොම නමුත් ගාලු මුවදොර සිට කොළඹ වරාය නගරයේ කෘත්‍රිම වෙරළ තීරය දක්වා ගමන් කරන්නටත් මෙහි සුන්දරත්වය ඔබට අත්විඳින්නටත් ලැබෙන්නේ කවදාද? අති විශේ‍ෂ සැලසුමක් මත ඉදි කෙරෙන වරාය නගරය වෙනම රාජ්‍යයක් ද? ලාංකිකයන්ට මෙය නැරඹීමට අවස්ථාවක් නොලැබේද? යනුවෙන් ජනතාව දැරූ විවිධ මතවාද හා අදහස්වලට පිළිතුරක් ලබාදෙමින් මීටර් 500 ක දිගින් යුතු ඉතා අලංකාර පදික මංතීරුව මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම මෙම ජනවාරි 9 වැනිදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් ශී යි මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය.

   
මෙම භූමිය අක්කර 664 කි. දිය කඩනය හා දිය අගල ඇතුළත් අවකාශය අක්කර 1102 කි. කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙස අලුතින් ඉදි​ෙවන වරාය නගරයේ හෙක්ටයාර් 269 ක භූමි ප්‍රමාණය මුහුද ගොඩකොට වැලි පුරවා මෙම නගරය ඉදිකිරීම මෙහි විශේෂත්වයකි.   


මෙම භූමියෙන් ගොඩනැගිලි ඉදිකළ හැක්කේ අක්කර 439 ක ප්‍රමාණයක පමණක් වන අතර අක්කර 224 ක ඇළ මාර්ග මහා මාර්ග වෙරළ තීරය උද්‍යාන පදික තීරු ආදිය ඉදිකරනු ලබයි.   

 


මෙම වරාය නගරය තුළ අදියර 5 ක් යටතේ නිවාස සංකීර්ණ, ව්‍යාපාරික ස්ථාන, ක්‍රීඩාගාර ජාත්‍යන්තර මට්ටමේ පාසල්, ආයෝජන කලාප, සුපිරි වෙළෙඳ සැල් සහ බෝට්ටු අංගනයන් ඇතුළු නගරයකට අවශ්‍ය සියලු පහසුකම් මෙහි ස්ථාපනය කෙරේ. ඒ අනුව හෙක්ටයාර් 91 ක් හරිත සහිත මාවත ඇතුළු පොදු පහසුකම් සඳහා වෙන්කර ඇති අතර හෙක්ටයාර 178 ක් ලොව උසස්ම මට්ටමේ ශ්‍රේණිගත කාර්යාල සංකීර්ණ සහ අති නවීන සෞඛ්‍ය සේවා ද, හෝටල් සහ විනෝදාස්වාදය සැපයීමට ආදියට ද වෙන් කර ඇත. එසේම සාමාන්‍ය ජනතාවට විනෝද විය හැකි කිලෝමීටර් දෙකකින් යුත් කෘත්‍රීම මුහුදු තීරයක් ද සකස් කොට ඇති අතර එම භූමි ප්‍රමාණය තවමත් ජනතාව වෙනුවෙන් විවෘත කොට නොමැත.   


කෙසේ නමුත් ඉදිකිරීම් අවසන් වූ පසු කොළඹ වරාය නගරය වර්ග මීටර් මිලියන 6.3 ක වපසරියකින් යුක්ත ​ෙවනු ඇති අතර මෙම භූමි ප්‍රමාණය නිවාස සඳහා 47% ක් කාර්යාලීය අවකාශයක් සඳහා 18% ක් වෙළෙඳ සැල් සඳහා 13% ක් සහ සත්කාර සේවාවන් සඳහා 6% ක් ආදී වශයෙන් බෙදී යනු ඇත. 

 
වරාය නගරයේ තවත් කලාපයක් වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ පුද්ගලයන් 3000 කට රැස්විය හැකි මධ්‍යස්ථාන ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ පැවැත්විය හැකි ශාලා මෙන්ම එහි කාමර 400 ක හෝටලයක් ඉදිවේ.   
මෙම වරාය නගරයේ හතරවෙනි කලාපයේ ලොව පිළිගත් රෝහලක් ද පිහිටවනු ලබන අතර ජාත්‍යන්තර වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට අති විශාල මුදලක් වැයකර පිටරට යෑම සිදුවන රෝගයන්ට ප්‍රතිකාර කිරීමට ජාත්‍යන්තර මට්ටමේ රෝහලක් ද නුදුරේදීම ඉදිවේ.   

 

 

ඩිස්නිලන්තය වැනි වැඩිහිටියන්ට හා කුඩා දරුවන්ට එකසේ විනෝද විය හැකි ජාත්‍යන්තර මට්ටමේ උද්‍යාන ද මෙම වරාය නගරයේ ඉදිකිරීමට ඉදිරියේ දී සූදානම්ය.   


කෙසේ නමුත් අතිවිශේ‍ෂ සැලසුමක් මත ඉදිකෙරෙන වරාය නගරය නරඹන්නට සාමාන්‍ය ජනයාට ලැබෙන්නේ කවදාද? විමසූ ජනතාවට මේ වන විට කොළඹ ඉදිවෙමින් පවතින වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගනය ඉදිරි පස පදික මංතීරුව විවෘත වී ඇත. එක් පසෙකින් වැඩ බිමේ කටයුතු සිදුකරමින් පවතින අතර ජනතාවට නිදහසේ ඇවිදින්නට විවෘත වූ ගාලු මුවදොර පිටියේ වරාය නගරය වටා පයින් යා හැකි සුන්දර බිම් තීරයේ සිට ඉදිවන වරාය නගරයට එන ජනතාවට ලැබෙන අත්දැකීම් පිළිබඳ අප වරාය නගර ආයෝජන සමාගමේ මහජන සම්බන්ධතා ප්‍රධානි කස්සප සෙනරත් මහතාගෙන් විමසීමක් කළෙමු.   
වරාය නගරය කියන්නේ කොළඹ නගරයේම දිගුවක්. මේක මුහුද ගොඩ කරලා වැලි පුරවලා හදපු බිමක්. මෙම නව ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවට හෙක්ටයාර 269 ක භූමි ප්‍රමාණයක් අලුතින් එකතු වෙනවා. මෙම වරාය නගරය පිළිබඳව බොහෝ දෙනාගේ විවිධ මතවාද ගැටලු තියෙනවා. මෙය තනිකරම චීන අවශ්‍යතාවක් මත සිදුවන ව්‍යාපෘතියක් ලෙස. නමුත් මේ වරාය නගරය පිහිටුවීමේ බීජය රෝපණය වීමට චීනයේ කිසිදු සබඳතාවයක් නැහැ. මේ බීජය මුලින්ම රෝපණය කෙරුණේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින්.   
නමුත් විවිධ යෝජනා මත ගැටුම් අදහස් ඉදිරිපත් වෙමින් අවසානයේ ශ්‍රී ලංකා රජය හා චීන සමාගම සම්බන්ධ වී වරාය නගරය පිහිටුවීම ආරම්භ වෙන්නේ 2014 වසරේදී. එහිදී රජයට මුදල් වැය කිරීමේ නොහැකියාව මත විවිධ එකඟතා හා ගිවිසුම්ගත වී චීන සමාගම වරාය නගරය පිහිටුවීමේ කටයුත්තට උර දී තිබෙනවා. මෙම ව්‍යාපෘතියෙන් චීන සමාගමට පැවරෙන්නේ 99 අවුරුදු බදු කාලයකට අක්කර 286 ක් පමණයි. ඒ අනුව මුළු භූමිය වන අක්කර 1102 න් චීන සමාගමට අයත් වෙන අක්කර ප්‍රමාණය 286 යි.   

 


මෙම වරාය නගරය කියන්නේ මේ රටට වගේම ජනතාවටත් අලුත් සංකල්පයක්. මේක දැවැන්ත වැඩ බිමක්. මේ වැඩ බිමේ අනතුරු අවම කරගන්න වගේම මේක වැඩ බිමක් නිසා අපට සිද්ධ වුණා වැටකින් මෙම භූමිය අාවරණ කරන්න. ඒ ආවරණය කිරීමත් එක්ක මේක චීන අවශ්‍යතාවන්ට අනුව සිදු​ෙවන දෙයක් ලංකාවේ අයට යන්න බැරිද? ලංකාවට මේකේ අයිතියක් නැද්ද? විවිධ ගැටලු මතුවුණා. මේක අපට බලන්න ලැබෙන්නේ කවදාද? බොහෝ ජනතාව අපෙන් විමසුවා.   


ඒ නිසාම අපි හිතුවා ගාලු මුවදොරට ආසන්න මැරීනා බීච් එකේ සැහැල්ලු යාත්‍රාංගනයේ වැඩ ඉක්මණින් අවසන් කරලා පදික තීරුවෙත් වැඩ අවසන් කරලා ජනතාවට විවෘත කරන්න. අපේ ඉංජිනේරු මහත්වරු නිතරම උනන්දු කළේ අමාරු කොටස් පසුවට තියලා ඉක්මනට ජනතාවට එන්න පුළුවන් කොටස් හදලා විවෘත කරන්න. ඒ වැඩපිළිවෙලේ එක කොටසක් තමයි මේ අැවිදින මංතීරුව.   

 


විශේෂයෙන් මේ මං තීරුව විවෘත කරන්න ප්‍රධාන හේතුව වුණේ මේ මංතීරුවේ ඇවිදගෙන එන ජනතාවට අනාගත වරාය නගරයේ හැඩය ගැන අදහසක් ලබාගන්න හැකියාවක් තිබෙනවා කියන විශ්වාසය මත.   
කොළඹ ගත්තම හැම තැනම ලස්සන නැහැ. නමුත් වරාය නගර කියන්නේ පූර්ව සැලසුම් කරපු නගරයක්. විශේෂයෙන් වරාය නගරය සැලසුම් කරලා තියෙන්නේ පදිකයන්ට හිතකාමී විදිහට.   


ජනතාව එනවානම් ඔවුන් මෙම මං තීරුවට පිවිසෙන්න ඕනැ කොතනින් ද?   


ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙම මං තීරුවට ඇතුළු විය හැකි තාවකාලික පිවිසුම් දොරටුව ඉදිකරලා තිබෙනවා. මෙම පදික මංතීරුවේ අවසානයේ ඉදිකර ඇති ආරක්කු හැඩැති ලෝහමය එල්ලෙන පාලම දක්වා පදිකයන්ට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දිනපතා උදේ 9.00 සිට සවස 6.00 දක්වා එහි රැඳී සිටීමට ජනතාවට අවස්ථාව හිමිවෙනවා. වරාය නගරයේ අභ්‍යන්තරයේ ඉදිකරනු ලබන මාර්ග සහ කොළඹ නගරයෙන් ප්‍රධාන මාර්ග සමග සම්බන්ධ කෙරෙන තුරු මෙම ස්ථානයට රථවාහන ඇතුළු කිරීමට අවසර ලැබෙන්නේ නැහැ. අනාගතයේ පාරවල් හැදුනාම වාහනවලින් යන්න හැකියාව තියෙනවා. මම මුලින් සඳහන් කළා වගේ පදිකයන්ට හිතකාමී විදිහට තමයි මේ මං තීරුව නිර්මාණය වෙලා තියෙන්නේ.   


මුහුදු තීරය දෙසට වැඩ කටයුතු බොහෝ දුරට නිම වුණත් එකවරම වැඩ අවසන් සියල්ල විවෘත කළොත් අපිට පාලනය කරගන්න අමාරුයි. මොකද තවමත් එක් පැත්තකින් වැඩ බිමේ ඉදිකිරීම් සිදුවෙනවා. බර වාහන එහා මෙහා ධාවනය වෙනවා. අනාරක්ෂිත බිමක් නිසා වෙරළ තීරය දෙසට ජනතාවට නිදහසේ හැසිරවීමට ඉඩ හැරීම අනතුරුදායකයි. එ නිසා ආරක්ෂාව තහවුරු වූ මං තීරුව පමණක් අප විවෘත කරලා තියෙනවා.   
මේ මං තීරුව දිගේ නිදහසේ ඇවිදගෙන යද්දී මේ අරුම පුදුම නව නගරය ඉදිවෙන්නේ කොහොමද කියලා බලා ගන්න පුළුවන් කම ලැබෙනවා. පොදු වෙරළ තීරයක් ඉදිවෙනවා. ඒ වගේම වෙරළ ක්‍රීඩා ජල ක්‍රීඩා ජෙට් ස්කී වගේ ජලය ආශ්‍රිත ත්‍රාසජනක ක්‍රීඩා කිරීමේ කළාපයක් බිහිවෙනවා. ඊට එහා පැත්තෙන් රැලිමත ධාවනය ​ෙවන යතුරුපැදි ධාවන පථය දැනට විවෘත වෙලා තියෙනවා. ඒ වගේම වෙරළ තීරය පුරාවට භෝජනාගාර කිහිපයකුත් ඉදිරියේ දී බිහිවෙනවා. ලංකාවේ බීච් සෆාරි යන්නත් වරාය නගරය ආශ්‍රිත මුහුදු තීරයේ හැකියාව තිබෙනවා. මේ කොළඹ නගරය ඉතාමසුන්දර ලෙස දැකගන්න පුළුවන් අවස්ථාවක් එය මේ සියල්ල ඉතා කෙටි කාලයක් තුළ ජනතාවට විවෘත කරන්නත් අපි බලාපොරොත්තු වෙලා ඉන්නවා.   

 


මේ දිනවල මෙහි අභ්‍යන්තර පාරවල් සකස් වෙමින් පවතිනවා. ඒ වගේම වතුර මල ජලය සන්නිවේදන කේබල් සියල්ල භූගතව ලබා ගන්න උමං මාර්ග සාදාගෙන යනවා. මේ නගරයේ ජලය, විදුලිය කණු මතින් යන්නේ නැහැ. ඒ සියල්ල යන්නේ භූ ගතව   


මෙහි ගොඩනැගිලි ඉදිකිරීම තවමත් ආරම්භ වෙලා නැද්ද ?   


ගෙවුණු වසරේ ගොඩනැගිලි හදන්න බලාපොරොත්තු වෙන් හිටියත් කොරෝනා නිසා සියලු ව්‍යාපෘති ප්‍රමාද වුණා. නමුත් 2022 පළමු කාර්තුවේ දී ගොඩනැගිලි ඉදිකිරීම ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් මේ වරාය නගරයේ ගොඩනැගිලි ඉදි වෙලා ක්‍රියාත්මක වෙන්න තවත් දශක දෙකක් පමණ ගත වෙනවා. පෝට් සිටියේ ගොඩනැගිලි හදලා කඩ සාප්පු හදලා ක්‍රියාත්මක වෙන්න ජනතාව අතට පත්වෙන්න තව විශාල කාලයක් යන නිසා ජනතාවට එන්න පුළුවන්. නිදහසේ කාලය ගත කරන්න පුළුවන් මං තීරු ඉතාම ඉක්මණින් වැඩ ඉවර වෙලා ජනතාව අතට පත් කරන්න තමයි අපේ ඉංජිනේරු මහත්වරුන්ගේ බලාපොරොත්තුව.   

 


නදීශා අතුකෝරළ
ඡායාරූප - ගයාන් අමරසේකර