එදා - මෙදා රාජ්‍ය සේවක වැටුප්


රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ යහපාලන රජය විසින් 2015 වසරේ මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය යෝජනාව අනුව සෑම රජයේ සේවකයකුගේම වැටුප රුපියල් 10,000කින් වැඩි කරන ලදී. එය නිදහසින් පසු රජයේ සේවකයන්ට ලබාදුන් ඉහළම වැටුප් වැඩි වීම විය. එපමණක් නොව අග්‍රාමාත්‍යවරයා විසින් රජයේ සේවකයන්ට ලබාදුන් සහන වැටුප් වැඩි කිරීමට එයට පමණක් සීමා නොවීය.

2015 දෙසැම්බර් 14 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්, එසේ වැඩි කරන ලද රුපියල් 10,000ක මුදල 2016 වසරේ සිට අදියර කිහිපයකින් මූලික වැටුපට එකතු කරන බවටත් ප්‍රතිඥාවක් දුන්නේය. ඒ අතරම, ජාතික වැටුප් කොමිසම නැවත පිහිටුවන බවත්, රජයේ සේවක වැටුප් තත්ත්වය සහ විෂමතා පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම එහි රාජකාරිය බවත් සඳහන් කළේය. අයවැය ලේඛන මගින් වරින් වර රජයේ සේවකයන් සඳහා වැටුප් වැඩිවීම් ලබා දී තිබූ නමුත්, ඒවා මූලික වැටුපට එකතු කිරීමක් සිදු වූයේ නැත. ඒ අතරම, රාජ්‍ය සේවක වැටුප් ව්‍යුහය පිළිබඳ ප්‍රමාණවත් තරමේ සමාලෝචනයක් හෝ ඇගයීමක් සිදුකර තිබුණේ ද නැත. එම හේතුවෙන් අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක අවස්ථාවක් උදා කළේය.

රුපියල් 10,000ක දීමනාව මූලික වැටුපට එකතු කිරීම පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාව පිළිබඳ 2016 වසරේ සිට ඒ ලෙසම ක්‍රියාත්මක කරන ලද අතර, වසර 5ක් තුළ මූලික වැටුප පියවරෙන් පියවර ඉහළ දැමීම සඳහා චක්‍රලේඛයක් ද නිකුත් කළේය. 2015 වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට ශ්‍රී ලංකා රජයේ නව පත්වීමක් ලබාගන්නා කාර්යාල කාර්ය සහායක සේවකයකු ලැබූ මූලික වැටුප රුපියල් 11,730ක් විය. එම චක්‍රලේඛය අනුව 2020 ජනවාරි 1 වැනිදා වන විට එම වැටුප් පරිවර්තනය සම්පූර්ණ වූ අතර, කාර්යාල කාර්ය සහායකවරයාගේ මූලික වැටුප රුපියල් 24,250ක් දක්වා ඉහළ ගියේය. ඒ අනුව, එම ශ්‍රේණියේ සේවකයකුගේ මූලික වැටුප රුපියල් 12,520කින් ඉහළ ගොස් ඇති බව පැහැදිලි වේ. එය මූලික වැටුප දෙගුණයකටත් වඩා වැඩි වීමකි.

ඉහත කී දිනයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අලු‍තින් පත්වීම් ලබන නිලධාරියකුගේ මූලික වැටුප රුපියල් 22,935ක් විය. ඉහත කී වැටුප් වැඩි වීම අනුව 2020.01.01 දින එම නිලධාරියාගේ මූලික වැටුප රුපියල් 47,615 දක්වා ඉහළ ගියේය. වැටුප් වැඩි වීම රුපියල් 24,680කි. රනිල් වික්‍රමසිංහ මහතා විසින් අයවැය හරහා ලබාදෙන ලද වැටුප් වැඩි වීම නිසා සුළු සේවකයාගේ සිට පරිපාලන සේවයේ නිලධාරියා දක්වා සියලු‍ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වූ ආකාරය ඉන් පැහැදිලි වේ.

ඒ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ රජයේ සේවකයන්ට හිමි වූයේ ඉතා අඩු වැටුපක් බව ඉහතින් දැක්වූ රජයේ කාර්යාල කාර්ය සහායක සේවකයන්ගේ සහ පරිපාලන නිලධාරීන්ගේ 2016 වසරේ මූලික වැටුප පරීක්ෂා කරන විට පැහැදිලි වේ. සැලකිය යුතු කාලයක් තුළ සැලකිය යුතු මට්ටමකින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වී තිබුණේ නැත. 2016 වසරේ මූලික වැටුපට රුපියල් 10,000 දීමනාව එකතු කිරීම පිළිබඳව අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවකයන්ට තමන්ගේ සේවාවන් ඉටුකිරීම වෙනුවෙන් සැලකිය යුතු මට්ටමක වැටුප් වැඩි වීමක් ලබාදිය යුතු බවයි. දීමනා මූලික වැටුප කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොවන අයුරින් වැටුපට එල්ලා තැබීම අර්ථ රහිත බවත්, එබැවින්, රාජ්‍ය සේවකයන්ට සතුටු සිතින් තම සේවය ඉටුකිරීමට හැකි වන ආකාරයේ වැටුප් වර්ධනයක් ලබා දිය යුතු බවත් ඔහු කියා සිටී.

එසේ වුව ද, එම අවස්ථාවේදී වැටුප් වැඩි කිරීම හුදෙක් පූර්ව මැතිවරණ පොරොන්දුවක් පමණක් බව ද, ඒ අනුව, මූලික වැටුපට එය එකතු කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ද විපක්ෂ දේශපාලකයෝ සහ සමහර වෘත්තීය සමිති ද එම අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියෝය. වැටුපට එල්ලා තිබෙන යම් යම් දීමනා මූලික වැටුපට එකතු කළ විට මූලික වැටුප වැඩි වන අතර, ඒ හේතුවෙන් අතිකාල ඇතුළු අනෙක් දීමනාවල වැඩි වීමක් සිදුවේ. එසේම, සේවකයා විශ්‍රාම ලැබූ විට විශ්‍රාම පාරිතෝෂිත සහ විශ්‍රාම වැටුප ද මූලික වැටුපට අනුව වැඩි වනු ඇත. අර්ථසාධක සහ සේවක භාර අරමුදල් හිමි සේවකයන් වෙනුවෙන් ලබාදෙන දායක මුදල් ප්‍රමාණය ද ඉහළ යනු ඇත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වෙනස්කම් පිළිබඳව ඉතිහාසය පරීක්ෂා කරන විට ප්‍රකාශ කළ හැක්කේ, 2015 සහ 2016 වසරවල සිදු වූ එම වැටුප් වැඩි වීම එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන් ලැබූ ඉහළම වැටුප් වැඩි වීම බවය. ඒ දක්වා කිසිම අවස්ථාවක ඒ ආකාරයේ වැටුප් වැඩි කිරීමක් සිදු නොවීය. ඒ වන විට රාජ්‍ය සේවක වැටුප් ප්‍රතිශෝධනය විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වැටුප් පිළිබඳ රාජ්‍ය කමිටු කිහිපයක්ම පත් කළේය. තිබුණි. එහෙත්, වැටුප් කොමිෂන් සභාව වැනි ආයතන අක්‍රිය කර තිබුණි. රාජ්‍ය වැටුප් ප්‍රතිශෝධනය පිළිබඳ කිසිදු යෝජනාවක් රාජ්‍ය මට්ටමින් හෝ වෘත්තීය සමිති මට්ටමින් ඉදිරිපත් නොවීය. එනිසාම රාජ්‍ය අංශ සහ පෞද්ගලික අංශ අතර වැටුප් මට්ටම්වලදී විශාල පරතරයක් දකින්නට ලැබුණි.

2015 දී හඳුන්වා දුන් ඉහත වැටුප් සංශෝධනය අනුව රාජ්‍ය සේවකයන්ට අබිමානයකින් යුතුව තම සේවාවන් පවත්වාගෙන යෑමට ඉඩ ලැබුණි. එම වැටුප් ඉහළ දැමීම හඳුන්වා 2015 වසරේ සිට අද දක්වා වසර 9ක් ගත වී තිබේ. එම කාලය තුළදී කිසිදු අවස්ථාවක රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් වෙනස් වීමක් සිදු වූයේ නැත. ඉන් පසු දෙවරක්ම වැටුප් වැඩි වීම් සිදු වූ නමුත්, ඒවා විශ්‍රාම වැටුප් කෙරෙහි හෝ අනෙකුත් දීමනා කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරන ලද අතර, එල්ලන ලද දීමනා පමණක් ඊට ඇතුළත් වීය. කෝවිඩ් වසංගතය හමුවේ ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වීමත්, විවිධාකාර අපහසුතාවන්ට ජනතාව ලක්වීමත් නිසා රජයේ සේවක වැටුපට රුපියල් 5,000ක දීමනාවක් එකතු කිරීමට කටයුතු කරන ලදී. ඊට පෙර ලබාදෙන ලද රුපියල් 2,500ක දීමනාව සමග මුළු වැඩි වීම රුපියල් 7,500ක් වන අතර, එම වර්ෂ 9ට අදාළ මුළු වැටුප් වැඩි වීම එම මුදලට සීමා විය.

යළිත් වරක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවක වැටුපේ තීරණාත්මක වෙනසක් ඇති වූයේ 2023 වසරේදී ඉදිරිපත් කරන ලද 2024ට අදාළ අයවැය ලේඛනය මගිනි. එම අයවැය ලේඛනය මගින් රාජ්‍ය සේවක වැටුපට රුපියල් 10,000ක වැඩි වීමක් ලබාදෙන ලද අතර, එය 2024 වසරේ අප්‍රේල් මාසයේදී සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වේ. යළිත් වරක් රාජ්‍ය සේවක වැටුප ඉහළම මට්ටමකින් වැඩි කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කර තිබේ. 2024 අප්‍රේල් මාසයේදී සංවර්ධන නිලධාරියකුගේ ඒකාබද්ධ වැටුප රුපියල් 56,680කි. එය 2015 දී තිබුණේ 28,256ක් වශයෙනි. ඒ අනුව, එම වැඩි වීමෙන් වැඩි කොටසකට දායකත්වය ලබා දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා 2015, 2016 සහ 2023 වර්ෂවල සිදුකරන ලද වැටුප් වැඩි කිරීම බව පෙනී යයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ දේශපාලන බලවේග විසින් හඳුන්වනු ලබන්නේ, මේ රටේ ධනවාදය නියෝජනය කරන දේශපාලන බලවේගයට නායකත්වය දෙන නව ලිබරල්වාදියකු වශයෙනි. කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වාමවාදියකු ලෙස ඔහුට පිළිගැනීමක් ලැබෙන්නේ නැත. එසේ වුව ද, මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් වැඩි කිරීම සඳහාත් අද පවත්නා මට්ටමට ගෙන ඒම සඳහාත් ඉහළම දායකත්වයක් ලබා දෙන ලද්දේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව පැහැදිලි වේ.

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර