ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවක් මේ වන විට මතුවී තිබේ. එයට හේතුව ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර ආනයන අපනයන කටයුතු සම්බන්ධයෙන් පැන නැගී ඇති දැවැන්ත අර්බුදයයි. ඇමරිකාව සමග ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවල යෙදී සිටින ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවලට ඇමරිකාව ඉහළ තීරුබදු පැනවූ අවස්ථාවේ දී එම සියලු රටවලට වඩා වැඩි තීරුබදු අනුපාතයක් චීනය සඳහා පනවනු ලැබීය.
එසේ වුව ද එම බදු අනුපාත ක්‍රියාත්මක වීමට පෙර එම රටවල් දෙක අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස යම් යම් එකඟතාවට පැමිණීමට හැකි විය. ඒ අනුව ඇමරිකාව විසින් චීනයෙන් ආනයනය කරන භාණ්ඩවලට පනවන ලද තීරුබද්ද සියයට 30 දක්වා අඩු කරනු ලැබීය. එසේ වුව ද රටවල් දෙක අතර නැවත වරක් වෙළෙඳ අර්බුදයක් පැන නැගී ඇති අතර එහි අහිතකර ප්‍රතිඵල බොහෝ රටවලට බලපෑමට ඉඩ ඇති බව පෙනේ.
ඇමරිකාව චීනය සඳහා ඉහළ බදු අනුපාත පනවද්දී ඇමරිකාවෙන් භාණ්ඩ ආනයනය කිරීම වෙනුවට වෙනත් රටවලින් එම භාණ්ඩ ආනයනය කිරීමට චීනය පියවර ගත්තේය. උදාහරණයක් ලෙස චීනය මේ දක්වාම ඇමරිකාවෙන් සෝයා මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරු වුව ද පසුගිය මාස කිහිපය තුළ චීනය ඒ වෙනුවට බ්‍රසිලයෙන් ඒවා මිලදී ගැනීමට පියවර ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ ඇමරිකානු සෝයා සඳහා පැවැති ඉල්ලුම විශාල ලෙස අඩුවී ඇමරිකානු නිෂ්පාදකයන් දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ දීමයි. ඒ හේතුවෙන් ඇමරිකානු සෝයාවල මිල ගණන් පහත වැටුණු අතර බංග්ලාදේශය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලට අඩු මිල ගණන් යටතේ ඒවා ආනයනය කිරීමට අවස්ථාව සැලසී තිබේ. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ඇමරිකානු සෝයා වෙළෙඳපොළ බිඳ වැටී සෝයා නිෂ්පාදකයන් ආර්ථික වශයෙන් දැඩි අපහසුතාවලට ලක්වීමයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවල දී ඇමරිකාව මුහුණ දී සිටින වෙළෙඳ හිඟය පිළිබඳ ගැටලුවට විසඳුම් සෙවීම සඳහා අනුගමනය කරමින් සිටින නව තීරුබදු ප්‍රතිපත්ති පිළිබඳව බොහෝ ආර්ථික විද්‍යාඥයෝ විමතියට පත්ව සිටිති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක වෙළෙඳ සංවිධානය වැනි ආයතනවල මේ පිළිබඳ මතය වූයේ ආනයන අපනයන වෙළෙඳාම සඳහා පවතින බාධා ඉවත් කර එම කටයුතු නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩදීමෙන් සෑම රටකටම වාසි සැලසෙන බවය. ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවලට කවර ආකාරයෙන් හෝ බාධා පැමිණෙන්නේ නම් ඒවාට එරෙහිව කටයුතු කිරීමට මෙම සංවිධාන විසින් කටයුතු කරන ලදී. විශේෂයෙන්ම ලෝක වෙළෙඳ සංවිධානය ආරම්භ කිරීමේ එක් අරමුණක් වූයේ නිදහස් ජාත්‍යන්තර වෙළෙඳ ක්‍රමයකට අවහිර වන ආකාරයෙන් තීරුබදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ ආනයන සීමා පැනවීම වැනි තීරුබදු නොවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිම වැළැක්වීමය.
එවැනි තත්වයක් යටතේ ජාත්‍යන්තර වෙළෙඳාමට අවහිර වන ආකාරයේ ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම සඳහා දේශීය වශයෙන් නීතිරීති පැනවීමට ද සෑම රටක්ම පාහේ කටයුතු කර තිබේ. නියමිත පිරිවැයට වඩා අඩුවෙන් කිසියම් රටකට භාණ්ඩ අපනයනය කර එම රටේ පවත්නා මිල මට්ටම්වලට අනිසි ලෙස මැදිහත්වීම (Dumping), දේශීය හෝ විදේශීය ඒකාධිකාරී හෝ කතිපයාධිකාරි තත්වයන් වැළැක්වීම (Antitrust) සහ රටවල් අතර ඒ හා සම්බන්ධ ගැටලු විසඳීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සැකසීම වැනි කරුණු ක්‍රියාත්මක කර තිබේ. කිසියම් රටක් විසින් ඕනෑම අවස්ථාවක දී කරනු ලබන පැමිණිලි විභාග කර ඒ පිළිබඳ තීරණ ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වර බලයට පත් වීමට පෙර කාලපරිච්ඡේදය තුළ නිදහස් ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාවට නැංවී තිබුණි.
රටවල් අතර කලාපීය සංවිධාන ගොඩ නැගීම, කලාපවලින් පිටත රටවල් එකතු කර නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ජාත්‍යන්තර මට්ටමින් තීරුබදු විශාල ලෙස අඩුවන ප්‍රවණතාවක් ඇතිවී තිබුණි. සමහර රටවල ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් බදු අය නොකෙරෙන ප්‍රතිපත්තියක් ද හඳුන්වා දී තිබුණි. එසේ වුව ද ට්‍රම්ප්ට ඒ සියල්ල වෙනස් කිරීමට අවශ්‍ය වී තිබේ. ආර්ථික විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන ඇඩම් ස්මිත්ගේ ආර්ථික න්‍යායයෙන් අවධාරණය කර තිබුණේ රජය වෙළෙඳපොළට කිසිදු ආකාරයකින් මැදිහත් නොවිය යුතුය යන්නයි. ඩේවිඩි රිකාඩෝ සාපේක්ෂ පිරිවැය න්‍යායය නමින් නව න්‍යායයක් ඉදිරිපත් කරමින් නිදහස් විදේශ වෙළෙඳ ක්‍රමයක් තුළින් සෑම රටකටම වාසි ලබාගත හැකි බව පෙන්වා දුන්නේය.
ඇමරිකාව සහ යුරෝපා රටවල් නිදහස් ජාත්‍යන්තර වෙළෙඳ ක්‍රමයේ ආරක්ෂකයන් බවට පත්ව සිටියේය. ජපානය මෝටර් රථ අපනයනය ආරම්භ කිරීමෙන් පසු ඒ වනවිට ලෝකයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදකයා වන ඇමරිකාවට දැඩි තර්ජනයක් ඇතිවිය. එසේ වුව ද ජපානයේ මෝටර් රථ ඇමරිකාවට එවීම සම්බන්ධයෙන් බාධක පැමිණවීමට අදහස් නොකළ අතර එවැනි සීමා පැනවුවහොත් නිදහස් ජාත්‍යන්තර වෙළෙඳාමකට බාධා පැමිණෙන බව ඇමරිකාවේ පාලකයන්ගේ අදහස විය. මෙම තත්වය තේරුම් ගත් ජපානය ජාත්‍යන්තර වෙළෙඳාමට බාධාවන තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ස්වේච්ඡා අපනයන පාලන ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කළේය. ඒ ආකාරයට රටවල් අතර නිදහස් වෙළෙඳාම තහවුරු කිරීමට බටහිර රටවල් මෙන්ම ජපානය ද කටයුතු කළේය.
ඇමරිකාව තමන්ගේ වෙළෙඳාමට සම්බාධක පනවද්දී චීනය ද එවැනිම සම්බාධක පැනවීම පිළිබඳ අවධානය යොමු කර ඇති බව පෙනේ. 2025 නොවැම්බර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නව වෙළෙඳ ප්‍රතිපත්තියක් මගින් චීනයෙන් ඇමරිකාවට අපනයනය කරනු ලබන දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය පිළිබඳ සීමා පැනවීමට කටයුතු කර ඇත. ඒ අනුව, යුද උපකරණ සහ ඒ හා සම්බන්ධ නිෂ්පාදන සඳහා චීනයෙන් අපනයනය කරනු ලබන දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය යොදා ගැනීම තහනම් කර තිබේ. එවැනි ද්‍රව්‍ය අපනයනය කරන්නේ නම් ඒ සඳහා ඉහත කී කොන්දේසි සපුරාලන ආකාරයේ බලපත්‍ර ලබාගත යුතු බවට ද චීනය නියම කර ඇත. මෙය ඇමරිකාවේ යුද කටයුතු සඳහා අවශ්‍ය නිෂ්පාදනවලට මෙන්ම විද්‍යුත් තාක්ෂණික නිෂ්පාදන සඳහා ද දැඩි බලපෑමක් ඇති කිරීමට ඉඩ තිබේ. එයට හේතුව දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඒකාධිකාරයක් චීනයට හිමිව තිබීමයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබඳව දැඩි සේ උදහස් වී ඇති බව ඔහු ඒ පිළිබඳ ප්‍රතිචාර දැක්වූ ආකාරයෙන් පැහැදිලි වේ. ඔහු චීනයේ ආනයනය සඳහා වූ තීරුබද්දට අතිරේක වශයෙන් සියයට සියයක නව බදු අනුපාතයක් නොවැම්බර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි හඳුන්වා දී තිබේ. ඒ අනුව චීනය විසින් ඇමරිකාවට අපනයනය කරනු ලබන සෑම භාණ්ඩයක් වෙනුවෙන්ම සියයට 130ක තීරුබද්දක් අය කරනු ඇත. එය කිසියම් රටක් සම්බන්ධයෙන් ඇමරිකාව විසින් අය කරනු ලබන ඉහළම පොදු තීරුබද්ද ලෙස සැලකිය හැකිය. තමන්‌ට පමණක් දෙවැනි වන ආර්ථිකයකට හිමිකම් කියන චීනය හොඳින් හෝ නරකින් ආර්ථික වශයෙන් විනාශ කර දැමීමේ ප්‍රතිපත්තියකට ඇමරිකාව එළැඹ සිටින බව ද පෙනේ.
ඇමරිකාව චීනයට සියයට සියයක නව තීරු බද්දක් පැනවීමත් සමගම ක්‍රිප්ටෝ මුදල් වෙළෙඳපොළේ මිල ගණන් විශාල ලෙස පහළ ගියේය. මුල්ම දිනයේ දී ක්‍රිප්ටෝ මුදල් හිමිකරුවන්ගේ වත්කම් බිලියන ගණනකින් පහළ වැටුණි. එසේම ඇමරිකානු සමාගම් රැසක කොටස් මිල ගණන් ද විශාල ලෙස පහත වැටී ඇත.
1960 දශකයේ සිට ජපානය ආර්ථික වශයෙන් ඇමරිකාවට දැඩි තරගකාරීත්වයක් එල්ල කර තිබුණි. ඇමරිකාවේ ප්‍රධාන නිෂ්පාදන අංශය වන මෝටර් රථ, විදුලි උපකරණ ආදියට මුලින්ම තර්ජන එල්ල වූ අතර පසු කාලයේ දී නැව් නිෂ්පාදනය සහ තාක්ෂණික උපකරණ ආදිය සම්බන්ධයෙන්ද ඒ අකාරයේ තර්ජන ඇති විය. ජපානයේ විශේෂතාව වූයේ ගුණාත්මක භාවයෙන් ඉහළ, භාවිතයට පහසු, මිල අඩු භාණ්ඩ වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමයි. ඉතා තරගකාරී අපනයනකරුවකු බවට ජපානය පත් වූ අතර ඒ හේතුවෙන් ආර්ථික වශයෙන් ලෝක බලවතකු බවට පත් වීමට ජපානයට හැකි විය.
ජපානයේ ආර්ථිකය ඇමරිකාවට පමණක් දෙවැනි වූ අතර ඉතා කෙටි කලෙකින් ලෝකයේ ප්‍රධාන ආර්ථික බලවතා බවට පත් වීමට ද නියමිතව තිබුණි. එසේ වුව ද 1985 දී ‘ප්ලාසා’ගිවිසුම (Plaza) ගිවිසුම නම් වූ ගිවිසුමක් හරහා ජපන් මුදල් ඒකකයේ අගය ඉහළ දැමීමට එම රටවල් අතර එකඟතාවක් ඇති කර ගත්තේය.
එහි ප්‍රතිඵලයක් ලෙස ඉලක්ක ගත ප්‍රමාණයටත් වඩා ජපන් මුදල් ඒකකයේ අගය ඉහළ ගිය අතර, ඒ නිසාම ජපන් අපනයනවල මිල ගණන් ද විශාල ලෙස ඉහළ ගියේය. ජපන් මුදල් ඒකකයේ අගය අඩු කරන ලෙස ජපානය ඉල්ලා සිටිය ද, අනෙකුත් රටවල් ඊට එකඟ වූයේ නැත. ජපානය එතැන් සිට විශාල ආර්ථික පසුබෑමකට ලක්වූ අතර තවමත් ඉන් ගොඩ ඒමට හැකිවී නැත. එසේ වුව ද චීනය සම්බන්ධයෙන් බටහිර රටවලට එවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට නොහැකි බව පෙනේ.
ඊට හේතුව චීනය ලොව අංක එකේ වෙළෙඳ තරගකරු බවට මේ වනවිට පත්ව තිබීමයි. එසේම තාක්ෂණික වශයෙන් ද, යුදමය වශයෙන් ද මේ වනවිට ඉතා ශීඝ්‍ර දියුණුවක් චීනය අත් කර ගෙන සිටී. ඇමරිකාව ඇතුළු බොහෝ රටවල ප්‍රාග්ධන සැපයීම්කරුවකු බවට ද පත්ව සිටී. එබැවින් චීනය සදාචාරාත්මක නොවන ක්‍රම ඔස්සේ පරාජය කිරීම සිහිනයක් වීමට ඉඩ ඇති අතර ලෝකයේ ප්‍රධාන ආර්ථික බලවතා වීම වැළැක්වීමට ද නොහැකි වනු ඇත. එසේ වුව ද ඇති වෙමින් තිබෙන ඇමරිකා - චීන වෙළෙඳ යුද්ධය ලෝකයේ නිදහස් වෙළෙඳ ක්‍රමය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇත. එයින් ලෝක ආර්ථික අවපාතයක් හෝ පසුබැස්මක් හෝ ඇති වුවහොත් එමගින් ශ්‍රී ලංකාවට ද අහිතකර බලපෑම් එල්ල වනු ඇත.
(***)


