ආණ්ඩුව සල්ලි අච්චු ගැසුවාද?


මෙවර කිවිදා දැක්මට මාතෘකාව වන්නේ මේ දිනවල සමහරුන් මතු කරන ප්‍රධාන ප්‍රශ්නයක්ය. එනම් - ආණ්ඩුව අලුතින් මුදල් අච්චු ගැසුවාදැයි අසන ප්‍රශ්නයය. මේ කාරණය සමාජ මාධ්‍යවල මතුවූ අතර ආණ්ඩුව පාර්ශවයෙන් එයට පිළිතුරක්ද පාර්ලිමේන්තුවේදී දුන්නේය. නියෝජ්‍ය මුදල් ඇමැතිවරයාගේ පිළිතුර වූයේ 2023 අංක 16 දරන මහ බැංකු පනතට අනුව ‘‘ආණ්ඩුව කැමැති කැමැති වෙලාවට සල්ලි අච්චු ගහන්න’’ හැකියාවක් නැති බවයි.

ඒ නිසා මේ කතාව බොරුවක් බව ඔහුගේ පිළිතුර විය. එය එසේ වූවාට සමාජයේ සෑහෙන කොටසක් (විශේෂයෙන් සමාජ මාධ්‍ය අවකාශයේ විශේෂ කොටසක්) මේ කතාව විශ්වාස කරන බවක් පෙනෙන්නේ නැත. ඔවුන් දිගටම කියන්නේ ආණ්ඩුව අලුතින් සල්ලි නිකුත් කරන බවය.

මට හිතෙන්නේ මේ තත්වය ඇති වී තිබෙන්නේ හේතු කීපයක්ම නිසාය. පළමු කාරණය වන්නේ රටේ මේ වන විට බල පැවැත්වෙන මහ බැංකු නියාමන නීතිය පිළිබඳව බොහෝ අයට කිසිදු වැටහීමක් නැතිකමය. දෙවැනි කාරණය වන්නේ වත්මන් ආණ්ඩුව විවිධ ආකාරයේ බොරු ප්‍රකාශ කරන නිසා ඔවුන් කියන ඇත්තක්වත් දැන් බොහෝ අය විශ්වාස කරන්නේ නැති වීමය. තුන්වැනුව මේ අවිනිශ්චිත තත්වය තවදුරටත් ගමන් කරන්නේ මහ බැංකුවේ උදවිය නිශ්චිත තත්වය පැහැදිලි කරන්නේ නැති නිසාය. සුළු සුළු දේශපාලනික මතුවීම්වලටත් පුවත්පත් සාකච්ඡා පවත්වන මහ බැංකුවේ ප්‍රධානීන් මේ කාරණය පිළිබඳව අදහසක් ප්‍රකාශ කළා නම් ආණ්ඩුවට තිබෙන චෝදනාව නිමා වනු ඇත.

 

රටේ ආර්ථිකයේ තත්වය

මෙරට ආර්ථිකය 2022 වර්ෂයේ සිට බරපතළ කඩා වැටීම් ගණනාවකට ලක්වූ බව බොහෝ දෙනා දන්නා කාරණයකි. ඒ කඩා වැටීමට හේතු ගණනාවක් තිබෙන බවත් සැබෑවකි. සමහර හේතු 1977 සිට වර්ධනය වූ ඒවාය.  තවත් සමහර හේතු 2008 සිට ස්වෛරී බැඳුම්කර ගැනීමත් සමග ඇති වී තිබිණි. තවත් සමහර හේතු 2009-2019 කාලයේ (යුද්ධයෙන් පසු කාලයේ) දීර්ඝකාලීන සංවර්ධන ව්‍යාපෘති (වරාය, අධිවේගී මාර්ග, ගොඩනැගිලි) සඳහා මුදල් (ණයට ගත් මුදල්) යෙදවීම නිසා ඇතිවූ ඒවාය. තවත් සමහර හේතු 2019-22 ගෝඨාභය පාලනයේ වැරදි නිසා ඇතිවූ ඒවාය.

ඒ කෙසේ හෝ 2022 අපේ ආර්ථිකය ණය සේවා ගෙවන්නට නොහැකි තැනකට වැටුණි. අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කළ නොහැකි තැනකට වැටුණි. ඒ තත්වයට කියන්නේ ‘‘රට බංකොලොත් තත්වයට වැටුණා’’ කියාය.

2022-24 කාලයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය මේ අර්බුදජනක තත්වයෙන් එළියට යා හැකි මාර්ගය ලෙසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීරණ ණය පහසුකම් යටතේ එකඟතාවකට පැමිණියේය. වත්මන් මාලිමා ආණ්ඩුව පැමිණියාට පසුව එම පැරණි ආණ්ඩුවේ එකඟතාව එසේම පවත්වාගෙන යාම ඉතාමත් වැදගත්ය. මේ හේතුව නිසා රට තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සහ ආර්ථිකයේ ස්ථාවරභාවයක් (Economic Stablity) ඇතිවිය.

එපමණක්ද නොවේ. සමහර ක්ෂේත්‍රවල ආර්ථිකය දියුණුවක්ද තිබෙන බව පැහැදිලිය. 2005 වර්ෂය වන විට විදේශ ප්‍රේෂණ (විදේශ රටවල සිටින අයගේ වැටුප්) තත්වය සියයට දහ අටකින් (18%) වැඩිවී ඇත. සංචාරක ව්‍යාපාරයේද සියයට දහයක (10%) වර්ධනය ලබාගෙන ඇත. එසේම විදේශ සංචිතවල තත්වය 2024 ආණ්ඩුව බාර ගත් අවස්ථාවේ තත්වයෙන් යටට ගමන් නොකළ අතර මේ වන විටත් ඩොලර් බිලියන 6ක මට්ටමේ තබාගෙන සිටී.

මේ ආකාරයේ ධනාත්මක තත්වයක් එක පැත්තකින් පෙනෙන අතර ප්‍රශ්නකාරී පැත්තක්ද මේ සම්බන්ධව මතු වෙමින් තිබෙන බව බොහෝ අයගේ මතයයි. ඒ ප්‍රශ්නකාරී පැත්ත වන්නේ ආර්ථිකයේ වර්ධනය හෙවත් Economic Growth එකක් කැපී පෙනෙන ආකාරයෙන් සිදු නොවීමය.

ආර්ථික වර්ධන වේගය 2025 වර්ෂයේදී යම් අඩුවීමක් පෙන්නුම් කරන බව මහ බැංකු වාර්තාවලින් පෙනෙන කාරණයකි. 2022 වර්ධනය සියයට පහක් (5%) වූ අතර එය 2024 දී සියයට 4.5 බවට පත්වී ඇත. ඉදිරියේදී එය සියයට 3.5 පමණ පහළට යා හැකි බව සමහර සංවිධාන හා විශේෂඥයෝ සැක මතු කරති.

රටේ උද්ධමනය තනි ඉලක්කමකට ගෙනෙනු ලැබූ බව මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය නිතරම කියනු අසා ඇත්තෙමි. එහෙත් ඒ ගණන් හැදීම්වල යම් ගැටලුවක් තිබෙන බව මගේ අදහසය. රටේ උද්ධමනය කියන්නේ ‘‘නිශ්චිත කාලයක රටේ භාණ්ඩ සහ සේවාවල මිලෙහි නැගීම’’ හෙවත් ජනතාවගේ මිලදී ගැනීමේ ශක්‍යතාව පිළිබඳ මානයටය. මේ සම්බන්ධව මහ බැංකුවේ ගණන් බැලීම් සහ මහ මග ගමන් කරන ජනතාවගේ අත්දැකීම් එකිනෙකට වෙනස් බව මගේ අදහසය.

 

සල්ලි අච්චු ගැසීමේ කතාව

‘සල්ලි අච්චු ගසනවා’ කියන කතාව අපේ රටේ කියවෙන්නේ යම් ආකාරයක වැරැදි කල්පනාවක් සහිතවය. ආර්ථික විද්‍යාව තුළ මේ කාරණයෙන් කියැවෙන්නේ ‘‘රටක ආර්ථික ක්‍රියාදාමය තුළ ආණ්ඩුවකට අවශ්‍ය මුදල් වෙළෙඳපොළ හුවමාරුව තුළ සමහන් කර ගැනීමට නොහැකි වූ විට, යම් බරපතළ අගයක් යොදමින් නව මුදල් ප්‍රමාණයක් (නව රුපියල් ප්‍රමාණයක්) මූල්‍ය සංස්සරණ පද්ධතියට මුදා හැරීම’’යි. ඒ අනුව එසේ කෙරෙන්නේ මහා භාණ්ඩාගාරය (මුදල් අමාත්‍යාංශය) මගින් කෙරෙන ඉල්ලීමකට අනුව රටේ මහ බැංකුව මෙවැනි Monitary Financing හෙවත් මුදල් නිකුත් කිරීමේ ක්‍රියාදාමයකට යාමෙනි. එහෙත් එය මහා භාණ්ඩාගාරය කියූ පමණින්ම සිදුවන්නේ නැත. (මා මේ කියන කාරණය අලුත් මහ බැංකු පනතට අනුව සිදුවන්නේ තවත් සංකීර්ණ හා පරිස්සම් සහගත ආකාරයටය). එවැනි මූල්‍ය පහසුකම් ලබා ගැනීමට නම් මහා භාණ්ඩාගාරය විසින් මහ බැංකුවට – සුරැකුම්පත් / බැඳුම්කර වැනි ආකාරයකින් යම් අනාගත මූල්‍ය අගයක කුවිතාන්සියක් ලබාදිය යුතුය.

2020-22 වර්ෂවල ආර්ථිකය පිළිබඳව තිබෙන එක් විවේචනයක් වන්නේ මෙසේ රටට රුපියල් ගහනය වැඩිවූ බවයි. (එසේ රුපියල් නිකුත් කිරීමේ ගැටලුවක් නැතැයි ඉගැන්වෙන ආර්ථික විද්‍යා න්‍යායක්ද තිබෙන බව මෙහිදී සටහන් කළ හැකිය. ඒ පිළිබඳව මේ ලිපියේ සාකච්ඡා කිරීමේ ඉඩක් නැත.)

දැන් සමහරුන් තර්ක කරන්නේ මෙරට ආර්ථිකයේ M2 සංචිතය 2024-25 අතර යම් ප්‍රසාරණයක් තිබෙන බවත් එම වැඩිවීම ස්වාභාවික වෙළෙඳපොළ වැඩිවීමක් ලෙසින් නොපෙනෙන බවත්ය. M2 සංචිතය කියන්නේ කුමක්දැයි සමහරුන්ට නොතේරෙනවා විය හැකිය. ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයේ මූල්‍ය ගණනය කිරීමේදී M1-M2-M3 වැනි සංකේතකරණයක් පවතී. මෙතන අපට අදාළ වන්නේ M1 සහ M2 යන සංකේතයයි. මෙයින් කියවෙන්නේ අදහස් දෙකක්ය. M1 යනු ඍජු මුදල් හෙවත් රටේ හුවමාරු වන මුදල් නෝට්ටු + බැංකු ජංගම ගිණුම් තුළ ඇති මුදල් සහ ක්ෂණිකව ආපසු ලබා ගත හැකි අනෙකුත් මූල්‍ය සම්පත් මේ යටතේ ගනු ලැබේ. M2 කියන්නේ ඉහතින් කී M1 යටතේ තිබෙන සමස්ත මුදල් + ස්ථාවර තැන්පත් මුදල් + ඉතිරි කිරීමේ ගිණුම්වල ඇති මුදල් වැනි දේවල්වල එකතුවයි.

මේ මූල්‍ය අගය (M2 අගය) නොපෙනෙන සුළු ආකාරයකින් වැඩි වී තිබෙන්නේ නම් මේ ක්ෂේත්‍රයේ අය සැක කරන්නේ අලුතින් මුදල් එකතුවීමක් (මුදල් මැවීමක්) සිදුවී තිබෙන බවයි. සල්ලි අච්චු ගහලා යැයි සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ මේ කතාන්දරයයි. මේ මතය තවදුරටත් ප්‍රසිද්ධවීම අනිවාර්යය. කළයුතු කාරණය වන්නේ මහ බැංකුවේ ස්ථාවරය හා පැහැදිලි කිරීම රටට කිරීමය.

 

2023 මහ බැංකු පනත

මෙහිදී 2023 අංක 16 දරණ මහ බැංකු පනත ගැනද යමක් කිව යුතුය. මගේ පෞද්ගලික අදහස මේ පනත අප වැනි දියුණු වෙමින් පවතින රටකට බර වැඩි පනතක් කියාය. ඒ බව මේ පනත සම්මත වන දිනයේදීත් මම කීවෙමි. සමහරුන් කියන්නේ රටක මහ බැංකුව ආණ්ඩුවෙන් ස්වාධීන විය යුතු බවය. 2020-22 කාලයේ සිදුවූ සමහර දේවල් නිසා ඔවුන් එසේ කියනවා විය හැකිය. ඒ අදහස් අපි පිළිගත්තා යැයි සිතමු. එහෙත් රටක මහ බැංකුව රටේ පරමාධිපත්‍ය හිමි ජනතාවගේ නියෝජිත ආයතනය වන පාර්ලිමේන්තුවෙනුත් ස්වාධීන වන අන්දමේ නීති හැදීම භයානක ප්‍රතිඵල ගෙන දෙන එකක්ය. මේ පනත ගෙනන අවස්ථාවේ මාලිමා මන්ත්‍රීතුමන්ලා දැරුවේත් මා දැරූ ඒ මතය බව බොහෝ අයට මතකය.

දැන් මේ පනත අනුව ආණ්ඩුව ඉල්ලා සිටින මොහොතක වුවත් මුදල් නිර්මාණය කර නොදී සිටීමේ බලය මහ බැංකුවට තිබේ. ආණ්ඩුවේ ඇමැතිවරයකු මේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කීවේත්, සල්ලි අච්චු ගැසීම මහ බැංකුව සතු බලයක් වී ඇති තත්වයක මේ චෝදනාව ආණ්ඩුවට එල්ල කිරීම වැරැදි බවයි.

රටේ තිබෙන මේ සංවාදය යහපත් අන්දමින් නිමා කිරීමට මහ බැංකුවේ ස්ථාවරය හා පැහැදිලි කිරීම ලබා දීම සුදුසු බව මගේ කිවිදා දැක්මේ මේ සතියේ යෝජනාවය.

(***)