අඳුරේ අතපත ගා අගාධයට


ඕනෑම රජයකට පැවරෙන ප්‍රබල වගකීමක් වන්නේ රටෙහි රැකියා සම්පාදනය ඉහළ මට්ටමකට රැගෙන ඒමය. අනෙක් පැත්තෙන් එය විරැකියා ගැටලුව අවම මට්ටමකට රැගෙන ඒමකි. ඇතැම් දියුණු රටවල විරැකියා ගැටලුවක් දැකිය නොහැකි අතර ඔවුනට ඇත්තේ රැකියා සඳහා අවශ්‍ය ශ්‍රමය හිඟ කමය. අපේ රටේ තත්ත්වය නිරීක්ෂණය කළහොත් විරැකියා ගැටලුව යම් යම් කාලවල විවිධ මට්ටම්වලින් දැකගත හැකි විය.

විරැකියා ගැටලුවේ ස්වභාවය හඳුනාගැනීම වැදගත්වේ. එහි ප්‍රභේද දැකිය හැකිය. කාන්තා විරැකියාව, පිරිමි විරැකියාව, තරුණ විරැකියාව ආදී වශයෙනි. රැකියාවල ස්වභාවය අනුවද රජයේ රැකියා, පෞද්ගලික අංශයේ රැකියා, ස්වයං රැකියා, විදේශ රැකියා, ආදී පැති ගණනාවක් ඔස්සේ අපට මේ ප්‍රශ්නය හඳුනාගැනීමේ හැකියාව ඇත.

වැදගත් කරුණක් වන්නේ රැකියාවලින් කෙරෙන ඉපැයීම්වල ස්වභාවය හඳුනා ගැනීමයි. එම ඉපැයීම නාමික වැටුප් අනුපාතය එනම් මූල්‍ය වශයෙන් වැටුප් වර්ධනයවී ඇද්ද නැතහොත් මූර්ත වැටුප් අනුපාතය එනම් ලැබෙන මුදලෙන් කොතරම් භාණ්ඩ මිලදී ගත හැකිද යන කාරණා අනුව මැන බැලිය හැකිය. රැකියාව මෙන්ම විරැකියාව යන මාතෘකා කවරෙක දී වුවද මේ පොදු තත්ත්වය හඳුනා ගැනීම වැදගත්ය.

පසුගිය දශක දෙකක කාලය සලකා බලමු. 2001 වන විට ලංකාවේ විරැකියා ගැටලුව සියයට 8 කි. 2002 වනවිට එය සියයට 9 කට ආසන්න වී ඇත. මේ අනුව පසුගිය දශක දෙකක කාලය සලකා බැලීමේදී විරැකියා ගැටලුව ප්‍රබලවම දැකිය හැක්කේ 2002 වසරේදීය. මේ විරැකියා අනුපාතය 2002 වසරේ සිට ක්‍රමයෙන් අඩු වන්නට පටන්ගත් අතර 2012 වසර වන විට සියයට 3.9 දක්වා පහළ බැස තිබේ. ඒ අනුව එය පසුගිය දශක දෙකෙහි රැකියා වියුක්තියෙහි පහළම අගයයි.

2012 න් පසු රැකියා වියුක්තිය නැවත ක්‍රමයෙන් වර්ධනය වුවත් එය සියයට 4ක හෝ සියයට 4.34ක වැනි ප්‍රතිශතයක පවත්වා ගැනීමට හැකියාව ලැබී තිබේ. පාස්කු ප්‍රහාරයත් සමඟ 2018 වන විට මෙරට සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවිය. මෙරට කර්මාන්ත ආදියටද එයින් ඇතිවූ බලපෑම සුළුපටු නොවේ. එබඳු පරිසරයක 2019 වනවිට මෙරට සේවා වියුක්තිය සියයට 5කට ආසන්න විය. ඒත් සමගම 2019-2020-2021 වසරවල ව්‍යාප්ත වූ කොරෝනා වයිරසය ඇති කළ බලපෑමෙන් සියයට 5.5ක රැකියා වියුක්තියක් දක්නට ලැබිණ. එහෙත් 2022 වන විට මෙම ප්‍රතිශතය පහළ අගයක් ගෙන ඇත. 2023 වනවිට එහි ප්‍රතිශතය 5.2 කි. එහෙත් එම වසරේ තුන්වැනි කාර්තුවේදී මෙරට රැකියා හිඟය පැවැතියේ සියයට 4.7 ක් වශයෙනි. මේ සියලු දත්ත නිරීක්ෂණය කරනවිට දැකිය හැක්කේ අපේ රටේ රැකියා වියුක්තිය ක්‍රමයෙන් අඩුවී යන බවකි.

මේ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ ජීවත්වීමේ අසීරුතාවත් රැකියා අහිමිවී යාමත් සම්බන්ධයෙන් සාකච්ඡාවක් සමාජය තුළ පවතී. ඒ කතාවේ සත්‍යාසත්‍යතාව විමසා බලමු. මේ අර්බුදය සම්බන්ධ සාකච්ඡාව 2018 වසරේ සිටම දිගින් දිගටම මතුවූවකි. 

ඇතැම් ආචාර්ය මහාචාර්යවරු විද්‍යාත්මකව පිළිගත නොහැකි බවට තර්ක ඉදිරිපත් කරමින් සංඛ්‍යාලේඛන වාර්තා පවා අභියෝගයට ලක් කරමින් සිටිති. රජය සහ එහි දෙපාර්තමේන්තු අප විශ්වාස ඇති කර ගැනීමට සකසාගත් ආයතන වේ. යම් යම් අඩු ලුහුඩුකම් පැවැතිය හැකිවුවත් මහබැංකුව හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන දත්ත හැර හිතුමතයේ දත්ත එකතු කිරීමට විධිමත් හැකියාවක් නොලැබේ. දැන් දැන් ලංකාවේ ඇතැම් ආර්ථික විද්‍යාඥයෝ කටකතා දත්ත මගින් අතාර්කික මත පළ කරති. එයින් අදාළ විෂය ක්ෂේත්‍රයේ බරපතළ සෝදාපාළුවක් ඇති වේ. රැකියා වියුක්තියේ ස්වභාවයද නිර්ණය කරන්නේ සමස්තය දෙස බලා නොව එක් අංශයක් පමණක් සැලකිල්ලට ගෙන බව පැහැදිලිය.

මීළඟට අපගේ අවධානයට ලක්විය යුතු තවත් කරුණක් තිබේ. එනම් රැකියා කිරීමෙන් අප ලබන ආදායමේ තත්ත්වයයි. වැටුප් අනුපාතික දර්ශකය මත පදනම්ව එය තීරණය කළ යුත්තකි. මෙම දර්ශකයට අනුව රාජ්‍ය අංශයේ නාමික වැටුප හෙවත් මූල්‍ය වැටුප 2016 දී සියයක අගයක්ව පැවැති විට 2022 වන විට එකසිය තිස්තුනකි. 2023 නොවැම්බර් මස වන විට ද එකසිය තිස් තුනකි. එයින් පැහැදිලි වන්නේ පසුගිය වසර තුළ රාජ්‍ය අංශයේ මූල්‍ය වැටුපේ වර්ධනයක් සිදුවී නොමැති බවය. එහෙත් ස්වයං රැකියා ඇතුළු රාජ්‍ය නොවන අංශවල එහි වර්ධනයක් දැකිය හැකිය.

නාමික වැටුප එසේ වන විට මූර්ත වැටුපට සිදුවී ඇත්තේ කුමක්ද? රාජ්‍ය අංශයේ 2016 දී එය සියයක් වන විට 2022 වනවිට 59.1 කි. එය උද්ධමනය වැඩිවීමේ ප්‍රතිඵලයකි. ක්‍රය ශක්තිය පහළ අගයක් ගනී. 2023 දී තවදුරටත් එය 57.5 ට පහළ බැස තිබේ. එය තවදුරටත් පිරිහීමකි. එයින් පැහැදිලි වන්නේ 2016 දී රුපියල් සියයකින් ලබාගත් භාණ්ඩවලින් අද ලබාගත හැක්කේ සියයට 60 කටත් අඩු ප්‍රමාණයකි. අවිධිමත් පෞද්ගලික අංශය ගතහොත් 2022 වනවිට මූර්ත වැටුපේ පිරිහීම සිදුවූයේ සියයට 20 කින් පමණි. රාජ්‍ය අංශයේ එය සියයට 40 ක පිරිහීමකි. අවිධිමත් පෞද්ගලික අංශයේ වැටුපේද වර්ධනයක් දැකිය හැකිය. එහෙත් මේ සංවිධිත පෞද්ගලික අංශය නොවේ.

රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය කුමක්ද? ආදායම් බදු ගෙවන වැටුප රුපියල් ලක්ෂයකට වඩා වැඩි විධිමත් අංශයේ රාජ්‍ය සේවකයන්ගේ මූල්‍ය වැටුප ශීඝ්‍රයෙන් අඩුවෙමින් තිබේ. ලක්ෂ 5 කට වැඩි වැටුපක් ලැබූ රාජ්‍ය සේවකයාගේ මූල්‍ය වැටුප සියයට තිස්ගණනකින් පහළ බසියි. ලක්ෂයට අඩුවෙන් වැටුප් ලබන්නන් ගේ සහ බදු නොගෙවන රාජ්‍ය සේවකයන්ගේ මූල්‍ය වැටුප එක්කෝ එක තැනක පවතින අතර නැත්නම් වැඩි වේ. මූල්‍ය වැටුප අඩුවනවිට මූර්ත වැටුප තවත්  පහළ බසියි. සමාජය පුරා මේ වනවිට සාකච්ඡාවට ලක්වී තිබෙන්නේ මේ ආර්ථික පීඩාවය. එසේනම් මෙම ගැටලුවේ වැඩිම පීඩාව ලබන්නේ රජයේ සේවකයායි. මෙහිදී ඇත්තටම සිදු වන්නේ රාජ්‍ය සේවකයා බදු ගෙවීමකට වඩා රාජ්‍ය සේවකයාගේ වැටුප් කාප්පාදු කිරීමය.

තවත් පැත්තකින් රජය විශාල වශයෙන් බදු එකතු කරයි. මේ බදු සියල්ල ආපසු ගෙවන්නේද පොඩි මුදලක් හෝ අත ඇති ජනතාවයි. එවිට නැවත වතාවක් අපේ මුදලම ඊට යෙදවෙයි. බදු වැඩි වශයෙන් එකතු කර යම් වැටුපක් වැඩි කිරීම එතරම් සාධනීය දෙයක් නොවේ. එක්පැත්තකින් වැටුපක් දෙන අතරේ අනෙක් පැත්තෙන් එය නැවත ලබා ගැනීමකි මෙහිදී සිදු වන්නේ. වක්‍ර බදු ආදිය එක්වූ විට දෙන ප්‍රමාණයටත් වඩා මුදලක් නැවත ගන්නේ දැයි පැහැදිලි නොවේ.

කෙසේ වෙතත් බිං ගෙයක ගමන් කරමින් සිටි අපි දැන් දැන් එහි කෙළවර ආලෝකය දකිමින් සිටිමු. මේ සත්‍ය තත්ත්වය සමාජයට පැහැදිලි කිරීම වෙනුවට බොරු සාවද්‍ය දත්ත භාවිත කරමින් හා දත්ත පිළිගත නොහැකි බව පවසමින් යම් ව්‍යාකූලත්වයක් මතු කිරීමට ඇතැම් ආර්ථික විද්‍යාඥයෝ උත්සාහ ගනිමින් සිටිති. එම විශ්ලේෂණය පටු දේශපාලන අරමුණුවලින් තොර විය යුතුය.

දැන් මෙහිදී අප සාකච්ඡාවට ලක් කළ යුත්තේ මෙම ගමන වේගවත් කළ හැක්කේ කෙසේද යන්න සොයා බැලීමයි. එහිදී විදේශීය මෙන්ම දේශීය විකල්ප ගැන අවධානය යොමු කළ යුතුව ඇත. දේශීය වශයෙන් සලකා බලන කල්හි ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්ම හා කර්මාන්ත ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍යවේ. විශාල උද්ධමනයක සිටි සමාජයකට ඉතා ඉක්මනින් එබඳු වැඩපිළිවෙළකට යාම දුෂ්කර විය හැකිය. ඊට අවශ්‍ය වන්නේ කෘෂිකර්ම හා කර්මාන්ත ක්ෂේත්‍ර දියුණු කළ හැකි ජාතික හා ජාත්‍යන්තර මාර්ග විවර වන වැඩපිළිවෙළකි. ඊට අදාළ ක්ෂේත්‍ර පුහුණුව මෙන්ම භාෂා නිපුනතාව සමාජය තුළ ඇති කිරීම වඩාත් කාලෝචිත ක්‍රියාමාර්ගයකි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාමනිලධාරී කොට්ඨාස මට්ටමින් මේ නිපුණතාව ලබාදීමට පුළුවන. ඒ පුහුණුව සඳහා සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ ගම්මට්ටමින් පාසල් ගොඩනැගිලි යොදාගත හැකිය. විශේෂයෙන්ම පාසල් හැර යන තරුණ තරුණියන් මෙවැනි වැඩසටහනකට සක්‍රීය ලෙස දායක කොටගැනීමේ හැකියාව පවතී. කාලය මරමින් රස්තියාදු ගසන තාරුණ්‍යයට අර්ථයක් දීමටද එයින් හැකිවනු ඇත. තරුණයන් මත්ද්‍රව්‍ය මත්පැන් ආදි ඇබ්බැහිකම්වලට හුරුවීමද එයින් වළක්වාගත හැකිය.

ගම්මට්ටමින් ක්‍රියාත්මක කළ හැකි මෙබඳු යෝජනා රැසක් අප මීට පෙරද ආණ්ඩුවට පෙන්වාදුන් නමුත් තවමත් ඒවා ක්‍රියාත්මක වන බවත් පෙනෙන්නට නැත. මනා භාෂා පුහුණුවක් නොමැතිව ජාත්‍යන්තරය ජයගත නොහැකි අර්බුදයක අපි ගිලී සිටිමු. එහෙත් රටවලදී අපේ ශ්‍රමිකයන් විවිධ දුෂ්කරතාවලට මුහුණදීමේ ප්‍රධාන කාරණයක් වන්නේ භාෂා ගැටලුවයි. අනෙක් ගැටලුව තමන්ට නිශ්චිත ක්ෂේත්‍රයක් පිළිබඳ නිසි  පුහුණුවක් නොමැතිවීමයි. වෙළෙඳ  පොළක් ඇති යම් යම් වෘත්තීන්ට තරුණ තරුණියන් පුහුණු කිරීමෙන් ඔවුනට දේශීය වශයෙන්ද යම් වෘත්තියකට යොමුවීමේ හැකියාව තිබේ. අනෙක් පැත්තෙන් විදේශීය වෘත්තීන්ටද පිවිසිය හැකිය. ඒ නිසා මූලිකව අප කළ යුත්තේ වෙළෙඳපොළ අවශ්‍යතාව සපුරාලීමට ජනතාව තුළ සුදුසුකම් නිර්මාණය කිරීමය.

කුමක් හෝ උපාධියක් ලබාගත් පසු කිසියම් දේශපාලන කල්ලියකට සම්බන්ධවී රැකියා දියව් දියව් කියමින් පාරට බැසීමත්, ඒ දේශපාලන කල්ලිවල අවශ්‍යතා ඉටු කිරීමට කටයුතු කිරීමත් උගත් තරුණ සමාජයකින් අපේක්ෂා කරන අරමුණ නොව්. 2002 දී සියයට 9 ක්ව පැවැති විරැකියා අර්බුදය 2012 දී අවම මට්ටමක් බවට පත්වූයේ වෙන හේතුවක් නිසා නොව රජය උපාධිධාරින්ට රැකියා ලබාදීම හේතුවෙනි. රටේ ආර්ථිකය පිරිහීමට ප්‍රධාන හේතුවක් වූයේද මෙයයි. අදටත් කරන්නේ අලුතින් මුදල් අච්චුගසමින් ඒ රාජ්‍ය සේවකයන්ට වැටුප් දෙමින් ඔවුන් නඩත්තු කිරීමය.

අද ඇත්තේ විවෘත ආර්ථිකයකි. අප කළ යුත්තේ ලෝකයට විවෘත වීමය. ඉන්දියාව අද ඒ අභියෝගය ජයගෙන තිබේ. ‘බුද්ධි ගලනය’ සංකල්පය අද වන විට දියව යමින් ඇත. පෞද්ගලික වාසි අපේක්ෂාවෙන් මෝඩ කතා කියන ඇතැම් ආර්ථික විද්‍යාඥයන් හා ඇතැම් දේශපාලකයන් මේ තත්ත්වය තෙරුම් ගත යුතුය. හැත්තෑහතේ සෝවියට් මොඩලය තවමත් කරේ තබාගෙන යාමේ තේරුමක් නැත. එම මොඩලය කරේ තබාගෙන ගිය රුසියාව, වෙනිසියුලාව හෝ උතුරු කොරියාව ගොඩ ආවේ නැත. යුක්‍රේනය සාර්ථක වූයේ මේ මොඩලයෙන් ඔබ්බට ගිය නිසාය. යුක්‍රේනයට අද පහර දෙන්නේද ඒ නිසාය. චීනය සාර්ථක වූයේ මේ සාම්ප්‍රදායික ක්‍රමය අත්හළ නිසාය. වියට්නාමය වේගයෙන් දියුණුවීගෙන එන්නේ කොමියුනිස්ට්වාදයෙන් ඉවත්වීම නිසාය. එහෙත් අපේ අය තවමත් පැරැණි සෝවියට් මොඩලය කරේ තබාගෙන සිටිති. එය ඔහේ අඳුරේ අතපත ගාන පට්ටපල් අන්ධභාවයක ලක්ෂණයකි. ඔවුහු අන්ධයෝය.

මේ රටේ වැඩිපුරම අන්ධභාවයට පත්ව ඇත්තෝ උගත්තුය. ජේ.ආර්. නිසා රටේ ව්‍යවසායකත්වය නැතිවූ බවට මෝඩ කතා කියන අය පවා අප අතර සිටිති. මේ රටේ බහුතර වාමාංශික පක්ෂ කරන්නේ කුමක්ද? ඔවුන් පෙළෙන්නේ බලයට පත්වීමට නොහැකි නිසා ඇතිවූ බංකොලොත්භාවයකිනි. ඒනිසා ඔවුහු අදටත්, හෙටටත් රැකියා නොමැති, කෑම බීම නොමැති, බෙහෙත් නොමැති ගේදොර නොමැති සමාජයක් ප්‍රාර්ථනා කරති. එසේවූවිට සමාජ පීඩනය උඩුදුවා ඔවුන්ට බලය ලැබෙනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.

ඒ නිසා දැන් කළ යුත්තේ මේ අන්ධභාවයෙන් මිදී රැකියා වෙළෙඳපොළ අවශ්‍යතාව හඳුනාගෙන ඊට අවශ්‍ය පුහුණුව ලබා ලෝකයට විවෘත වීමය. එබඳු විධිමත් වැඩපිළිවෙළක් නොමැතිව රටේ සංවර්ධන ඉලක්ක සපුරා  ගත නොහැකිය.

කනගාටුවට කරුණ වන්නේ මේ ඉලක්ක සපුරා ගැනීමට ආණ්ඩුව සූදානමක් ඇති බව නොපෙනීමය. අපි මේ තත්ත්වය මීට පෙරද ආණ්ඩුවට පෙන්වා දුන්නෙමු. එහෙත් එය දැන් ආණ්ඩුවට අමතකව ගොස් ඇත. එහෙත් නිශ්චිත වැඩපිළිවෙළක් පැවතිය හොත් වසරක් තුළ රැකියා ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ හැකියාව තිබෙන බව අමතක නොකළ යුතුය.

(*** සටහන – ගාමිණී කන්දේපොළ)