ක්ලැරන්ස් - රිදම් ඔෆ් ගිටාර්’ චිත්‍රපටය මේ දිනවල සාර්ථක ලෙස තිරගත වන අතර, ඒ පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහක් ඇති වී තිබේ. මෙතරම් සාර්ථක ලෙස චිත්‍රපටය නිමා කරන්න බර ඇද්දේ ඔහුය. චිත්‍රපටය අතරමඟ නවතා දමා තිබියදී එයට නව ජීවයක් ලබාදෙමින් ක්ලැන්රස් නම් වූ ඒ යුග පුරුෂයාට අපහාසයක් සිදුනොවන ආකාරයට පිටපත වෙනස් කරමින් ක්ලැරන්ස් ඉහළින් ඔසවා චිත්‍රපටය නිමා කරන්න ඔහු සමත් වූයේ බොහෝ දෙනාට සිතන්නට යමක් ඉතිරි කරමිනි.
ඔහු නමින් තුසිත විජයසේනය. ‘‘ආලෝකෝ උදපාදි’’ චිත්‍රපටය නිෂ්පාදනය කරමින් රිදී තිරයට එක්වූ ඔහු ‘‘ක්ලැරන්ස්’’ චිත්‍රපටය නිෂ්පාදනය කරමින් යළි සිනමාවට එක්ව සිටී. කැන්ඩි සිටි සෙන්ටර් (KCC) නිර්මාතෘවරයා ලෙස කන්ද උඩරටට අලුත් සංකල්පයක් ලබාදුන් මේ නිර්මාණශීලී නිෂ්පාදකයා චිත්‍රපටය පිළිබඳව කියන්නේ කුමක්ද යන්න දැන ගැනීමට අපට සිත්වුණි. මේ ඔහු සමඟ කළ කතාබහේ සටහනයි.
‘ක්ලැරන්ස්’ සම්බන්ධ චිත්‍රපටයක් කරන්න නොවෙයි මුලින් අදහසක් තිබුණේ ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටය හැදුවේ පරමාර්ථයක් ඇතුවයි. අරමුණක් ඇතිව වැඩ කළේ හැමදාම. බලාපොරොත්තු සුන් වෙනවා. හැබැයි අරමුණු සුන් වෙන්නේ නෑ. අරමුණ ජයගන්නා තෙක් ඒ ඔස්සේ ගමන් කරනවා. Start සහ End එක මම හැමදාම දකිනවා. End එක තමයි දකින්න ඕනේ. ගොඩාක් අය දකින්නේ නෑ ඒක. Start කරද්දී End එක දකින නිසා මැදදී එන බාධාවන්ට ඔරොත්තු දීමේ හැකියාවක් මට තිබෙනවා. එඩිතරකමයි දැරීමේ හැකියාවයි මිනිසුන්ට තිබෙන්න ඕනේ.
2004 දී වසර දෙකක රිසර්ච් එකකින් තමයි වළගම්බා රජතුමාගේ කතාව හා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම ඇතුළත් ‘ආලෝකෝ උදපාදි’ තිරයට හදන්නේ මම බොහොම පරිසරයට ආදරය කරන කෙනෙක්. පරිසරය සභ්‍යත්වය, සංස්කෘතිය මම රැකලා තිබෙනවා. මම KCC නිර්මාණය කළෙත් ඒ අරමුණෙන් පරිසර හිතකාමී ලෙසටයි. ‘‘ආලෝකෝ උදපාදි’’ කරද්දී මම යෝජනා කළා චිත්‍රපට 10ක් නිෂ්පාදනය කරන්න. ජනාධිපතිතුමාගේ ඉඳලා ඉහළ රාජ්‍ය පරිපාලන නිලධාරීන් හිටියා. ආගමික නායකයන් හිටියා. මේ කිසිම කෙනෙකුගේ ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. මේ කර්මාන්තය ගොඩනගන්න. මම යම්කිසි දැක්මක් ඇතිව වැඩකරන කෙනෙක් ‘ආලෝකෝ උදපාදි හොඳට ප්ලෑන් කරලා හදපු හොඳ චිත්‍රපටයක්. නමුත් චිත්‍රපටය පෙන්වන්න යද්දී වුණු දේවල් නිසා මම චිත්‍රපට නිර්මාණය අතහැරියා. මම සිතුවේ රැකියා උත්පාදනය කළ හැකි කර්මාන්තයක් කියලා මේක.
මෙච්චර කලාවට ලැදි සංස්කෘතියක් තිබෙන රටක සිනමා කර්මාන්තයේ ලොකු පිරිහීමක් තිබෙනවා. මම KCC වල හැදූ සිනමාශාලා ත්‍රිත්වය විදෙස් අධ්‍යාපනය ලැබූ මගේ පුතා නවීන තාක්ෂණය සමඟ ලොව ඉහළම මට්ටමේ සිනමාශාලා තුනක් බවට එය පත් කළා. එහිදී චිත්‍රපට අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු මට හමුවෙනවා. ඔය අතරේ තමයි ‘ආශාවරී’ චිත්‍රපටය කළ තේජා ඉද්දමල්ගොඩ මාව හමුවෙන්න ආවේ. අපි දෙයක් කරන්න අදහස් කරලා තිබුණු වෙලාවක තමයි තේජා මේ යෝජනාව ගේන්නේ. මම සංගීතයට ලැදි පුද්ගලයෙක්. මම සාමාන්‍යයෙන් හැමදේම මධ්‍යම ප්‍රතිපදාවෙන් ඉන්න කෙනෙක්. කතාව, පිටපත මගේ කණ්ඩායමට බලන්න දුන්නා. සමහර ඒවා වෙනස් කරන්න ඕනේ කියලා අපි කතාවුණා. ‘සඳ එක් දිනක්’ කියන නමත් වෙනස් කරන්න කිව්වා. ඔහු එයට කැමැත්තක් දැක්වූයේ නෑ. පස්සේ බලමු කිව්වා. ඔහු බජට් එකක් මට ඉදිරිපත් කළා. පස්සේ කරමු කියලා අපි කණ්ඩායම තීරණය කළා. ඕක තමයි ඇත්ත කතාව. තේජා කියන්නේ මේ කර්මාන්තයේ ඉන්න මනුස්සයෙක්. අපි ඇවිල්ලා මේ කර්මාන්තයේ නැති මිනිස්සු. චිත්‍රපටය සඳහා සියලුම අනුමැතිය ලබාගැනීම අධ්‍යක්ෂගේ කාර්යභාරයක්. මම ඒක දන්නෙත් නෑ. මට අදාළ වෙන්නෙත් නෑ. ඔහු අප සමඟ ගිවිසුමේදී මේ සියලු අවසර ලබාගෙන තිබෙනවා කියලා කියනවා. ඔහු වගේ පිළිගත් කෙනෙක් කියන නිසා ඔහු හොඳ පුද්ගලයෙක් කියා මා හිතනවා. මම වැඩිපුර හොයන්න යන්නේ නෑ. මගේ ඔෆිස් එකේ අයත් මුදල් අංශයත් පුදුම වෙනවා මම ඒකට එකඟවීම ගැන. ඒ මහත්මා ගතියට මම එකඟ වෙනවා.
ඔහුගේ කතාව හා අධ්‍යක්ෂණයට මිලියන ගණනක්. සංගීතයට විශාල ගණනක් දාලා. හැබැයි ඒ වෙලාවේ මට ඒ ගැන තේරුණේ නෑ. ඔහු ප්‍රධාන චරිතයට වෙන දෙන්නෙක් තෝරාගෙන තිබුණා. මම ඒ වෙලාවේ මේ අය වෙනස් කරන්න ඕනේ කිව්වා. මොකද ක්ලැරන්ස්ට අලුත් කෙනෙක් ඕනේ. එහෙම නැතුව ඉන්න කෙනෙක් ගත්තොත් ඒක හරියට එන්නේ නෑ. ඕකට වළගම්බා රජ කතාව කරද්දී මට වුණා. නියම රජෙක් හමුවුණා. ඒත් ඔහුට රඟපාන්න බැහැ. එතනදී හරි පුරුෂයෙක් මට හොයාගන්න බැරිවුණා. ලංකාවේ ප්‍රශ්නයත් ඒකයි. පුරුෂයෝ නෑ. ඉන්නේ මොඩ්ල්ස්ලා.
චිත්‍රපටය හොඳට කරනවා නම් ඒක හරියට වෙන්න ඕනේ. ප්‍රධාන චරිත සඳහා මා සමඟ ඔවුන් කතා කළා. දැන් රඟපාන දමිත් හා නිහාරි තෝරාගත්තේ අර දෙදෙනා ඉවත් කිරීම නිසා ලැබුණු චාන්ස් එකක්. ඒක තමයි වැදගත් වෙන්නේ. ඉවත් කිරීම හා අනුමත කරගැනීමට මා කැමති වූ නිසයි දමිත්ට ඒ තැන ලැබෙන්නේ. එහෙම නැතුව අවස්ථාව ලැබෙන්නේ නෑ.
තේජා මහත්මයා චිත්‍රපටය කරගෙන යනවා. ඔහුට අසනීපයක් තිබුණු බව අපි කවුරුත් දන්නේ නෑ. ඔහු චිත්‍රපටය කරද්දී අපි පූර්ණ සහයෝගය ලබාදෙනවා. රූගත කරන්න අවසර ගන්න ඕන තැන්වලින් ලබාදෙනවා. මේ රඟපාන අය ඔක්කොම හිතාගෙන හිටියේ වාර්තා චිත්‍රපටයක් කරන්නේ කියලා. චිත්‍රපටය ගැන කවුරුත් දන්නේ නෑ. බොහෝ අය නිෂ්පාදක කවුද කියා දන්නේ නෑ. මේක වහලා තමයි කරගෙන යන්නේ. තේජා අසනීප වුණාම මම කියනවා අපේ ඔෆිස් එකට මේක අතහැරලා දාන්න කියලා. එතකොට අපි මිලියන ගණනක් වියදම් කරලා ඉවරයි. දැන් අපි තේජා ගොඩගන්න උදව් කරනවා. බැරි බව පේනවා. ඔහු සිටිද්දීම ඔහුගේ දුක සැප බලලා අපේ මට්ටමින් උදව් උපකාර කරනවා. කාලයාගේ ඇවෑමෙන් අපි චිත්‍රපටය අතහරිනවා.
පස්සේ රුවන් කොස්තා මහත්මයා හා ආර්ටිස්ලා ඇවිත් මගේ කාර්ය මණ්ඩලය හමුවී මෙය කරමු කියනවා. මම එතරම් කැමැත්තක් දක්වන්නේ නෑ. ඊට පස්සේ ඔක්කොම ගෙනවිත් සාකච්ඡා කරනවා. අපි නීතිඥවරයකු අරගෙන ගිවිසුම් ඔක්කොම පරීක්ෂා කළා. දැන් මේ චිත්‍රපටය ගොඩාක් දුර ගිහින්. බලද්දී තමයි කිසිම අනුමැතියක් කාගෙන්වත් අරන් නෑ. සිරස ආයතනයට කියා තිබෙන්නේ වාර්තා චිත්‍රපටයක් කරන්නේ කියලා. ශීලා විජේවර්ධන මහත්මිය මෙහිදී අසරණ වෙනවා. ඇයට කියා තිබෙන්නේ කතාව විතරක් කරනවා කියලයි.
සූරිය රෙකෝඩ්වලට මොකුත් කියලා නෑ. පස්සේ සින්දු තෝරාගත්තා. සමහර කෑලි අපි ඉවත් කළා. ඒවා තිබුණා නම් ඉතාම නරක තත්වයට යනවා. ඕනේ නැති කෑලි තිබුණා. අපි ඇත්ත කතාව හරියට දන්නෙත් නෑ. අපි ක්ලැරැන්ස් මහත්මයාගේ ආදර කතාව විතරයි කරන්න කිව්වේ. මොකද අපට එතනින් එහාට කියන්න බැහැ. අනික එහෙම කියන්න අපට අයිතියකුත් නෑ. ඒ තීරණ ගන්නේ මම හා අපේ කණ්ඩායම. ශීලා මහත්මිය ලංකාවට පැමිණි වෙලාවේ ඇයත් සමඟ සාකච්ඡා කරලා ඇයට පහදා දුන්නා මෙයින් ගෞරවයක් මිස අගෞරවයක් කරන්නේ නෑ කිව්වා. එයාගේ කැමැත්ත ගත්තා. සිරසෙන් හරිම අමාරුවෙන් අපි අවසර ලබාගත්තා. අවසානයේ ඉතාම කලාත්මකව වෙනස් කළා. ඒ විදිහටයි චිත්‍රපටය නිමා කළේ. මට ඕනෑ නිවැරැදි විදිහට කරන්නයි. මම කැමති නෑ බාගෙට වැඩ කරන්න. පස්සේ අපි සූරිය ළඟට ගිහින් ඒ මහත්මයාගේ කොන්දේසිවලට යටත් වෙනවා. සිරසේ කොන්දේසිවලට යටත් වෙනවා. මම කොහෙත්ම කැමති වුණේ නෑ චිත්‍රපටය කරන්න. ඒත් කොහොම හරි කරනවා. මේ ඔක්කොම කරද්දී තේජා මහත්මයා නැතිවෙනවා. හැබැයි අපි වරින් වර කෑලි ඔහුට පෙන්වනවා. ඔහු බොහෝ දේවල්වලට කැමැත්තක් නෑ. මට ඒක වැඩකුත් නෑ.
මේ චිත්‍රපටය ආරම්භ කළේ 2023 ජනවාරි 03. පෙන්වන්න තිබුණේ අගෝස්තු 03. ක්ලැන්රස් මහත්මයාගේ උපන් දිනයට මේක පොඩි ෆිල්ම් එකක්. ලොකු කතාන්දරයක් මෙහි නෑ. අපට අවශ්‍ය වෙලා තිබුණා ඒ වගේ චිත්‍රපට කිහිපයක් කරන්න. අපේ රටේ නිෂ්පාදකවරු රැකගන්නවත් ඔවුන්ගේ ගෞරවය රැකගන්නවත් දන්නේ නැති සමහර අධ්‍යක්ෂවරු හින්දමයි හෙණ ගහල තිබෙන්නේ.
හොඳ නිෂ්පාදකවරු ආවත් ඒ අය රැකගන්න කවුරුවත් කල්පනා කරන්නේ නෑ. ඒ අය පෙන්වන්න බෑ අනෙක් අයට. ඒ අය මේකෙන් ජීවත් වෙන්නේ නෑ. මේකෙන් ජීවත්වෙන අයගේ තත්වය වෙනස්. ඔවුන්ගේ රසාස්වාදය වෙනස්. මේ චිත්‍රපටය මුලින් “සඳ එක් දිනක්” පසුව “සිහින ලොවක්” වුණා. මායි මගේ බිරිඳයි එකතු වී එය වෙනස් කර “රිදම් ඔෆ් ගිටාර්” නම් කළා. ඒ ක්ලැන්රන්ස් වැඩසටහනක් යූ ටියුබ් එකේ බලද්දී මමයි මගේ ගිටාරයයි කියලා තිබුණා. ඒක කල්පනා කරලා තමයි මෙය දැම්මේ. මුලින් “ගිටාරයයි මගේ ජීවිතේ” දැම්මේ. ඒකත් ගැලපුණේ නෑ පස්සේ. මෙය වෙනස්කම් කරලා ශීලා මැතිනියගේත් ක්ලැරන්ස් මහත්මයාගේත් ආදර කතාව සුන්දර කතාවක් කළා. මේක මනංකල්පිත වෙන්න පුළුවන්. ඇත්ත කතාව නොවෙයි. මේක ලිව්වේ ඉද්දමල්ගොඩ. මම කළේ ඒක රසවත් කරලා ආලෝකවත් කිරීමයි. එහිදී මම අනවශ්‍ය දේ අයින් කළා. මම හරිදේ හිතට එකඟව කළා. මෙයින් කළේ ක්ලැරන්ස් මහත්මයාගේ චරිතය උසස් තැනකට ගෙන ඒමයි. විජය කොරයා, සඟබෝ කොරයා, ඇනස්ලි මාලවන වගේ අය මේ ගැන හොඳ ප්‍රතිචාර දැක්වූයේ. අපි කළේ උසස් දෙයක් කිරීම පමණයි. එහෙම නැතුව මහාවංශය විකෘති කළා වගේ දේවල් කළේ නෑ.
මම චිත්‍රපට දෙකයි කළේ. ඒ දෙක හරියට කළා. චිත්‍රපට ශාලා 3යි හැදුවේ. ඒක හරියටම කළා. මගේ ප්‍රතිපත්තියට අනුව අපි නුවරත් හැදුවා. නුවරට රසයක් සතුටක් දුන්නා. මේ චිත්‍රපටයෙන් රටට සතුටක් ගෙනාවා. රටම සංගීතයෙන් මිනිස්සු නැවත වතාවක් ප්‍රබෝධවත් කළා. ලොවට සතුටක් ගෙනාවා. විශාල රටවල් සංඛ්‍යාවක් මෙය බලන්න නොඉවසිල්ලෙන් ඉන්නවා. මෙය විශාල රටවල් සංඛ්‍යාවක පෙන්වනවා. ඒ තමයි ලොවට සතුට’’.
(*** සමන්ත යහම්පත්)