පෙර සිරිතට අනුව ගිය මහියංගණ වන්දනාව


බිනර පොහෝ දිනයේ ලාංකිය ඉතිහාසයේ විශේෂත්වයක් ගන්නා ඓතිහාසික සම්ප්‍රදායක් පැවතුණි. බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේ සහ ග්‍රීවා ධාතූන් වහන්සේ තැම්පත් කොට ඇති මහියංගණ සෑරදුන් උදෙසා ගෞරව පුද කිරීමට ඈත අතීතයේ සිටම පැරැන්ණෝ බිනර පොහෝ දින යොදා ගත්හ. ඇසළ උත්සවයෙන් ඇරැඹෙන පෙරහර චාරිත්‍ර ඉටු කිරීම ලක්දිව බොහෝ පූජනීය ස්ථානවලදී සිදුවේ. එය මහියංගණය පුදබිම සම්බන්ධයෙන් විශේෂත්වයක් ගන්නේ ආදිවාසී වැදි ජනතාව තම සම්ප්‍රදායික පිළිවෙත් ගරු කරමින් මහියංගණ විහාරවලට පෙරහරින් ගමන් කිරීමයි.

දොඩම් පලතුර පූජා කරමින් පෙරහරින් වැදි ජනතාව බුදුන් වහන්සේගේ ලක්දිව ප්‍රථම ලංකාගමනය වූ මහියංගණ පුදබිම තම අතීත උරුමය ලෙසින් සලකා කටයුතු කිරීම විශේෂත්වයකි.

පැරණි කාලයේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල විසූ ජනතාව බිනර පෝදා මහියංගණ වන්දනාවේ පැමිණියහ. මහියංගණ රාජමහා විහාර පෙරහර පවත්වමින් හා නානාවිධ පූජා පවත්වමින් ජනතාව බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩෙද්දී ආදීවාසීහු දොඩම් පෙරහර පවත්වා ස්වකීය නිජභූමිය උත්කෘෂ්ටත්වයට පත් කරති.

ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දඹදිව බුද්ධගයාවෙහි සම්බුද්ධත්වයට පත්ව නව මසකට එළඹි දුරුතු පොහෝ දිනයෙහි මෙරට සද්ධර්මාලෝකයෙන් බැබලුණහ. එදින රාත්‍රියේ ලංකාවේ මහා නදිය වූ මහවැලි ගං ඉවුරට නුදුරු මහානාග නම් වනයෙහි එවකට එහි විසූ යක්ෂ ජනයාගේ මහා සමාගමයක් පැවතිණි. යක්ෂයන්ගේ යුද භූමිය තුළ මහා විනාශයක් සිදුවුවහොත් අනාගතයේ නිර්මල වූ සම්බුදු දහම සුරැකෙන මේ දිවයිනට සිදුවන විපත දිවැසින් දුටු බුදුන් වහන්සේ එහි එකදු මනුෂ්‍ය ජීවිතයකට හෝ හානියක් නොවිය යුතු යැයි අධිෂ්‍ඨාන කොට ගත්හ. එදින රාත්‍රියේ යක්ෂ සමාගමය පැවැති භූමියේ ඔවුනට ඉහළින් අහසේ පළක් බැඳ බුදුන් වහන්සේ වැඩ සිටියහ.

කිසිදා අදහන්නට බැරි මේ අනපේක්ෂිත දර්ශනයෙන් යක්ෂයෝ බියට පත් වූහ. රන්වන් දේහකායෙන් රශ්මි කදම්බය විහිදුවමින් වැඩම කළ මේ මහා පුරුෂයාගේ දර්ශනය ඒ සෑම සිතක් තුළම බිය නැතිගැන්ම හා ගෞරවය මුසු වික්ෂිප්ත බවක් ඇති කිරීමට සමත් විය. යක්ෂ පිරිස දමනයකොට එහි රැස්වූ සෑම දෙනා කරුණාවෙන් ඇමතූ බුදුන් වහන්සේ දෙව්වරුන් ප්‍රමුඛ සියල්ලෝටම ධර්මය දේශනා කළහ. ධර්මය අසා සෝවාන් වූ ලක්දිව සමන්ත කූට පර්වතවාසී වූ සුමන සමන් දිව්‍යරාජයා බුදුන් වහන්සේගෙන් පූජාවට යමක් ඉල්ලූ කල බුදුන් වහන්සේ තම හිස පිරිමැද කේශ ධාතු මිටක් ගෙන සමන් දෙවියන් අතට පත් කළහ. සුමන සමන් දිව්‍යරාජයා එදා සර්වඥයන් වහන්සේ අහසෙයි වැඩහුන් ස්ථානයේ බිම කේශ ධාතූන් රන් කරඬුවක බහා තැම්පත් කොට සත් රියන් උස ඉන්ද්‍රකීල දාගැබක නිධන් කළ බව මහාවංශය ඇතුළු ඓතිහාසික මූලාශ්‍ර පෙන්වා දේ.

ඉන්පසුව බුදුන් වහන්සේ පිරිනිවන් පා ශ්‍රී දේහය ආදාහනය කරන අවස්ථාවේදී ඍද්ධි බල ඇති සරසද මහරහතන් වහන්සේ චිතකයේ ගිනි දැල් අතරින් බුදුන් වහන්සේගේ ග්‍රීවා ධාතුව (ගෙල අස්ථි) ලබාගෙන එය මෙම දාගැබෙහි නිධන් කොට මේදෝවර්ණ පාෂාණයෙන් වස්වා දොළොස් රියන් උස් කරවා තිබේ.
ඉන් සියවස් කිහිපයකට පසුව දේවානම්පියතිස්ස රජුගේ සොයුරු උද්ධචූලාභය කුමරු එම මනස්කාන්ත දාගැබ දැක විස්මයට පත්වී මහත් ගෞරවයෙන් තිස් රියන් උස්කොට බන්දවා තිබේ. ඉන්පසුව දුටුගැමුණු රජතුමා මෙම මියුගුණ සෑය අසූ රියන් උස්කොට තනවා මහත් ගෞරව පුද කළ බව වංශ කතා පෙන්වා දේ. එයින් පසුව තවත් රජවරු කිහිප දෙනකුම විවිධ අවධිවලදී මෙම දාගැබ ප්‍රතිසංස්කරණය කර තිබේ. වෝහාරික තිස්ස, දෙවනසේන, පළමුවන විජයබාහු, කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල වැනි පාලකයන් එම විහාරය හා දාගැබ් කර්මාන්තයේ අලුත්වැඩියාවක් ද සිදුකොට ශාසනික මෙහෙවර ඉටුකොට තිබේ.

පසු කලෙක විවිධ විපර්යාසවලට ලක්වූ මහියංගණ දාගැබ අද ඝණ්‍ඨාගාර ස්වරූපයෙන් දිස්වේ. පසුකාලීනව මෙම ස්තූපයේ කැණීම්වලින් ස්තූප ගර්භයේ තිබී සොයාගත් ධාතු ගර්භ සිතුවම් ඉතා දුර්ලභ ගණයේ සිතුවම් සමූහයක් විය. අනුරාධපුර යුගයේ පැවැති උසස් සිතුවම් සම්ප්‍රදාය අනුගමනය කරමින් ඇඳ තිබූ ඒ බුද්ධත්වය නිරූපන සිතුවම් පොළොන්නරු යුගයේ පළමුවන විජයබාහු රජු සමයට අයත් බව පර් යේෂණවලින් තහවුරු කෙරිණි. ඒවා ඉතා කලාතුරකින් දක්නට ලැබෙන සිතුවම් වනුයේ ස්තූපයක ධාතු ගර්භය තුළ දැකගැනීමට ඉඩ ලැබෙන අවස්ථා ඉතා විරල බැවිනි.

මහියංගණ ස්ථූපය මෙරට පුරාවෘත්තමය ඉතිහාසය තුළ ඉදිවුණු දෙවන ස්තූපයයි. පළමුවැන්න බුදුරදුන්ට ප්‍රථම දන්වේල පිළිගැන්වූ තපස්සු බල්ලුක දෙදෙනා විසින් කේශ ධාතු නිධන් කොට ත්‍රිකුණාමලයට නුදුරු තිරියාය නම් ස්ථානයේ තැනූ ගිරිගඬු සෑයයි. මේවා පුරාවිද්‍යාත්මක තහවුරු කිරීම්වලට වඩා පුරාවෘත්තමය තොරතුරු වේ. බුදු සසුන පිහිටුවීමෙන් පසුව අංගසම්පූර්ණ ලෙසින් ඉදි කළ ප්‍රථම දාගැබ වූයේ ථූපාරාමයයි. කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේ ලක්දිව වැඩම කිරීමෙන් පසු ඉදි කළ මුල්ම ස්ථූපය ලෙසින් මහියංගණ සෑයට ලැබෙන ගෞරවය අති මහත්ය.

මහවැලි ගං දිය බැස යන සීතල පරිසරය තුළ ආදිවාසී ජනයා වෙසෙන මහියංගණය ඓතිහාසිකව ද බෞද්ධාගමිකව ද සුවිශේෂ වටිනාකමක් දනවයි. මහියංගණ සෑරදුන් බුදු රැසින් බබළවන්නේ ඒ ඓතිහාසික ශ්‍රී විභූතියයි.

(***)
නිශාන්ත - චාමින්ද පීරිස්



Recommended Articles