කුසල කර්මයෙන් විමුක්ති සුව ලබමු



වැඩ අවැඩ යන මෙම යුගල පද ව්‍යවහාර භාෂාවේ යහපත අයහපත යන යුගල පදවලින් ප්‍රකාශිත හොඳ නරක යන යෙදුමින් නොනැවතී පින් පව් කුසල් අකුසල් ආදී වශයෙන් තවත් ඉදිරියට පුළුල්ව භාවිත කිරීම ද කළ හැකියි. වැඩ යන වචනය අවැඩ යන වචනය සමඟ යෙදී ඇති හැම විටකම වැඩ යන්නෙන් වැඩ කිරීම යන අදහස ප්‍රකාශ වුවද ඉන් යහපත් වැඩ කිරීම අර්ථවත් වේ. දහමින් පුද්ගලයා යොමු කොට ඇත්තේද යහපත් වැඩ කිරීමටයි.

ආගමික ශාස්තෘවරයාණන් වහන්සේ නමක ලෙස තථාගතයන් වහන්සේගේ මූලික උපදේශය වන්නේ ද සියලු පාප ධර්මයන් නො කළ යුතු බවයි. පාප ධර්ම යන ව්‍යවහාරයෙන් ප්‍රකාශිතව ඇත්තේ තමාටත් අනුන්ටත් අයහපතක් වන කිසිවක් නොකළ යුතු බවය. ඉන් අදහස් කරනුයේ වැඩදායී හෙවත් යහපත් දෑ කිරීමත් අවැඩදායී හෙවත් අයහපත් ක්‍රියාදාමය වලින් අත්මිදීමේ පිළිවෙතය.

පුද්ගලයා කිසි විටෙකත් පීඩාකාරී හෝ වේදනාකාරී අවස්ථා සඳහා කැමැති නොවන්නේ මතු නොව සුවදායී හා සහනදායී ජීවිතයක්ම අපේක්ෂා කරනු ලැබේ. සමස්ත සමාජයම පෙළ ගැසී ඇත්තේ තම තමන් වෙනුවෙන් සුව පහසුකම් ලබා ගැනීම පමණක් නොව සොම්නස් සහගත ව දිවි ගෙවීම අරමුණු කොට ගෙනය. මෙවන් පසුබිමක යමෙක් යමකුට අවැඩක් අයහපතක් සිදු කිරීම ඉතා කුරිරුතම ක්‍රියාවකි. කිසිවකුටත් පීඩාකාරී නොවී තම රැකියාව හෝ ව්‍යාපාරය කරගනිමින් තම පවුල් ජීවිතය ගත කිරීම කළ යුතුය. බාහිර සමාජයට විය යුතු යුතුකම් ද ඉටු කරමින් දැහැමිව දිවි ගෙවන්නෝ බොහෝ වෙති.

ඔවුන්ගේ අපේක්ෂාව යමක් උපයා සපයා ගෙන සතුටින් යුතුව කුටුම්භ සංරක්ෂණයෙහි නියැළීම වේ. එහෙත් එය නොරිසි ඊට අකුල් හෙළන ඊර්ෂ්‍යා සහගතව ක්‍රියා කරන්නෝ ද බහුල වෙති. සාමාන්‍ය සමාජය තුළ බොහෝ දෙනාට මේ පිළිබඳව බොහෝ අත්දැකීම් ඇති බවද නොරහසකි. ඥාති හිතමිත්‍රාදී භේදයකින් තොරව මුළු මහත් සමාජ තලය පුරාම එක් එක් සීමාවන්ගෙන් යුතුව පුද්ගලයන් පුද්ගලයන් වශයෙන් සිදු කෙරෙන අවැඩ ප්‍රමාණය විශාල වේ. ඇතැම් විට ආදර්ශ වශයෙන් හෝ නොපෙනෙන සේ සැලසුම් සහගතව අවැඩ ක්‍රියාවල නිරත වන බව නොරහසකි. පුද්ගලයන් පුද්ගලයන් වශයෙන් පමණක් නොව විවිධ ජාති ගෝත්‍ර ආගම් වශයෙන් ද සිදු කරන අවැඩදායී තත්ත්වයන් පිළිබඳව ද අසන්නට හා දකින්නට ලැබේ. එපමණක් නොව රාජ්‍ය වශයෙන් ද සිදු කරන ඇවැඩදායී තත්ත්ව පිළිබඳව ද අසන්නට හා දකින්නට ලැබේ. එපමණක් නොව රාජ්‍ය වශයෙන් තම බලය රැක ගැනීම සඳහාත් ආධිපත්‍යය පැතිරවීම සඳහාත් පස මිතුරන්සේ කුමන්ත්‍රණකාරීව ක්‍රියාකරමින් ලෝකයෙහි සාමාන්‍ය පැවැත්ම වෙනස් කරන අවස්ථාද්‍ බහුල වේ.

වර්තමානයෙහි අප අත්විඳිමින් සිටින ගෝලීය වසංගතයක් ලෙස නම් කොට ඇති කොරෝනා මාරාන්තික වූවකි. ඖෂධ සොයාගෙන නැති නිසා පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා ලෝකය පුරාම පොදු උපදෙස් මාලාවක් ක්‍රියාත්මකයි. එහිදී එම උපදෙස් පිළිපැදීම නොතකා හැරීම ද අවැඩදායී ක්‍රියාවකි. තමා නොසැලකිලිමත් ලෙස ක්‍රියා කිරීම තම පවුල සඳහා රෝගකාරක ව්‍යාප්ත වීමට හේතු වේ. එපමණක් නොව පුද්ගලයා ගෙන් එම රෝග කාරක සමාජයටත් සමාජමය එකතුව සමස්ත රටවාසීන් රෝග කාරක බවට පත් වෙමින් සිදුවී ඇති විපත ඉතා ඛේදනීය වූවකි. මේ වනවිට පුද්ගලයන් අතර ඉතා සමීපව මාරයා ගැවසෙන තත්ත්වයට පත්ව පුද්ගලයන් පමණක් නොව රාජ්‍ය වශයෙන්ද මහත් අර්බුදකාරී තත්ත්වයකට පත්වී ඇත. ඒ අනුව මුළු ලෝකයම වත්පොහොසත්කම් අබල දුබලකම් ආදී භේද වලින් තොරව අසරණ වී ඇත්තේ පෞද්ගලිකව එකිනෙකා බාහිර පුද්ගලයන් පිළිබඳ නොසලකමින් උපදෙස් නොතකා ක්‍රියා කිරීම නිසාය. එය ඉතා භයානක අවැඩදායී ක්‍රියාවකි. සිතාමතා සැළසුම් සහගතව සිදු කරනු ලබන අයහපත් ක්‍රියා මෙන්ම නීතිගරුක නොවීමෙන් හා ශික්ෂිත බවයේ ඌනතා නිසාද සිදු කරනු ලබන අයහපත් ක්‍රියා මෙන්ම පුද්ගලයන්ගෙන් පුද්ගලයාට සිදුවන අයහපත් බලපෑම් ප්‍රමාණය ඉතා විශාලය.

සාමාන්‍ය ජන ව්‍යවහාරයෙහි කකුලෙන් ඇදීම, කකුල් මාට්ටු දැමීම යන නම්වලින් හඳුන්වන්නේ ද පුද්ගල ප්‍රගමනය සහ සමාජ ප්‍රගමණය දැකීම නොරිසි පුද්ගලයන් එසේ අයහපත් ක්‍රියා සිදු කිරීම පිළිබඳවය. මේ සියල්ල සඳහා බලපානුයේ අකුසල සිතුවිලි බව දහමින් පෙන්වා දෙයි. එම ක්‍රියාදාමය පුද්ගල අයහපත සඳහා ද හේතු වේ. එය පාප ක්‍රියාවකි. මෙම ක්‍රියාදාමය අපි අත්විඳින සමාජයේ පමණක් නොව අප නොදන්නා සමාජ තලවලද සිදු විය හැකි සර්වකාලීන ක්‍රියාදාමයකි. තථාගත දහමින් එහි ඇති අයහපත හා අගෝචර බව පෙන්වා දී ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ ධර්මාන සමාජයෙහි දකින ලද පුද්ගලයන් හා අවස්ථා මනාව අවබෝධ කරගැනීමෙන් ලබන ලද අත්දැකීමතයි.

“යෝ අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති
සුද්ධස්ස පෝසස්ස අනංගණස්ස
තමෙව බාලං පච්චේති පාපං
සුඛුමෝ රජෝ පටිවාතංච ඛෙත්තෝ”

ගාථාවෙහි සාමාන්‍ය අදහස ලෙස දැක්වෙන්නේ නිදොස් පුද්ගලයකුට අයහපතක් කෙරේ නම් උඩු සුළඟට හසුවූ දුවිල්ලක් සේ නැවත තමා වෙත පැමිණෙන ආකාරයයි. එනම් කරන ලද පාප කර්මයෙහි කුසල විපාක පාපී පුද්ගලයා කරා පැමිණ විපාක දීමේ ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී උපමා රූපක සහිතව පෙන්නුම් කර ඇති ආකාරය ඉතා රමණීය වේ. මෙහි අප්පදුට්ඨස්ස යන පාලි වචනයෙහි අදහස වන්නේ අදූෂිත හෙවත් නිදොස් තැනැත්තා යන්නයි.  අප්පදුට්ඨස්සාති අත්ත නෝවා සබ්බ සන්තා නංවා අදුට්ඨස්ස යන අටුවා පාඨයෙන් ද එම අදහස පුළුල්ව විග්‍රහ කෙරේ. සුද්ධස්ස යන යෙදුමින්ද ඉහත අදහස තහවුරු කරමින් පිරිසුදු පුද්ගලයා පිළිබඳ සඳහන් කෙරෙන අතර යහපත් පැවැත්මක් ඇති කිළිටි නොවූ පුද්ගලයා පිළිබඳ තොරතුරු දක්වා තිබේ. එසේම මෙහිදී අනංගණස්ස යන යෙදුමින් ප්‍රකාශිත කරනුයේ නිකෙලෙස් පුද්ගලයා පිළිබඳව වන්නේ පමණක් නොව සියලු කෙළෙස් සිඳ දැමූ පුද්ගලයා පිළිබඳ කෙරෙන විස්තරය හෙවත් පිරිසුදුකමෙහි උපරිමය මෙන්ම අදූෂිත බවෙහි කෙළවර පිළිබඳවය.

මෙහිදී දුස්සති යන පාලි පාඨයෙන් සිදු කෙරෙන අර්ථ ගැන්වීම වන්නේ සිදු කරනු ලබන වරද පිළිබඳ වන්නේ මතු නොව අතින් පයින් මෙන්ම දඬු මුගුරු අවි ආයුධ ආදියෙන් පහර දීම් තැලීම් පෙළීම් පිළිබඳවය. එසේම රළු පරුෂ බස් වචනයෙන් ප්‍රකාශ කොට අවැඩ කිරීම පමණක් නොව සිතින් සිතා සැලසුම් සහගතව අවැඩ කිරීමද මින් අදහස් කෙරෙන අතර පච්චති යන්නෙන් ප්‍රකාශ වන්නේ පෙරළා පැමිණීම පිළිබඳවයි. එසේ පාපකාරී පුද්ගලයා කරා පැමිණෙන්නේ සිදුකරන ලද බරපතළ වූ අයහපත් ක්‍රියාවෙහි ප්‍රතිඵලය හෙවත් අකුසල විපාකය බව මින් විස්තර කොට තිබේ. එම විපාක මොලොවදී සහ පරලොවදී නිරනුමානවම කටුක ආකාරයෙන් ලැබෙන බව මෙහි වැඩිදුරටත් සඳහන්ව ඇත. අකුසල විපාකය පෙරළා පැමිණීම පිළිබඳව උපමාවක් සහිතව දැක්වීමේදී රජෝ පටිචාතං යනුවෙන් උඩු සුළඟ හා මුසු වන දූවිල්ලක් වැනි යැයි ප්‍රකාශ කොට ඇත. ඉක්මනින් විපාකදීම හා එම විපාකයෙහි කර්කශ බව දැක්වීම සඳහා දූවිලි කුණාටුව උපමා වශයෙන් ගෙන හැර පා ඇති බව පෙනී යයි.

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි සිදුවූ එකනෙහිම පව් පල දීමේ සිදුවීමක් පාදක කොට ගත් මෙම කතාව බොහෝ දෙනා අසා ඇති ප්‍රකට සිදුවීමකි. ඉතා දරුණු බලු රැලක් සමඟ දඩයමේ යන කෝක නම් වැද්දෙක් එක් දිනක් සුපුරුදු පරිදි දඩයම් පිණිස වනයට ගියේය.

අතරමගදි පිඬු පිණිස හැසිරෙන තෙර නමක් දැක දැඩි සේ සිත නරක් කරගත්තේ මුඩු මහණෙක් දුටිමියි යන ගමන සාර්ථක නොවන්නේ යැයි සිතමිනි. මෙම සිදුවීම සිදුවී වසර දෙදහස් ගණනක් ඉක්ම ගොස් ඇතත් මෙම මතයම දරන බලු වැදි පරපුර නියෝජනය කරන ඇතැම් පුද්ගලයන් වර්තමානයෙහි ද දක්නට ලැබෙන අවස්ථා ඇති බව සඳහන් කළ යුතුව ඇත. ඔවුනද උදෑසන කාලයෙහි භික්ෂුවක් දුටු විට වැද්දා මෙන්ම විපිළිසර වන අයුරු අපි දැක ඇත්තෙමු. කෙසේ නමුත් මස්වැද්දා සිතූ ආකාරයෙන්ම එදින කිසිදු සත්වයකු මරා ගත නොහැකි විය. කෝපවූ සිතින් යුතුව පැමිණෙන්නේ නැවත එම තෙරුන්ම දැක තව තවත් කෝපවී තෙරුන්ට දෝෂාරෝපණය කරන ලදී. මෙම කාලකණ්ණියා දුටු නිසා ගව රෝමයක්වත් තරම්වත් යමක් නොලදිමියි කියා ගෙදර ගිය ද කිසිදු අහරක් නොලැබෙනු ඇතැයි කියමින් තෙරුන් මරා දැමීම සඳහා ඔහු දඩබල්ලන් මුදා හැරියේය. පැමිණි විපත අවබෝධ කරගත් තෙරුන් වහා ගසකට නැග ගත්තේය. එපමණක්ද නොව බඹයක් තරම් උසක රැඳෙමින් බලු වැද්දාගේ ප්‍රහාරයට මුහුණ දුන්නේය. උසි ගන්වන ලද බල්ලන් බුරා වැටෙමින් තෙරුන් හපා කෑමට යත්න දරනුයේ වැද්දා විසින් එම තෙරුන්ගේ පාදවලට ඊතලවලින් අනින්නට පටන්ගත්තේය. ඉන් ඉතා වේදනාකාරීව බේරී සිටීමට උත්සාහ දැරීමේදී සිරුරින් ගැලවී ගිය සිවුර වැද්දාගේ සිරුරට වැටී හෙතෙම වැසි ගියේය. තෙරුන් ගසින් වැටුණේ යැයි සිතන ලද දඩ බලු රැල චීවරයෙන් වැසුණ මස්වැද්දා හපා කා ඇට ටික පමණක් ඉතිරි කළහ. පසුව තෙරුන් වහන්සේ ඉතා අපහසුවෙන් බලු රැල පළවා හැරියහ. තමන්ගේ සිවුර වැටීම නිසා වැද්දාගේ මරණය සිදුවීමෙන් තම සීලයට හානියක් වීදෝයි මහත් සැකයකට පත්වූහ. එසේ දොම්නස් සහගතව භාග්‍යවතුන් වහන්සේ මුණගැසුණු එම තෙරුන් තම සීලයට කිසිදු කැළලක් නොවූ බව අසා සැක දුරු කර ගන්නා ලදහ. මෙම සිදුවීම අරමුණු කරගත් තථාගතයන් වහන්සේ නිදොස් වූ කෙළෙස්වලින් දුරු වූ තැනැත්තෙකුට අවැඩක් කෙරේ නම් ඉන් ජනිත පාප විපාකය උඩු සුළඟට හසු වුණ දූවිල්ලක් සේ එම අනුවණයා වෙත පැමිණෙන බව දේශනා කොට වදාළහ.

අද දිනය සලකා ලෝකවාසී කාන්තාවන්ගේ දිනය ලෙස හැඳින්වීමද වරදක් නොවනු ඇත. විවිධ පීඩාවන්ගෙන් අතිශය පීඩිතව පිළිගැනීමක් නැතිව සිටි කාන්තාවන් දෙව් බඹුන් ගෙන් පවා වැඳුම් පිදුම් ලබන තත්ත්වයට පත්වීම සඳහා හේතු වූ භික්ෂුණී සාසනයෙහි ආරම්භක දිනය වන බිනර පුර පොහෝ දිනය අදට යෙදී තිබේ. මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ඨ ගරු ධර්ම පිළිගෙන අද වැනි දිනක මහණ උපසම්පදාව ලැබීම බුදු සසුනෙහි සුවිශේෂී අවස්ථාවකට ඉතිහාසය කරුණු මෙන්ම අවැඩ අයහපතට ලැබෙන දුක් විපාක හා වැඩදායී පුණ්‍ය කටයුතු ඇසුරින් ලැබිය යුතු විමුක්ති සුවය ලැබීම සඳහා උත්සාහවත් විය යුතුව ඇත.

 

(***)


කොළඹ හැව්ලොක් සිටි සාම විහාරාධිපති
අතපත්තුකන්දේ ආනන්ද නාහිමි



Recommended Articles