සියයට 10 ක් චිත්‍රපට සංස්ථාවට දෙන්නේ ඇයි?


ඔහු මෙරට සිනමා සංගම් ත්‍රිත්වයක සාමාජිකත්වය දරන, සිනමාශාලා හිමියකු ද වන සිනමාව වෙනුවෙන් කෙළින් කතා කරන නිර්මාණශීලී අයකු ලෙස හැඳින්විය හැකිය. අවුරුදු 14 සිට චිත්‍රපට ප්‍රදර්ශනයකු බවට පත් වූ ඔහු අවුරුදු 18 දී ‘රන්දෙණිගල සිංහයා, වරදට දඬුවම්, චෙරියෝ ඩොක්ටර්’ වැනි චිත්‍රපටවල සහාය අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළේය.

අනතුරුව සංස්කරණ ශිල්පියකු වූ ඔහු 1995 දී ‘‘එකදා වැහි’’ චිත්‍රපටය වෙනුවෙන් වසරේ හොඳම සංස්කරණ ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර විය. ස්වර්ණවාහිනී නාලිකාවේ පළමු සංස්කරණ ශිල්පියා ලෙසත් සිරස නාලිකාවේ විධායක වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙසත් කටයුතු කළ ඔහු මෙරට පළමු සැටලයිට් නාලිකාවේ (City hits) ප්‍රධානියා ද වේ. ඔහු නමින් නිශාන්ත ප්‍රදීප් මොහොට්ටිගේය.

ගල්කිස්සේ හා කොච්චිකඩේ ඩිජිටල් සිනමාශාලාවල හිමිකරුවා ද වන නිශාන්ත අද වනවිට චිත්‍රපට ප්‍රදර්ශනයන්ගේ සංගමය චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ සංගමය හා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමය යන සංගම් ත්‍රිත්වයේම ක්‍රියාකාරී සමාජිකයකු ලෙස කටයුතු කරයි. මෙරට සිනමාව අද පත්වී ඇති තත්ත්වය පිළිබඳව වෙනස්ම මානයකින් බලන ඔහු ‘රසවින්දන’ හමුවේ මෙසේ තම අදහස් ඵල කළේය.

සීයට දහයක් චිත්‍රපට සංස්ථාවට දෙන්නේ ඇයි බැසිල් රාජපක්ෂ ඇමතිවරයා අපෙන් ඇහුව. චිත්‍රපට කර්මාන්තයේ ගැන දේශීය සිනමාව ගැන බොහෝ දෙනා බොහෝ කරුණු කාරණා මේ පිටුවෙත් වෙන පුවත්පත්වලත් සදහන් කරනවා මම දැක තිබෙනවා. බොහෝ ලිපිවල  තියෙන ප්‍රධාන කාරණාව තමයි අර්බුදය කියන වචනය. මම මේ අර්බුදය කියන වචනයට එකඟ නැහැ. එහෙම කියන්න හේතු ගණනාවක් තියෙනවා. ඒව මෙන්න . ජන ආකර්ෂණීය චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන කාලය තුළ කිසිම කෙනෙක් අර්බුදය ගැන කතා කරන්නේ නැහැ.ඔය කියන අර්බුදයක් එසේ තිබේනම් ජන ආකර්ෂණීය චිත්‍රපටිවලට සෙනඟ ගලා එන්න විදිහකුත් නෑනෙ. උදාහරණ ලෙස ධර්ම යුද්ධය චිත්‍රපටිය අරන් බලන්න. එම චිත්‍රපටය මිලියන20ආදායමක් උපයන්න හැකිවුණා. එතකොට කවුත් අර්බුධය ගැන කතා නැ.

පිළිවෙළින් ගත්තොත් මහාචාර්යතුමාගේ පත්තිනි විජයබා කොල්ලය යශෝධරා වගෙ චිත්‍රපට දුවන කාලෙ අර්බුදය තිබුණද නැද්ද . සෝමරත්න මහත්තයාගේ සිරි පැරකුම් සරිගම සුනාමි පෙන්නනකොට කෝ අර්බුද? අර්බුදය තිබුණා නම් මේවා ලක්ෂ දාහක් 1500 පසුකර යන තරමට ආදායම් ගේන්න සෙනග ආවෙ කෙහොමද? . උදයකාන්ත මහතා ගේ ජයන්ත චන්ද්‍රසිරිගේ චිත්‍රපට පෙන්වන කොටත් මේ තත්වෙට සමාන සෙනඟ සිනමාහලට ආවේ අර්බුදය තියෙන නිසාද අර්බුදය නැති නිසාද? අර්බුදයක් තිබේනම් කොහොමවත් චිත්‍රපටි දුවන්න බෑ. ඒක හරියට දැනට ‍ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන අර්බුදය වගේ. කොයි මැච් එක ගැහුවත් පරාදයි. අන්න අර්බුදය. ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්න මට අයිතියක් නැහැ. හැබැයි සිනමාව ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. මම දෙවන පරම්පරාවේ චිත්‍රපට ප්‍රදර්ශකයෙක්. මට පොඩි කාලේ ඉදලම ඇහිලා තියෙනවා දුවන චිත්‍රපට නොදුවන චිත්‍රපට. වෙනස තියෙන්නෙ ඒ කාලේ දුවන චිත්‍රපට වැඩියි. නොදුවන ඒවා අඩුයි දැන් ඒකේ අනිත් පැත්ත. ඒ කර්මාන්තය අර්බුදයේ නෙමෙයි.

මේ සරල සිද්ධාන්තය තේරුම් ගන්නැතුව පත්තරවල පිටු පුරවන එකවත් television channel  වල ගුවන් කාලයේද කා දමන එකත් වැඩක් ඇති දෙයක් නෙමෙයි. අර්බුදය තියෙන්නෙ හොඳ ජන ආකර්ෂණය චිත්‍රපට හදා ගන්න බැරිවීම කියන එක තමයි මගේ මතය.
මා එක්වරක් පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක මෙ මාතෘකාව යටතේ සාකච්ඡාවකට සහභාගි වුණා එහිදී ගේ මිත්‍ර අනුරුද්ධ ජයසිංහ මහතාත් සිටියා. ඔහු කීවා අර්බුදයක් තියෙනවා කියලා. මම කිව්වා අර්බුදයේ තියෙන්නෙ චිත්‍රපටි ශාලාවේවත් චිත්‍රපටි නරඹන්නන්ගෙ වත් නොව චිත්‍රපටියේ බව කියලා. ඔහු එදා ඒක පිළිගත්තේ නැහැ. කාලෙකට පස්සේ ඔහුගේ ගින්නෙන් උපන් සීතල මගේ සිනමාහල් වල ප්‍රදර්ශනය. කරන දිනවල  ඔහු මාගෙන් ඇහුවා කොහොමද ඔයාගේ හෝල් එකේ ආදායම කියලා. මං කිව්වා හොඳට සෙනග ඉන්නවා කියලා ඊට පස්සෙ මම ඇහුවා කෝ අර කියපු අර්බුදය කියලා. ඔහුහිස වනා යන්ඩ ගියා. අසාර්ථක චිත්‍රපටි පෙන්වන කොට තමයි ඒ නිෂ්පාදකවරු කියන්නේ අර්බුද කියලා.

 මමත් චිත්‍රපටයක් නිෂ්පාදනය කර ඒක සාර්ථක වුණේ නැහැ. වෙන කෙනෙක් නම් කියනවා අන්න අර්බුදය කියලා. මගේ චිත්‍රපටියේ ඉවර උන ගමන් සරිගම චිත්‍රපටය ප්‍රදර්ශනය වුණා. අන්න සෙනඟ ආවා ලක්ෂ දාහක් විතරකරා. මේවා මගේ හෝල් වල මටම වෙච්ච දේවල්. ඒකයි මම කියන්නේ මෙතන තියෙන්නේ හොඳ ජන ආකර්ෂණය ගත හැකි චිත්‍රපට හැදීමට බැරිකම තමයි අර්බුදය කියලා. අනෙක් අතට අර්බුදය තියෙනවනම් ඇයි සුනිල් සර්ලා චිත්‍රපටි දෙකක් හැදුවේ ? ඇයි ජැක්සන් ඇන්තනී විත්‍රපටයක් හැදුවේ ? ඇයි ප්‍රසන්න විතානගේ  ගාඩි හැදුවේ? අර්බුදය එක කණ්ඩායමකට විතරක්ද. මේ උදාහරණ බලන්න. පහත දැක්වෙන චිත්‍රපට සියල්ලම සාර්ථක ආදායම් ගෙනදුන්නා.

ඒ දේශීය සිනමාවේ තත්වය. විදේශීය සිනමාවකුත් අපේ රටේ තිබෙනවා .දෙමළ ඉංග්‍රිසි, මෙම භාෂා දෙකේ චිත්‍රපට වල ආදායම් තත්වය කොච්චර ද කියලා දන්නවාද,? එවා සිනමාහල්වල ප්‍රදර්ශනය වුණ කාලයේදී සිනමාහල් වලට ගිය ආපු සෙනඟ ඔබ දැක ඇති යැයි මා සිතනවා. මේ අවුරුද්දේ ජනවාරි මාසේ කෝවිඞ් වසංගතයෙන් බැට කාල ඉදලා මාස්ටර් කියන ද්‍රවිඩ චිත්‍රපටය සිනමාහල් හැටකට වැඩි ප්‍රමාණයක ප්‍රදර්ශනය කළා. ලැබූ ආදායම මිලියන80ට වැඩියි. Kong Vs Godzilla  මිලියන26ක් පමණ. අර්බුදය තියනවනම් එහෙම සෙනග එනවද?  එක තව උදාහරණයක් මම කියන්නම් මගේ සිනමාහල් වල හුඟක් වෙලාවට මේ සිද්ධිය දකින්න පුළුවන්. විශේෂයෙන් ගල්කිස්ස ජසඑහ ජසබැප් හලේ හතරයි කාල ප්‍රදර්ශනය කරන්නේ ඉංග්‍රීසි චිත්‍රපටි. සමහර දවස් වල එක housefull. 9;30 දර්ශනය දෙමළ චිත්‍රපට ඒකත් house full  මෙකක හතට තියන සිංහල චිත්‍රපටිය cancel  වෙනවා ඒ සෙනග නැති නිසා. බොහෝ සිනමා ශාලා වල තත්වයත් මේකම තමයි. දෙමළ චිත්‍රපටිය බලන්න දෙමළ මිනිසුන් ආවට ඉංග්‍රීසි චිත්‍රපටිය බලන්න එන්නෙ සුද්දෙ නෙමෙයි. ලංකාවේ චිත්‍රපටි බලන ප්‍රේක්ෂක සංඛ්‍යාව වසරකට මිලියන හතක් විතර .

ඒකෙන් ලැබෙන ආදායම බිලියන 1.8 ක් විතරයි ොඳ චිත්‍රපටි  පෙළගස්වල හරියට මේ කළමනාකරණය කරගත හොත් බිලියන 3ක් පමණ මේ දියුණු කරන්න පුළුවන් කියන එක තමයි අපේ කර්මාන්ත ව්‍යවසායකයන්ගේ අදහස.

අර්බුදය වයිරස් එකක් නං ඒකට දෙන්න තියන එන්නත තමයි ජන ආකර්ෂණීය චිත්‍රපට. එහෙම එන්නත් හදන්න පුළුවන් ෆැක්ටරි තමයි සුනිල් සර්ලා සෝමරත්න, උදයකාන්ත, ජැක්සන් ඇන්තනීලා.

මම මෙහෙම කියනවා 2022 ජනවාරි මාසයේදි කදිරසුරිඳු රාජ චිත්‍රපටිය දාන්න. ඉන් මාස දෙකහමාරකට පස්සෙ කතුරු මිතුරු කරන්න. තවමාස දෙක හමාරකට පස්සේ එක ගෙයි සොකරි දාන්න ඉන්පසු උදයකාන්තගේ ගින්දරී තුන දාන්න ඔබට අර්බුදයේ තියෙන්නේ කොහෙද කියලා හොයා ගන්නවත් බැරි වෙයි.

ඔය මං කිව් විදිහට චිත්‍රපට පෙළගස්වන්න චිත්‍රපට  ප්‍රදර්ශන ක්‍රියාවලිය වෙනස් වෙන්න ඕනේ ඒක ගැන කතා කරනවා නං ඒකත් අර ඉස්සරලා කිව්ව කතාව වගේ වැරදි කෑල්ල තමයි අල්ලන් ඉන්නේ. දැන් මේ දවස් වල කතාබහක් යනවා ජාතික චිත්‍රපට සංස්ථාවට චිත්‍රපට බෙදාහැරීම ගන්න ඕන කියල. සංස්ථාව කියන්නෙම සීයට දහයක් ගන්න එක වැරදියි කියලා. දැන් තියෙන අර්බුදය එහෙම නැත්නම් ප්‍රශ්නය තියෙන්නෙ මේ 10% ද?. සීයට දහය දුන්නානම් අර්බුදය ඉවර වෙනවද? ඒක මහ විහිළු කතාවක්.

අතීතයට යන්න මං කැමති නැහැ. මේ කතාව නිසා ටිකක් යන්ඩ වෙනවා. 1996/99 කාලෙදි තමයි චිත්‍රපට සංස්ථාවේ අඳුරු යුගය ඇරඹූනේ. ඒකයි ඒකාලෙ චිත්‍රපට කර්මාන්තයේ සිටි සියලු‍ දෙනාම එකතුවී ඒ පෞද්ගලික අංශයට භාරදුන් නේ. 72  ස්වර්ණමය යුගය වගේම 95 වගේ කාලවල මණ්ඩලවලත් ස්වර්ණමය යුගය වුණා. හැබැයි දැන් ඒ යුගය ඉවරයි. මණ්ඩල වල බෙදාහැරීමේ ක්‍රමවේදය අසාර්ථකයි.  ඒකෙන් තේරෙන්නේ මේ ක්‍රම දෙකම අසාර්ථක බව.

ඉතිං දැන් කළ යුත්තේ ක්‍රම දෙකම නැතුව අලු‍ත් ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම නොවෙයිද? මුල් ක්‍රමය අසාර්ථක වූවානම් දෙවෙනි ක්‍රමයට ගොස් ඒ ක්‍රමය සාර්ථක වූවාට පසු කළ නැවත් පරණ ක්‍රමයටම යෑම මොන තරම් මෝඩ ද? ටිකක් කල්පනා කරලා බලන්න අසාර්ථක ක්‍රම දෙකක් අත් දෙකේ තියාගෙන ඒ අත් දෙක මාරු කරන වගේ වැඩක් නේද කරන්නෙ.


(*** සටහන - සමන්ත යහම්පත්)

 



Recommended Articles