රාජ්‍යය: වෙළෙඳපොළ: සහල්


මේ දිනවල රටේ දේශපාලනයේ සහ ආර්ථිකයේ විශාල වශයෙන් කතාබහට ලක්වන මාතෘකා රාශියක් මතු වී ඇත. කොරෝනා වසංගතය පාලනය කිරීම ඒවායින් එකක්ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ ලංකාව පිළිබඳ ඉදිරිපත් කිරීම තවත් එකක්ය. ඉදිරි සතියේ සිට නිව් යොක් නුවර පැවැත්වෙන එ.ජා. සංගමයේ මහා මණ්ඩල සැසිවාරය ඊළඟ මාතෘකාවය. මගේ කිවිදා දැක්මෙන් මා සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ මේ එකක්වත් ගැන නොවේ. මගේ සාකච්ඡාව කේන්ද්‍රගත වන්නේ අපේ රටේ ආර්ථිකයේ මේ දිනවල සිදුවෙමින් පවතින දේවල් කිහිපයක් ගැන කතා කරන්නටය.

බොහෝ අය දන්නා පරිදි මේ වනවිට රටේ සමහර අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් නිර්මාණය වී ඇත. කිරිපිටි, සීනි සහ සහල් මේ අතරින් ප්‍රධාන වශයෙන් කතාබහට ලක්වී ඇති භාණ්ඩය. සීනි සහ සහල් මිල ගණන් ඉහළ යාම සහ වෙළෙඳපොළේ අවශ්‍ය ප්‍රමාණයට මේ ද්‍රව්‍ය නොමැති වීම යන හේතු නිසා ‘හැංගූ සහල් සහ හැංගූ සීනි සොයා යාමේ මහා මෙහෙයුම්’ විවිධ රූපවාහිනී නාලිකා පටන් ගත්තේ මේ තත්ත්වයට විසඳුමක් ලෙසින්ය. මේ ‘සොයා යාමේ මෙහෙයුම්’ එක්තරා ආකාරයක විකාරරූපී රංගනයක් ද සමාජය ඉදිරියේ පෙන්නුම් කරමින් තිබෙන බව මාගේ අදහසය. මේ තත්ත්වයේ තවත් එක් වර්ධනයක් වූයේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ගේ කාර්යාලය සහ පාරිභෝගික සේවා අධිකාරිය වැනි රජයේ ආයතන සහල් මෝල් සහ සීනි ගබඩා සීල් කරන්නට පටන් ගැනීමය.

දැන් රූපවාහිනී ප්‍රවෘත්ති තුළ පෙන්නන්නේ දිනපතාම එක්කෝ සහල් ගබඩාවක්/ වී ගබඩාවක් ‘අල්ලා ගැනීම’ය. එහෙම නැත්නම් ‘අල්ලා ගත් සීනි තොගයක් සතොසට පිටත් කිරීම’ය. සහල් මිල වැඩි වීම පිළිබඳ ගැටලුව මේ ‘වී ගබඩා අල්ලා ගැනීමේ’ ක්‍රියාදාමයෙන් විසඳෙන්නේ යැයි සිතන නිසා සමාජයේ බොහෝ අය සිටින්නේ ‘සහල් මුදලාලිලාට හොඳ වැඩේ’ වැනි සංතෝෂයකය. මේ පිළිබඳව වාමාංෂික පක්ෂවල අය සංවාදවලට ඇවිත් කියන්නේ ‘මේ වී සහ සහල් රාජ සන්තක කළ යුතු’ බවය. මා මිත්‍ර ධම්ම දිසානායක වැනි වාමාංෂික බුද්ධිමතුන් පවා ‘වී ගබඩා රාජ සන්තක කිරීමේ තර්කයෙන්’ උත්කර්ෂයට පත්වනවා නොඅනුමානය.

එහෙත් වෙළෙඳපොළ සමග රාජ්‍යය ගැටෙන මේ ප්‍රශ්නය දෙස මම බලන්නේ තරමක් වෙනස් අකාරයකටය. වෙළෙඳපොළ ක්‍රමය සහ රාජ්‍යයේ සම්බන්ධතා පිළිබඳ අපේ රටේ 1977 සිටම නොවිසිඳුණු ගැටලුකාරීත්වයක් මේ සහල් ප්‍රශ්නය සමගින් එළියට පැමිණ ඇති බව මගේ අදහසය. අපි ප්‍රශ්නය පැහැදිලිව විභාග කරගනිමු.


වෙළෙඳපොළ ක්‍රමය
1977 සිට මේ දක්වා අපේ රටේ ක්‍රියාත්මක ආර්ථික ක්‍රමවේදය වන්නේ නිදහස් වෙළෙඳපොළ ක්‍රමයයි. එහි මූලිකම තේරුම වන්නේ රටේ නිෂ්පාදන සහ සේවා සිදු කරන්නේ තනිකරම රාජ්‍ය යාන්ත්‍රණය මගින් නොව පෞද්ගලික අංශයට ද අවස්ථාව සලසා දෙමින් බවයි. මේ විවෘතභාවය සීමා කරන්නේ කුමන තැනක ද යන ප්‍රශ්නය මත 77 පසු එ.ජා.ප.ය සහ ශ්‍රී.ල.නි.ප.ය අතර තිබූ දේශපාලන බේදය බව පිළිගැනීමේ වැරැද්දක් නැත.

ශ්‍රී.ල.නි.ප.ය මුල් කරගත් ආණ්ඩු හැම විටම උත්සාහ කළේ රාජ්‍යයේ වපසරිය සමහර ක්ෂේත්‍ර තුළ ආරක්ෂා කරගනිමින් නිදහස් වෙළෙඳපොළට ක්‍රියාත්මක වෙන්නට ඉඩ දීමය. එ.ජා.ප.යේ උත්සාහය වූයේ රාජ්‍යය යනු නියාමන ආයතනය බවට පත් කරමින් පළල් ක්ෂේත්‍රයක් පෞද්ගලික අංශයට විවෘත කර දෙන්නටය. 90 දශකයේ ශ්‍රී.ල.නි.ප.ය යනු මෙරට සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ පක්ෂය බවටත්, එ.ජා.ප.ය යනු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ පක්ෂය බවටත් කීවේ ඉහත සඳහන් වෙනස මත පදනම් වෙමින්ය. දැන් රටේ දේශපාලන තත්ත්වය එ.ජා.ප.-ශ්‍රී.ල.නි.ප. බෙදුම්කඩනය වෙතින් වෙනස් වී තිබෙන නිසා මේ තත්ත්වය අදට ගැළපෙන්නේ වෙනත් ආකාරයකින් විය හැකිය. එහෙත් මට කියන්නට අවශ්‍ය මූලිකම කාරණය වන්නේ රටක් ලෙසින් දේශපාලනමය වශයෙන් ක්‍රියාත්මක වන ආර්ථික මොඩලය විවෘත වෙළෙඳපොළ ක්‍රමය බවයි. (පසුගිය සති කිහිපයේම මා මතු කළ කාරණයක් වූයේත් මෙරට ආර්ථිකයේ තිබෙන ගැටලුව ලෙසින් මා දකින්නේ අපේ වෙළෙඳපොළ ක්‍රමය වෙතින් නිෂ්පාදන ධනවාදය ඈත් වෙමින් ඩීල් ධනවාදය වර්ධනය වීමයි. එයට විසඳුම වන්නේ නැවත රාජ්‍යයේ වපසරියට සියලු ක්ෂේත්‍ර පත් කිරීම නොව ටාටලාගේ වර්ගයේ නිෂ්පාදන ධනවතුන් (Industrialist-Capitalist) අැතිවන පරිදි වෙළෙඳපොළ කළමනාකරණය කිරීමයි.

දැන් මේ විවෘත වෙළෙඳපොළ ක්‍රමය යටතේ මෙරට කෘෂිකර්මාන්තය සහ එයට අයත් ක්ෂේත්‍ර ගණනාවක්ම වර්ධනය වී ඇති බව අප තේරුම් ගත යුත්තේ ඉහත සඳහන් වෙළෙඳපොළ තර්කය මත පදනම් වෙමින්ය. මෙරට වී මිලදී ගැනීම, සහල් නිෂ්පාදනය සහ බෙදාහැරීම යන පැති ගණනාවකින් පෞද්ගලික අංශයේ නිෂ්පාදනාගාර සහ ආයෝජකයන් බිහිවෙන්නේ මේ තත්ත්වය තුළ වන අතර අප මුලින්ම පිළිගත යුත්තේ සහල් මෝල් හිමියකු වීම යනු ‘වැරැදි වැඩක්’ නොවන බවයි. මේ ක්ෂේත්‍රයට ආයෝජන ලැබීම හේතුවෙන් අද වනවිට සහල් ව්‍යාපාරය ඉතාමත් නූතන තාක්ෂණික මෙවලම් සහිත ශක්තිමත් ව්‍යවසායක ක්ෂේත්‍රයක් බවට පත්වී ඇත. 80 දශකයේ නිවෙසක සිරිය සිතට නගාගතහොත් සහල් ව්‍යාපාරයේ නවතාවයේ පහසුකම අපේ වයසේ හැමෝටම මතක් කරගත හැකි බව මගේ අදහසය.

 80 දශකයේ මුල් කාලයේ වී ටික කොටාගෙන ගෙදර ගෙන යන ඕනෑම අයකුට එහි ගල්, වැලි ඉවත් කරමින් පරිභෝජනයට සුදුසු තත්ත්වයට පත් කරන්නට දැරිය යුතු මහන්සිය විශාලය. ඒ කාලයේ බොහෝ නිවාසවල අම්මලා හවස් වරුවම ගත කරන්නේ හාල් ටිකේ ගල්, වැලි ඉවත් කරන්නටය. මා ඉහතින් සඳහන් කළ නව තාක්ෂණික මෙවලම් හරහා සහල් නිෂ්පාදනය විවෘත වෙළෙඳපොළ තුළ ආයෝජන ක්ෂේත්‍රයක් බවට පත්වීම නිසා අද වනවිට සහල් නිෂ්පාදනය හා පරිභෝජනය ඉතාමත් පහසු තැනකට පත්වී ඇත.


සහල් මිල
මෙහි ගැටලුව පැන නැගුණේ සහල් මිල සම්බන්ධවය. අපේ රටේ සහල් මිල පාලනය සඳහා සමහර කාලවල උපරිම සිල්ලර මිලක් (MRP) යනවා ඇත. එහෙත් සහල් වැනි දේශීය නිෂ්පාදනයක අග කොටසේ, එනම් පාරිභෝජකයාගේ පැත්තෙන් විකුණුම් මිල සීමා කරන්නට යන බොහෝ අවස්ථාවල ගොවියාගෙන් වී ගැනුම් මිලට එහි බලපෑමක් තිබෙන බව ද සත්‍යයක්ය. මේ දිනවල මතු වී තිබෙන එක් තර්කයක් වන්නේ රජයේ පාලන මිලට නාඩු සහල් විකුණන්නට නම් එය ගොවියාගෙන් මිලදීගත හැක්කේ කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 55ක මුදලට බවයි. එයට ගොවියෝ විරෝධය දක්වනු මේ දිනවල පෙන්නුම් කරන තවත් කාරණයකි. සරළව ගතහොත් පාරිභෝගිකයාගේ පැත්තත්, නිෂ්පාදකයාගේ පැත්තත් යන දෙපැත්තම සලකා බලමින් තුලනාත්මක මිල ක්‍රමයක් යටතේ සහල් මිල සහ වී විකුණුම් මිල තබා ගැනීම මේ මොහොතේ රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගයයි.

මේ අභියෝගය කළමනාකරණය කිරීමට රජය දරන උත්සාහයට සහාය වීම සහල් වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ වගකීම බව ද පැවැසීම අත්‍යවශ්‍යය. නිදහස් වෙළෙඳපොළ ක්‍රමය යටතේ තම ආයෝජන හරහා ලාබයක් උපයා ගැනීමට ආයෝජකයාට අයිතියක් ඇතත් එය පාරිභෝගික පැත්තේ බරපතළ ආතතියක් ඇති කරන පරිද්දෙන් සිදු කිරීමට ගියහොත් සිදුවන්නේ අදාළ වෙළෙඳ ක්ෂේත්‍රයට මැදිහත්වීමට රජයට සිදුවීමය. අද සිදුවෙමින් පවතින්නේ එයයි.

සහල් ව්‍යාපාරයේ සිටින ප්‍රධාන මෝල් හිමියන් 4ක් සහ කුඩා හා මධ්‍යම පරිමාණයේ මෝල් හිමියන් 150ක පමණ පිරිස මෙහිදී ඉතාමත් නිවැරැදිව මේ තත්ත්වය තේරුම් ගත යුතුය. ගැනුම් මිල සහ විකුණුම් මිල අතර, වී සහල් බවට පත් කිරීමේ නිෂ්පාදන ක්‍රමවේද සඳහා වැයවන මුදලක් ඇති බව ද සත්‍යයක්ය. එසේම ආයෝජනය කරමින් මෙම ව්‍යාපාරය තුළ සිටින අයගේ ලාබය පිළිබඳ බලාපොරොත්තුවක් ද තිබෙන බව සත්‍යයකි. එහෙත් සහල් වැනි රටේ ආහාර පද්ධතියේ අත්‍යවශ්‍ය සාධකයක් සම්බන්ධව කටයුතු කිරීමේදී, ගොවියාගෙන් වී මිලදී ගන්නා මුදල, මෝල් හිමියාගේ ආයෝජනය හරහා සහල් බවට පත් කිරීමට වැය වන මුදල සහ ඔහු බලාපොරොත්තු වන ලාබය යන සංරචකයන් 3 ගැන පමණක් අවධානය යොමු කරමින් පාරිභෝගිකයාට ගෙවන්නට සිදුවන මුදල පිළිබඳව බරපතළ සැලකිල්ලක් නොදැක්වීම බරපතළ ගැටලුකාරීත්වයක් නිර්මාණය කරන බව පැහැදිලි කළ යුතුම කාරණයකි.


රජයේ කාර්යභාරය
මෙවැනි කාරණයකදී මතුවන අනෙක් වැදගත්ම ප්‍රශ්නය වන්නේ රාජ්‍යයේ කාර්යභාරය කුමක් ද යන්නයි. සමහරුන් මේ සිදුවීම හරහා මාධ්‍ය අවකාශයේ කියා සිටින්නේ රජය මැදිහත් වී සහල් මෝල් අත්පත් කරගත යුතු හෝ එහි ඇති වී ගබඩා රාජ සන්තක කළ යුතු බවයි. මේ කාලයේ පුවත්පත් සාකච්ඡා පවත්වන සමහර වාමාංශික නායකයන් පෙන්නුම් කරන්නේ සහල් වෙළෙඳාමේ සිටින සියලුම දෙනා වැරැදිකරුවන් වැනි හැඟීමක් ජනිත වන පරිද්දෙනි.

මෙවැනි තත්ත්වයකදී රාජ්‍යය කටයුතු කළ යුතු ආකාරය විසින් මේ ප්‍රශ්නයේ පැති කිහිපයම අවධානයට ලක් කළ යුතුව ඇත. එක පැත්තකින් සහල් පාරිභෝජකයන්ට සාධාරණ මිලකට සහල් මිලදී ගැනීමට අවස්ථාව සලසා දිය යුතුය. තවත් පැත්තකින් වී ගොවියන්ට සාධාරණ මිලක් ලැබෙන අවකාශය ආරක්ෂා කළ යුතුය. තුන්වෙනුව වී මෝල් හිමියන්ගේ ආයෝජනය සහ මේ ව්‍යාපාරයට ඇති අභිලාෂය ආරක්ෂා කළ යුතුය. මේ තුන් පැත්තම ආරක්ෂා වන පරිදි මිස අවුල් වන පරිදි මේ ගැටලුව සමග ගනුදෙනු කිරීමෙන් ඇති විය හැක්කේ ගැටලුකාරීත්වයක්ය. නිදර්ශනයක් ලෙසින් සමහර වාමාංශික පිරිස් කියන ආකාරයෙන් ‘සියල්ලට හේතුව වී මෝල්කාරයෝ’ යැයි කල්පනා කරමින් ඔවුන්ගේ ව්‍යාපාරික සම්පත් සහ ඔවුන්ගේ ව්‍යාපාරික අභිලාෂයන් විනාශ වන පරිදි කටයුතු සංවිධානය වුවහොත් ඉදිරි මාස කිහිපය තුළ අනවශ්‍ය සහල් ඌනතාවකට ගමන් කිරීමේ අනතුරක් ද පවතින බව මගේ අදහසයි. සහල් පිළිබඳ කතිකාව තුළින් ද යළිත් වරක් සමහරුන් වෙතින් මතු වන්නේ 1970 කාලයේ මෙන් සියල්ලම ආණ්ඩුවෙන් කළ යුතු යැයි සැලකෙන තර්කයයි. මේ බරපතළ රාජ්‍ය කේන්ද්‍රීයවාදය නිසා සමහරුන් සිතන්නේ වී මෝල් ඒකාධිකාරිය කඩන්නට නම් මෝල් ටික රාජසන්තක කර හෝ ආණ්ඩුව වී කොටන්නට වුවත් යා යුතුවා වැනි දේවල්ය.

අපේ රටේ වෙළෙඳපොළ ධනවාදයේ ගැටලුකාරීත්වයක් ඇති බව (මා මීට පෙර සඳහන් කළාක් මෙන්) සැබෑවක්ය. එහෙත් එයට විසඳුම 70 දශකයේ මෙන් සියලු නිෂ්පාදන කරන්නට ආණ්ඩුව/ රාජ්‍යය ගමන් කිරීම නොවේ. මේ සහල් පිළිබඳ ප්‍රශ්නය විසඳිය යුත්තේ මා ඉහතින් සඳහන් කළ ආකාරයෙන් පාර්ශ්ව කිහිපයම (පාරිභෝගිකයා, ගොවියා සහ වී මෝල් හිමියා) ආරක්ෂා වන පරිදිය.

පසුගිය සතියේ කිවිදා දැක්මෙන් ධම්ම දිසානායක මිතුරා දීර්ඝ විස්තරයක් කරමින් කියා තිබුණේ, ‘1956 දේශපාලන අයිතිය හැමෝටම ලැබුණාට දේශපාලන නිදහස ලැබුණේ නැති බවය. 1977 ආර්ථික අයිතිය හැමෝටම ලැබුණාට ආර්ථික නිදහස ලැබුණේ නැති බවය’ (අවධාරණය මගේ). දේශපාලනමය හෝ ආර්ථිකමය හෝ අයිතිය ලැබීම යනු ඒ දෙඅංශයේම නිදහස් ජීවිතයක් ආරම්භ කිරීමට ඉඩ සැලසීමය. ඒ ගමන් මගේ ඉදිරියට යන ව්‍යවසායකයන් අඩපණ කරන්නට රාජ්‍යය යොදාගත් පරණ ආකෘතිය යළිත් යෝජනා කිරීමෙන් සිදුවන්නේ ඒ අයිතිය නිමා වීම මිස ඉදිරියට යාම නොවන බව මගේ කිවිදා දැක්මය.

(*** මහාචාර්ය චරිත හේරත්)

 



Recommended Articles