හොර දොස්තරලාගෙන් රෝගීන් බේරාගන්න බැරිද?


අප රටේ ජනයා කවර කලෙක කළ පාපකර්මයක් ගෙවා දමමින් සිටින්නේදැයි සිතා ගත නොහැකි තරම්ය. නයන පිනවන මේ රන් දිවයිනේ ඉපදීම සම්බන්ධයෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් විය හැකි පුවතක් අසන්නට ලැබෙන්නේ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දෙස බලන්නාක් මෙනි. නිරතුරුව අසන්නට දකින්නට ලැබෙන්නේ සිත දොම්නසින් පුරවන අපගේ ජීවිතවල හෙට දවස සම්බන්ධයෙන් භීතිය උපදවන සුළු පුවත්ය. එබඳු පුවත් එකක් පසුපස එකක් වශයෙන් වාර්තාවීම කිසි ලෙසකින්  හෝ ඛේදවාචකයකින් වෙනස් නොවන්නකි.

ආරෝග්‍යා පරමා ලාභා යනුවෙන් නිරෝගී බව පරම ලාභයකැයි බුදු බණෙහි සඳහන්ය. ඒකාන්ත සත්‍යයකි. එහෙත් අප රටෙහි ජනයාට ඒ භාග්‍යය අහිමිව බොහෝ කල්ය. එක් අතකින් අත්‍යවශ්‍ය ඖෂධ හිඟයකි. තියෙන ඖෂධ ගිනි ගණන්ය. වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල රට හැර ගොසින්ය. වෛද්‍ය උපකරණවල හිඟය අතිමහත්ය. තියෙන උපකරණ අබලන්ය. ඒ අතරවාරයේ බාල ඖෂධ ජාවාරම ඉහළ සිට පහළට සිදු කෙරේ. මෙහෙව් රටක නිරෝගී බව සැබැවින්ම පරම භාග්‍යයකි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උපුටා දක්වමින් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ පුවතකින් කියැවුණේ රට පුරා විවිධ ප්‍රදේශවල වෛද්‍යවරුන් ලෙස ව්‍යාජව පෙනී සිටින පුද්ගලයන් හතළිස් දහසක් පමණ සිටින බව සමීක්ෂණවල දී හෙළිදරව්වී ඇති බවය.

වෛද්‍යවරුන් ලෙස ව්‍යාජව පෙනී සිටින මෙම පුද්ගලයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා රෝගී ජනතාවගේ ජීවිත පවා අවදානමට ලක්වී ඇතැයි ද ගබ්සා සහ බරපතළ සංකූලතා සහිත  රෝගී තත්ව ආදියට පවා මෙම වෛද්‍යවරුන් ලෙස ව්‍යාජව පෙනී සිටින පුද්ගලයන් ප්‍රතිකාර කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළ බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

අත්උදව්කරු ඉතා කෙටි කලකින් ‘බාස්’ බවට පත්වේ. කොන්දොස්තර  තැන ඉතා ඉක්මනින් රියැදුරු බවට පත්වේ. ඩිස්පැන්සරියක සුළු සුළු වැඩ සඳහා ගිය අයකුට එම වැඩ අල්ලාගත් පසු ඉතා පහසුවෙන් වෛද්‍යවරයකු බවට පත්විය හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ වෙද නළාවක් සොයා ගැනීම පමණි. විචාර බුද්ධිය එයට හිමි මාත්‍රාවෙන් නොගන්නා පුරවැසියෝ තම ජීවිතවලට මාරක අනතුරු ළංකර ගනිති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ රටේ පවතින ආර්ථික අර්බුදය සහ දරිද්‍රතාව හමුවේ අසරණ රෝගී ජනතාව ද මෙම ව්‍යාජ ලෙස පෙනී සිටින දොස්තරලා වෙත යොමුවීම ඉහළ යමින් තිබෙන බවය. එමෙන්ම මෙම පිරිස් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලපාන පනත් කිහිපයක් පැවතිය ද ඒ සියල්ලේම ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිවීම නිසා තත්වය බරපතළ වී ඇති බවය.

ව්‍යාජ වෛද්‍යවරුන් වැටළීමේ දී සෞඛ්‍ය අංශ පමණක් නොව ශ්‍රී ලංකා පොලිසිය ද සම්බන්ධ විය යුතු අතර ප්‍රායෝගික ගැටලු ගණනාවක් නිසා මෙම වැටලීම් සාර්ථක සහ සැලසුම්සහගතව ක්‍රියාත්මක නොවන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා අවධාරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමය අනාවරණය කළ කරුණු සරලව ගෙන බැහැර නොකළ යුතුය. මේ වූ කලී අප රටේ පුරවැසියන් හා ජීවත්වීමේ අයිතිය සමඟ ඍජුවම හා තීරණාත්මක ලෙස ගැට ගැසුණු තත්වයකි. එහෙයින් ප්‍රශ්නයේ බරපතළකම තේරුම්ගෙන අවශ්‍ය අවධානය යොමු කර කළ - මනා කටයුතු පමාවකින් තොරව සිදු කිරීම බලධාරීන්ගේ වගකීමය.

(***)