සමාජය බියගන්වන කුරිරු අපරාධකරුවන් දඬුකඳේ ගහමු


මේ වසරේ අද (29) ගෙවී ගියේ දෙවැනි මාසයයි. දින වශයෙන් ගණන් තැබුවොත් 60කි. මේ දින 60ට රටේ විවිධ ප්‍රදේශවල වෙඩි තැබීම්වලින් සිදුව ඇති ඝාතන සංඛ්‍යාව 14ක් වන අතර තවත් හය දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටිති. මෙසේ 14 දෙනෙකු මරාගෙන තවත් 06 දෙනකු රෝහල්ගත කිරීමට වෙඩි ප්‍රහාර 20ක් යොදාගෙන තිබෙන බවද පොලිස් ආරංචි මාර්ග පසුගියදා හෙළි කළේය.

පොලීසියේ තොරතුරු අනුව මෙම වෙඩි තැබීම් සහ ඝාතනවලට ප්‍රතිවිරුද්ධ කල්ලි අතර ගැටුම් හේතු වී තිබේ. මෙසේ මරාගෙන මැරෙන්නේ පාතාල කල්ලි සාමාජිකයන් බව පොදු පිළිගැනීමයි. එහෙත් එසේ වෙඩි උණ්ඩවලින් සිදුකරගන්නා බිහිසුණු පළිගැනීම් මෙරට සමාජය  භීතියෙන් තැතිගන්වා තිබේ. රටේ නීතිගරුක පුරවැසියන්ටද  නිවී සැනසිල්ලේ සිය නිවෙස්වලට වී ගත කරන ජීවිත සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිත  බවක් මේ තුවක්කු සංස්කෘතිය මගින් ඔවුන්ගේ සිත් තුළ ඇති කර තිබේ. එය රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද ඇතිකර තිබෙන්නේ බරපතළ ගැටලුවකි.

මේ මිනීමැරුම් අතරේ රටේම අවධානය දිනාගත් ඇසූ දුටු සියලු දෙනාගේ හදවත් කම්පා කළ මිනීමැරුමක් වාර්තා වූයේ ඇල්පිටිය පොලිස් වසමෙනි. කුරා කුහුඹුවකුටවත් කිසිදු වරදක් සිදු නොකළ රාජකාරිය අකුරට ම ඉටුකළ රජයේ ඉතා වැදගත් තනතුරක් හෙබවූ කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතා ඔහුගේ නිවෙස තුළදීම වෙඩි තබා ඝාතනය කිරීම එම සිද්ධියයි. යහපත් නිලධාරියකු වශයෙන් ප්‍රදේශයේ නමක් දිනා සිටි  ඒ මහතා  ඝාතනය කර තිබුණේ තම පස් හැවිරිදි පුංචි පුතු ඉදිරියේදීම වීම අහස පොළොව නූසුලන අපරාධයකි. එම දරුවා තම දෑස් ඉදිරිපිට  තම පියාට වෙඩි තබනු දැක පවසන ඉතා අනුවේදනීය කතාව අසන දකින කිසිවකුටත් නෙතට කඳුළක් ඉනීම නවතාගත නොහැකි විය. මේ තරම් දරුණු අපරාධයකට පැමිණි ඝාතකයන් මිනිසුන් වශයෙන් හැඳින්වීම මිනිස්කමටත් සිදුකරන නිගාවකි.

පොලීසිය ප්‍රකාශ කර ඇති පරිදි මේ ඝාතනයට පාතාලයේ සම්බන්ධයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නැත. එය පාතාල ඝාතන රැල්ලෙන් මිදී තිබුණත් නීතිගරුක පුරවැසියකුට රජයේ සේවකයකුට තැබූ මේ වෙඩි පහර මෙරට නීතිගරුක ජන සමාජයටම එල්ල කරන ලද වෙඩි පහරක් වශයෙන් සැලකිය යුතුය. ඔහු මෙලෙස අමානුෂික ඝාතනයට ලක්වූයේ තම රාජකාරිය අකුරට ම ඉටු කිරිමේ ‘වරද’ දැයි වහාම සොයා බැලීමට පොලිසිය ක්‍රියාත්මක විය යුතුය. හොරකම, වංචාව සහ දූෂණය පිරී ඉතිරී ගිය ජන සමාජයක රාජකාරිය හරියට ඉටුකිරීම‘වරදක්’ වීම විශ්මයට හේතුවක් නොවේ. එසේ රාජකාරිය ඉටුකිරීමේ දී එයින් අගතියට පත් පාර්ශ්වයක් පාතාලයේ කුලී මිනීමරුවන් යොදවා මේ අපරාධය  සිදුකර ඇති බවට සැකයක් ද තිබෙන බවත් සඳහන්ය. හැකි ඉක්මනින් ඝාතකයන් කොටුකර ගැනීමටත් ඉන්පසුව අප්‍රමාදව ඒ පසුපස සිටි සැබෑ ඝාතකයාට හෝ ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමටත් පොලීසිය වගබලා ගත යුතුය. මෙවැනි අපරාධයකට යළිත් වරක් ඉඩක් තැබිය යුතු නැත.

අප එසේ කියන්නේ පාතාල කල්ලි මෙහෙයවීමෙන් සිදු කෙරෙන සංවිධනාත්මක අපරාධ සහ මිනීමරා ගැනීම් නැවැත්වීම පහසු කටයුත්තක් නොවන බැවිනි. පාතාල කල්ලි නායකයන් යැයි කියා ගන්නා අපරාධකරුවන් ඝාතනය  වූ විට හතු පිපෙන්නාක් මෙන් තවත් පිරිස් බිහිවෙන බැවිනි. එසේම පාතාල කල්ලි මෙහෙයවන ‘‘ගෝඩ් ෆාදර්’’ලා බලයේ සිටින දේශපාලන බලවතුන් සමග සමීප සබඳතා පවත්වන බවද සුප්‍රකට රහසකි. මේ සම්බන්ධතාව හරහා මොන තරම් අපරාධ සිදුකළත් පාතාල කෙරුමෝ නීතියෙන් ගැලවෙති. කුලී මිනීමරුවන් පමණක් දඬුවම් ලබා කාලයක් සිරගතවී සිට ආපසු පැමිණ පැරණි අලුගෝසු රස්සාව ම කරති. පාතාලයත් දේශපාලනයත් අතර සබඳතා පවතින තුරු ‘‘යුක්තිය’’ මෙහෙයුම් කොතරම් ක්‍රියාත්මක කළත් සැබෑ වරදකරුවන් කොටු කරගැනීම  මිරිඟුවක් පමණි.

මේ රටේ අපරාධ රැල්ල තුරන් කර දැමීම පහසු කටයුත්තක් නොවුණත් කරන්දෙණිය පී.එච්.අයි. මහතාගේ ඝාතනය වැනි අපරාධ   නැති කර දැමීමට හෝ පොලිසිය උපරිම බලය යොදා ක්‍රියා කිරීම අවශ්‍ය බව අපි සිතමු.  එහිදී කිසිදු බලපෑමකට පොලිසිය යට නොවන තරමට  එම කාර්යය ඉටුකර ගැනීම පහසුවනු ඇත.

(***)