රට වසාදැමීම වගේම රටේ ආර්ථිකයත් බලමු


ලොව මහා බලවතුන්ට පවා ආණ්ඩු මට්ටු කරගත නොහැකි වූ කොරෝනා වසංගතය විසින් අප රටට කරනු ලැබ ඇති හදිය සුළුපටු නොවේ. ලෝකය පුරා මරණ ලක්ෂ 45ක් වාර්තා වෙද්දී අප රටේ මරණ ගණන අට දහසකට ආසන්නය. ලොව පුරා දිනෙන් දින වාර්තා වන රෝගීන් ගණන දස ලක්ෂ ගණනින් ඉහළ නගී. මෙම පසුබිමේ ශ්‍රී ලංකාව නැවතත් දින 10කට වසා දමා වසංගතය පාලනයට ආණ්ඩුව ගෙන යන පිළිවෙත තවත් දැඩි බවට පත් කළේය. ඒ සමග ජාතිය අමතා කතා කළ ජනාධිපතිවරයා සිය කෙටි දේශනයේදී කොරෝනාව අප රටේ සමාජ දේහයට පමණක් නොව ආර්ථික දේහයට කර ඇති විපත ගැන විධිමත් අනාවරණයක් කරනු ලැබීය.

පසුගිය කාලය පුරාම රට වසා දමනවාද, විවෘතකර තබා ගන්නවාද යන්න බරපතළ විවාදයට තුඩුදුන් කරුණක් විය. මෙයට පෙර වාර 10ක් පමණ රට වසා දැමීම හෝ දැඩි සංචරණ සීමා හෝ ක්‍රියාත්මක කිරීම කරනු ලැබීය. අප්‍රේල් සිංහල අවුරුදු කාලයෙන් අනතුරුව එළැඹි නිවාඩු සමයේත් ජනතාව හැසිරුණු ආකාරය නිසා රට විපත්තියේ දොරටුවට තල්ලු‍ විය. කෙසේ හෝ මෙම තත්ත්වයට වගකිව යුත්තේ ආණ්ඩුවද ජනතාවද කියා තර්ක විතර්ක කර සිටීම දැන් කළ යුත්තක් නොවේ. තත්ත්වය ඒ තරමටම බරපතළය. ජනාධිපතිවරයා සිය දේශනය මගින් අවධාරණය කරන ලද ඇතැම් සංඛ්‍යා දත්ත විභාග කර බලන විට අද අප සිටින තැන ගැන ඇතිවන්නේ සාධාරණ බියකි.

රට හොඳ කාලයේ අපේ ඇඟලු‍ම් අලෙවියෙන් ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් ශ්‍රී ලංකාව ලද වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 5කි. එම ගණනින් භාගයක් අමුද්‍රව්‍ය සඳහා නැවත පිටරටවලටම යයි. එසේම වසරකට සංචාරක ව්‍යාපාරයෙන් ලද ආදායමද ඩොලර් බිලියන 5ක් පමණ විය. අද සංචාරක ආදායම වාර්තාගත නොවන තරම්ය. කලකට පසු පසුගියදා සංචාරකයන් 200ක් පමණ මෙරටට පැමිණි බව පමණක් වාර්තා විය. සංචාරක ව්‍යාපාරය ඇඟලු‍ම් කර්මාන්තය යන ප්‍රධාන ක්ෂේත්‍ර දෙකට අමතරව විදේශගත ශ්‍රමිකයන්ගෙන් වාර්ෂිකව ලැබෙන ඩොලර් බිලියන 7.5ක පමණ ආදායමද අඩුවී ඇත. මන්ද එම රටවල් බොහෝ විදේශිකයන්ගේ රැකියා කප්පාදුවට ලක්කර ඇති බැවිනි. මෙලෙස විදේශ ආදායම අහිමි වනවිට ආර්ථිකය දැඩි සිරවීමකට ලක්වෙයි. එහෙත් අප රට විසින් වාර්ෂිකව ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් බිලියන 5කට ආසන්න ණය හා පොලී මුදල් ගෙවීම අනිවාර්යයෙන් කළ යුත්තකි. ආර්ථික තත්ත්වය බැරෑරුම් වන්නේ එම ණය පියවීමට මුදල් වෙන්කිරීමත් සමඟය.

මෙබඳු දුර්වල ආර්ථික පසුබිමක් පවතිද්දී රට වසා දැමීම ප්‍රමාද කරන්නට ජනාධිපතිවරයාට සිදුවීම යුක්තිසහගත බව ආණ්ඩුවේ මතයයි. ආර්ථිකය පවත්වාගෙන යනවාද ජනතාව ජීවත් කරවනවාද යන අති සංවේදී ප්‍රශ්නයේදී ජනතාව ජීවත් කරවීම ප්‍රමුඛත්වයෙහි ලා සලකමින් මෙවරද රට වසා දැමීමට තීන්දු කෙරිණි. මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් ප්‍රමුඛ දේශපාලන පක්ෂද වෛද්‍ය සංගම්ද ඒ සඳහා කළ බලපෑම සුළුපටු නොවේ. එහෙත් මින් විපතට පත්වන දැවැන්ත සමාජ කණ්ඩාමක් සිටින බව ජනාධිපතිවරයා සිය දේශනයේදී අවධාරණය කළේය. ඒ රටේ ස්වයං රැකියා කරන්නන් හා අවිධිමත් පෞද්ගලික අංශයේ සේවක පිරිස්ය. මෙම කණ්ඩායම වැටෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යටතටය. මෙරට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 50ක් පමණ උත්පාදනය වන්නේ මෙම ක්ෂේත්‍රයෙන් බවද අමතක නොකළ යුතුය. රටේ ස්වයං රැකියා කරන ලක්ෂ 45ක් පමණ සිටිති. ත්‍රිරෝද රථ රියැදුරන්, ලොතරැයි අලෙවිකරුවන්, පදික වෙළෙඳුන්, ජංගම වෙළෙඳාම් කරන්නන්, කුඩා සිල්ලර කඩ පවත්වාගෙන යන්නන්, කුලී වැඩ කරන්නන් ආදීහු මෙම කණ්ඩායම නියෝජනය කරති. රට වසා දැමීමෙන් ඍජුවම ‘බඩේ පාර’ වදින්නේ මොවුන්ටය.

පසුගිය වර රට වසා දැමූ අවස්ථාවේදී මේ අයට මසකට රුපියල් 5000 බැගින් රජයෙන් සහනාධාරයක් හිමිවිය. වට ගණනාවක් එම ආධාරය ලබාදුණි. ඊට ආණ්ඩුව රුපියල් බිලියන 30ක් පමණ වැයකළ බව ජනාධිපතිවරයා සඳහන් කළේ සියලු‍ අර්බුද අතර සහනාධාර අවශ්‍ය අයට එම ආධාර පිරිනමමින් රැකබලා ගත් ආකාරය පෙන්වා දීමටය. දැන් පවත්නා ඉතා දුර්වල ආර්ථික තත්ත්වය යටතේ වුවද එබඳු සහන අවශ්‍ය අයට රු. 2000ක ආධාරයක් ලබාදෙන බව නිවේදනය කර ඇත. ඊට රුපියල් කෝටි 350ක් වැයවේ. ඒ අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ රට වසා දමන එක් දිනකට අපේ දළ ජාතික නිෂ්පාදිතයට අහිමිවන ආදායම රු. බිලියන 15ක් පමණ වන බවකි. එය අතිශය බරපතළ ආර්ථික අවදානමක රතු එළි දල්වන කතාවක් බව අමුතුවෙන් කිවයුතු නැත.

රාජ්‍ය ආදායම අහිමිවෙද්දී සහනාධාර වැඩි කිරීම කළ හැක්කේ කෙසේද යන ප්‍රශ්නයට ඇති එකම පිළිතුර ණය ලබාගැනීම පමණි. අපේ දෙස් විදෙස් ණය කන්ද ‘නහය ළඟටම’ පිරී තිබියදී තව තවත් ණය ගැනීම තිබෙන අර්බුද දෙගුණ තෙගුණ කර ගැනීමකි. ඒ අතර රට වසා දමන්න යැයි ඝෝෂා කළ ඇතැම් පිරිස් නිරෝධායන ඇඳිරි නීතිය මධ්‍යයේත් ඇඟලු‍ම් කර්මාන්තය පවා වසා දැමිය යුතු යැයි යෝජනා කරති. එසේ වුවහොත් දැනට අප රටට ලැබී තිබෙන ඇඟලු‍ම් ඇණවුම් බංග්ලාදේශය හෝ වියට්නාමය ඩැහැගනු ඇත. එයින් රජය අපේක්ෂිත විශාල විදේශ විනිමය ආදායමක් අහිමිවෙයි. එය යාචකයාගේ මඩිස්සලයට තට්ටු වීමක් හා සමානය. එසේ වුවද රටට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාගන්නට මුදල් වැය කළ යුතුය. මේ වනවිට රටේ වාර්ෂික අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12කි.

ආනයන වියදම ඩොලර් බිලියන 20කි. වෙළෙඳ පරතරය ඩොලර් බිලියන 8ක් තරම් විශාල ගණනකි.
අප තේරුම් ගත යුත්තේ මෙම යථාර්ථයයි. එබැවින් ජනාධිපතිවරයා සිය දෙසුමේදී අවධාරණය කළ පරිදි කොරෝනාවට ලොවම දැනට පිළිගෙන තිබෙන එකම විසඳුම වන එන්නත්කරණයට දායකවීම සැමගේ යුතුකමයි. මෙම විපත ගැන විවිධ අර්ථකථන තර්ක විතර්ක තිබිය හැක. ඒවා පසෙක තබමු. මේ සිහිනුවණින් කටයුතු කළ යුතු කාලයකි.

(***)