මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු


දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ගත කළේය.  කොළඹින් දුර බැහැර වෙසෙන්නේ නම් දුම්රියෙන් හෝ බසයෙන් කොළඹ පැමිණ මන්ත්‍රීන්ගේ නේවාසිකාගාරය වූ ශ්‍රාවස්ත්‍රියේ නතරව පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වී පැමිණි ආකාරයෙන්ම යළි ගමට ගියේය. අවංක බව සාඩම්බර පළඳනාවක්ව පැළඳි එම මහජන නියෝජිතයාට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නොවීය. මෙකල මෙන් එදා රථගායක්ද නොවිණි.

කාලය වේගයෙන් ගලාගොස් ඇත්තේ බොහෝ දෑ උඩු යටිකුරු කරමිනි. දේශපාලනඥයා  මහජන ධනය සොරාකන චෞර කප්පිත්තකුගේ භූමිකාවට සීරු මාරු විය. දේශපාලනයද ගරු සේවයෙන් ඉවත්ව බඩරස්සාවක් බවට පත්විය. ඉන්දියන් සාගරයේ මුතු ඇටය බංකොලොත් රටක් ලෙස නිමක් නැති අවමන් විඳින රටක් බවට පත්ව ඇත්තේ එහි තාර්කික ප්‍රතිඵලයක් ලෙසය.

අප පුවත්පත ඊයේ සිට මුල් පුවත ලෙස වාර්තා කළ ප්‍රවෘත්තියෙන් කියැවුණේ මැති ඇමතිවරුන්ට නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකි නම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාගෙන් සහ රජයේ ප්‍රධානින්ගෙන් නැවත වරක් ඉල්ලීමක් කර ඇති බවය. මේ අනුව මෙම කාරණය පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී ඉදිරි දිනවලදී සාකච්ඡා කිරීමට මන්ත්‍රීවරුන් පිරිසක් බලාපොරොත්තු වන බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ අපේක්ෂකයකුට මුළු දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මැතිවරණ ප්‍රචාරණ කටයුතු කිරීමට සිදුවෙයි. එය අතිමහත් ධනයක් වියදම් කිරීමට සිදුවන්නකි. ඒ සා විශාල මහ ධන නිධානයක් විය පැහැදම් කර මන්ත්‍රී ධුරයට පත්වන ගරු කටයුතු මහජන නියෝජිතයාට පළමුව සිදුවන්නේ විය පැහැදම් කළ ධනය සොයා ගැනීමටය. ඊළඟ මැතිවරණයටද මුදල් සොයා ගත යුතුය. ඒ වෙනුවෙන් එක්කෝ ඔහු මහජන මුදල් සොරා කෑ යුතුය. නැතහොත් කුඩු ජාවාරම් කරුවන් ඇතුළු සියලු පන්නයේ සමාජ විරෝධී ක්‍රියා කරන්නන්ගේ වහලෙකු බවට පත්විය යුතුය.

රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා වාහනයක් මිලදී ගැනීමට හැකි තීරු බදු රහිත වාහන බලපත්‍රයක් සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම හිමිවිය. එහෙත් රටේ පැවැති අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ මීට වසර නවයකට පමණ පෙර එම වාහන බලපත්‍රය නිකුත් කිරීම අත්හිටුවනු ලැබීය. අවසන් වරට බලපත්‍රය නිකුත් කර තිබෙන්නේ 2015 වසරේදීය.

අප ප්‍රවෘත්තියට අනුව එකම වාහනයක් හෝ නොමැති නවක මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම පාර්ලිමේන්තුවේ සිටිති. මැති ඇමැතිවරුන්ට රාජකාරි කටයුතු සඳහා සුදුසු වාහනයක් අවශ්‍යය. එය ඒකාන්ත සත්‍යයකි. එහෙත් දේශපාලන සංස්කෘතිය පිරිහී යාමේ ප්‍රමාණයට අනුව වාහනයක් යනු මැති ඇමැතිවරුන්ගේ අධි සුඛෝපභෝගී ජීවිතයේ විලාසිතාවක් බවට පත්විය. පෙර ගමන් රථ, පසු ගමන් රථ නොමැතිව සිය උපන් ගමේ පවා සංචාරය කිරීමේ මේනියාවක් ඇතැම් මැති ඇමතිවරුන්ට ඇතිවී තිබේ.

මීට අමතරව මන්ත්‍රීවරුන් රැසක් තමන්ගේ පවුල්වල සාමාජිකයන්ටද රක්ෂණ රැකවරණය දෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවද අප පුවත්පත වාර්තා කළේය. රක්ෂණ රැකවරණය මෙතෙක් ලැබෙන්නේ මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර සෑම මන්ත්‍රීවරයකුටම වාර්ෂිකව හිමිවන රක්ෂණ ආවරණයේ වටිනාකම රුපියල් ලක්ෂ 10ක් බවද වාර්තා කළ අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් වූයේ යම් කිසි මුදලක් තමන්ගෙන් කපාගෙන හෝ පවුලේ සාමාජිකයන්ටද රක්ෂණ ආවරණය ලබාදෙන්නැයි ඔවුන් ඉල්ලීම් කර ඇති බවය. රටේ ප්‍රශ්න, ජනතාවගේ ප්‍රශ්නවලට වඩා මහජන නියෝජිතයන්ගේ ප්‍රශ්න බරපතළ වී ඇති බව පෙනේ. එහෙයින් සියලු ප්‍රශ්න පසෙකලා එම ප්‍රශ්න විසඳීමට පියවර ගැනීමට සිදුවී ඇති සෙයකි.

තීරු බදු රහිත වාහන බලපත්‍රය නිකුත් කිරීම අත්හිටුවා තිබෙන්නේ රටේ ආර්ථික අර්බුදය නිසාය. මෙම ආර්ථික අර්බුදයේ බරපතළකම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැඳින්වූයේ “වැල් පාලමෙන්” එතෙරවීම ලෙසය. මහජනයා සිටින්නේ වේලක් කෑ පසු ඊළඟ වේල කන්නේ කෙසේදැයි සිතමිනි. එහෙයින් තීරු බදු රහිත වාහන ඉල්ලන ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරුන් කළයුතු වන්නේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගැනීමට කළමනා කටයුතු සම්පාදනය කිරීමය.

(***)