බුද්ධි තොරතුරු කෙරෙහි නිසි සැලකිල්ලක් දක්වමු


කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට කිසියම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි සඳහන් කරමින් ලැබුණු ඊමේල් පණිවුඩයක් හේතුවෙන් එම ගුවන් තොටුපොළේ සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආරක්ෂාව තර කර තිබේ. මෙම හෝඩුවාව තහවුරු කළ එකක් නුවූවද පූර්ව ආරක්ෂක පියවරක් ලෙස එම පියවර ගත් බව අපගේ ලංකාදීප පුවත්පතට පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු ප්‍රකාශ කර තිබිණි.

ගුවන් තොටුපොළට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරක් ලැබීමට දින ගණනාවකට පෙර නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිළියක තිබී අත් බෝම්බයක් හමු විය. එම බෝම්බය රැගෙන ආ බවට සැක කෙරෙන ඉදිකිරීම් සමාගමක සේවකයෙක් පසුව අත්අඩංගුවට ගනු ලැබීය. එම සැකකරු ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු බවද ඔහු එම රෝහලේ භූමියේ ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධවීමට කොළඹට පැමිණ ඇත්තේ දින 12කට පෙර බවද කොළඹ අපරාධ කොට්ඨාසය හෙළි කර තිබිණි. එම සැකකරුගේ සහෝදරියක එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරිනියකව සිටි බවට තොරතුරක් ලැබී ඇති බවද සඳහන් වෙයි.

මේ අතර කොඩිකාමම් ප්‍රදේශයේ වත්තක ළඳු කැලෑවක තිබී කිලෝ 15ක් පමණ බරැති පීඩන බෝම්බයක් සහ ක්ලේමෝ බෝම්බයක් පෙරේදා සොයාගත් බව වාර්තාවිය.

බෝම්බ පුපුරා යාම් සහ ගුවන් තොටුපොළවලට ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අතීතයක් අපට තිබිණි. එය දශක තුනක් යුද්ධයක් දක්වා දිව ගියේ අප කාටත් නොදැනීමය. ඊමේල් පණිවුඩ, බෝම්බ සොයන උපකරණ, හදිසියේ එල්ල වන ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ දැනුමක් නොතිබූ අවධියකින් එම යුද්ධයේ ආරම්භය සිදුවෙද්දී මේ ආකාරයේම පූර්ව අනතුරු ඇඟවීම් සිදුවිය. සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම මෙන්ම තැන තැන අටවා තිබූ කුඩා ප්‍රමාණයේ බෝම්බ පුපුරා යාම්ද සිදුවිය. ඒ වනවිට උතුරේ තැන තැන අවි ගත් කල්ලි මගින් මිනිස් ඝාතනද ඇරඹී තිබිණි. අවසානයේ මහා යුද්ධයක් දක්වා ත්‍රස්ත ක්‍රියා පරිවර්තනය වූයේ එම මග සලකුණු ඔස්සේය.

නාරාහේන්පිට රෝහල් භූමියකින් අත් බෝම්බයක් හමුවීම සහ ගුවන් තොටුපොළට එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ ඊ මේල් ලැබීම එවැනි මහා යුද්ධයක පෙර නිමිති විය හැකි යැයි අප කලබල විය යුතු නැත. එහෙත් එවැනි සිදුවීම් පිළිබඳ කිසිම සැලකිල්ලක් නොදක්වා කටයුතු කිරීමද සුදුසු නැත. එය අවදානම අවතක්සේරු කිරීමක් බව කිව යුතුය. අප කොරහේ කිඹුලන් නොදැකිය යුතු වුවද ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි සියලු‍ තර්ජන පිළිබඳ සොයා බැලීම අනතුරට පෙර අවදානම හඳුනා ගැනීමකි. පූර්ව අනතුරු ඇඟවීම් පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීමේ විපාක පාස්කු ප්‍රහාරය මගින් මුළු රටටම කදිම පාඩමක් උගැන්වීය. ඒ බව මෙහිදී සිහිපත් කළ යුත්තේ නරක වෙලාවට මෝල් ගහත් පත්තු වීමට ඉඩ තිබෙන බැවිනි.

නාරාහේන්පිට රෝහල් භූමියේ වැඩපොළක සිටි බෝම්බය ගෙනා බවට සැක කරන තරුණයා උප්පුවේලියේ තරුණයකු වීම හේතුවෙන් ඔහු කොටියකු යැයි සිතා කටයුතු කිරීමද අවශ්‍ය නැත. එසේම මෙය එල්.ටී.ටී.ඊ.ය යළි පණ ගන්වන කුමන්ත්‍රණයක කොටසක් බවට එක්වරම අර්ථ දැක්වීමද නිෂ්ඵලය. අවශ්‍ය වන්නේ නිශ්චිත කාලයකදී පුපුරා යන ආකාරයට සූක්ෂම ලෙසට බෝම්බයක් සකස් කිරීමට තරම් උවමනාවක් එම තරුණයාට ඇතිවූයේ මන්දැයි සොයා බැලීමය. එය කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් දැයි දැනට කෙරෙන පොලිස් විමර්ශනවලදී හෙළිවනු ඇත. ඔහු පිළිබඳ සියලු‍ තොරතුරු හෙළිකර ගැනීම මේ සිද්ධියේ සැබෑ වැරදිකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමටත් එය ත්‍රස්ත කුමන්ත්‍රණයක් දැයි හරිහැටි සොයා ගැනීමටත් උපකාරී වනු ඇත.

රටේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වැනි මර්මස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බවට ඊ මේල් පණිවුඩයක් එවීම තහවුරු කළ නොහැකි ඔත්තුවක් වුවද ඒ පිළිබඳ සියලු‍ තොරතුරු හෙළි කර ගැනීමද ඉතා වැදගත් වෙයි. පාස්කු ප්‍රහාරයට පෙර එවැන්නක් සිදු කරනු ලබන බවට ලැබුණු තොරතුරු කෙරෙහි ප්‍රමාණවත් තරම් සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් අහිංසක කතෝලික බැතිමතුන් සිය ගණනකට තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ බව මෙහිදී සිහිපත් කළ යුතුය. පාස්කු ප්‍රහාරයට වසර කිහිපයකට පෙර සිටම ත්‍රස්ත ප්‍රහාරයක පෙරනිමිති පහළ විය. මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය, සහරාන්ලා අන්තවාදී මත පතුරුවා හරින බවට තොරතුරු, වවුනතිව්හිදී පොලිස් නිලධාරීන් ඝාතනය කර ගිනි අවි පැහැර ගැනීම සහ පුත්තලමේ ලැක්ටෝවත්ත ඉඩමක තිබී පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100ක් හමුවීම සහ මඩකලපුවේ මෝටර් සයිකලයක් පුපුරුවා හැරීම ඒ අතර ප්‍රධාන විය.

එහෙත් එවකට පැවැති යහපාලනය මේ කිසිදු බුද්ධි තොරතුරක් තඹේකට මායිම් කළේ නැත. බුදු පිළිම කැඩීමේ සිද්ධිය පිළිබඳ පොලිසියට තොරතුරු දුන් හිටපු ප්‍රබල ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ නිලධාරියකු හිසට වෙඩි තබා දරුණු තුවාල කළත් එම සැකකරුවන්ට එරෙහි පියවර ගැනීමට තරම් කොන්දක් එම රජයට තිබුණේ නැත. මේ සියල්ලේ ප්‍රතිඵලය පාස්කු ප්‍රහාරය විය. යළිත් එවැනි තත්ත්වයක් ඇතිකිරීමට දරන උත්සාහය මුලදීම වළක්වා ගත හැකි වන්නේ ලැබෙන බුද්ධි තොරතුරු කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීමෙන් පමණි.

යුද්ධය නිමවීමෙන් පසුව ගෙවී ගිය කාලය තුළදී උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් තරුණ තරුණියෝ විශාල සංඛ්‍යාවක් කොළඹ ඇතුළු තදාසන්න නගරවලට සංක්‍රමණය වී සිටිති. ඔවුන් බොහෝ දෙනා කුමක් හෝ රැකියාවක නිරතව සිටින අතර සමහරු ව්‍යාපාර පවත්වාගෙන යති. තවත් පිරිසක් එතෙර රැකියා බලාපොරොත්තුවෙන් තාවකාලික රැකියාවක හෝ අධ්‍යාපන කටයුත්තක හෝ නියැලී සිටිති.

එක් පුද්ගලයකු කළ වැරැද්දකට මේ සියලු‍ දෙනා සැකකරුවන් විය යුතු නැත. යුද්ධයේ විනාශයෙන් තෙම්පරාදු වී සිටින එම තරුණ තරුණියන් යළිත් එවැනි තත්ත්වයකට රට ඇදී යනවාට කැමැති වනු ඇතැයි අපි කිසිසේත් නොසිතමු. එහෙත් එසේ නොසිතන ත්‍රස්තවාදය ලෙයට එක්වූ එකකු දෙන්නකු හෝ සිටිය හැකි බවද ගින්නක් ඇවිළීමට එක ගිනි කූරක් පමණක් සෑහෙන බවද කවදාවත් අමතක කළ යුතු නැත.

(***)