ගොවි ගැටලුවලට සැබෑ විසඳුමක් ඕනෑ


උතුරු ප්‍රදේශයට මහකනදරාව වැවේ ජලය මුදාහැරීමේ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටියදී, එහි ප්‍රදේශය අවට විශාල උද්ඝෝෂණයක් පැවැත්විණි. මහකනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවීන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති එම උද්ඝෝෂණය හේතුවෙන් අනුරාධපුර රඹෑව මංසන්ධියේ නොසන්සුන් තත්වයක් ද ඇති වී යැයි මාධ්‍ය ඔස්සේ වාර්තා විය.

මහකනදරාව වැවේ ජල යෝජනා ක්‍රමය දිනකට ඝන මීටර් 6,700ක ජල ධාරිතාවක් එකී ජලාශයෙන් ලබාගැනීමට නියමිත බව ද, ජලාශවලට ජලය ලැබෙන ක්‍රමයක් ස්ථාපිත නොකර එම ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමෙන් ප්‍රදේශයේ දරු පවුල් 5,000කට වැඩි සංඛ්‍යාවකට යන එන මං නැතිව අසරණ වන බව ද එම උද්ඝෝෂණයට සහභාගි වූ ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබිණි. මේ හේතුවෙන් පානීය ජලය හිඟ වීමටත්, වී ගොවිතැනට අවශ්‍ය ජලය සපයා ගැනීමට නොහැකි වීමත් නිසා තමන්ට ජීවන අරගලයක නිරත වීමට සිදුවනු ඇතැයි උද්ඝෝෂකයන්ගේ ප්‍රකාශවල සඳහන් විය.

සංවර්ධන යෝජනා ක්‍රම රටකට අත්‍යවශ්‍යය. එවැනි යෝජනා ක්‍රමවලින් තොරව රටක් ආර්ථික දියුණුවක් කරා යොමු කරවීමට හැකියාවක් නැත. මේ බව අවබෝධ කරගත යුත්තේ දේශපාලකයන් පමණක් නොවේ. එම යෝජනා ක්‍රම ක්‍රියාත්මක ප්‍රදේශවල වෙසෙන ජනතාවට ද ඒ පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය. එවැනි යෝජනා ක්‍රම ක්‍රියාත්මක වීමේදී තාවකාලික අවශ්‍යතා සහ අසීරුකම්වලට මුහුණ දීමට ද ප්‍රදේශවාසීන්ට සිදු වෙයි. මහවැලි වැනි විශාල සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී මෙවැනිම අසීරුතාවලට මුහුණ දීමට ඒ පළාත්වල ජනතාවට සිදු විය. එහෙත්, එම යෝජනා ක්‍රම අත්හිටුවීමට සිදු නොවීය. එසේම, එම ජනතාව ද දිගටම එම අසීරුතාවලට මුහුණ නුදුන්හ.

එසේ වුව ද, මෙවැනි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේදී එහි බලපෑම්වලට හසුවන පළාත්වාසීන් ඒ පිළිබඳ දැනුවත් කිරීම ද අත්‍යවශ්‍ය කොන්දේසියකි. එහි ලොකුම වගකීම පැවැරෙන්නේ පළාතේ දේශපාලන නායකයන්ටය. ඔවුන් ජනතාව සම්බන්ධ කරගනිමින් යෝජනා ක්‍රමය පිළිබඳ දැනුවත් කර, මතු විය හැකි ප්‍රායෝගික දුෂ්කරතා සම්බන්ධව ද අවබෝධයක් ලබාදීමට කටයුතු කිරීම වඩාත් පිළිගත හැකි ක්‍රමයයි.

අනුරාධපුර මහකනදරාව වැව ප්‍රධාන ජල මූලාශ්‍රය කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන පානීය ජල ව්‍යාපෘතියේ පළමු අදියරේදී රඹෑව සහ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 25,000කට පමණ පානීය ජල අවශ්‍යතා සපුරාලන බව සඳහන්ය. එම යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ, ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතුවලට හානියක් වෙතැයි අනියත බියක් ඇති කරගත යුතු නොවන බවයි. එසේ නොවන බවට වගබලා ගන්නා බවත්, කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබාදීම මෙන්ම පානීය ජල අවශ්‍යතාව ද සපුරාලමින් එම ගැටලු දෙකම විසඳා දෙන බවටත් ජනාධිපතිවරයා පොරොන්දු වී තිබිණි.

මේ අතර, එම උද්ඝෝෂණය සංවිධාන කළ මහකනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික තුසිත සමන් මහතා ප්‍රකාශ කර තිබුණේ, ගොවීන්ගේ දැවැන්ත උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් හැටියට අවසාන මොහොතේ ජනාධිපතිවරයා තමන් ඇතුළු කණ්ඩායමකට සාකච්ඡාවක් ලබාදුන්නත්, එම සාකච්ඡාව සාර්ථක වූයේ තරමක් දුරකට පමණක් බවය. තමන්ට ලැබුණේ පැලැස්තර උත්තර බවට ද ඔහු දෝෂාරෝපණය කර තිබිණි.

මෙයින් පැහැදිලි වන්නේ, රඹෑව උද්ඝෝෂණවලට හේතු වූ මහකනදරාව ගොවීන්ගේ ගැටලුවලට තවමත් අවසන් විසඳුමක් ලැබී නොමැති බවය. විසඳුමක් නොලැබුණු විට එම උද්ඝෝෂණ යළිත් කොයි මොහොතක හෝ ක්‍රියාත්මක වීමට ඉඩ තිබේ. තමන්ගේ කුඹුරු අස්වද්දා ගැනීමට අවශ්‍ය ජලය නොලැබී ගියහොත්, ගොවීන්ගේ ඉවසීමේ සීමා පනින්නත් ඉඩ තිබේ. එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම අවශ්‍යය.

ඒ සඳහා ගොවීන් මුහුණ දී සිටින සැබෑ ගැටලු හඳුනාගෙන, ඒවාට පිළියම් යෙදීමේ අවශ්‍යතාව බලධාරීන් අවබෝධ කරගත යුතුය. ගොවීන් සැනසීමට බොරු විසඳුම් ලබාදීමෙන් මේ ගැටලු කවදාවත් විසඳාගත නොහැකි බව බලධාරීන් අවබෝධ කරගත යුතුය.

(***)