ඔන්ලයින් පනත මර්දනයට යොදනු එපා


මෙරට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බරපතළ විරෝධයකට ලක්වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත (ඔන්ලයින් පනත) වැඩි ඡන්ද 46කින් පසුගියදා සංශෝධන සහිතව සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 108ක්ද විරුද්ධව ඡන්ද 46ක්ද ප්‍රකාශ වී තිබිණි. පනත එසේ සම්මත කරගනු ලැබුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ සිදුකළ විරෝධතාවල උණුසුම මැද්දෙනි.

ඔන්ලයින් පනතට මෙතරම් ප්‍රබල විරෝධයක් ගොඩනැගුණේ එම පනතේ ඇතැම් වගන්ති දේශපාලන වශයෙන් ප්‍රතිවිරුද්ධ අදහස් දරන සමාජ කොටස්වලට එරෙහිව යොදාගනිමින් දැඩි මර්දනයක් ක්‍රියාත්මක කළ හැකි බවට නැගුණු චෝදනා හේතුවෙනි. එසේම වැරදිකරුවන්ට ලබා දෙන දඬුවම් ඉතා දරුණු බවට නැගෙන චෝදනා ද වෙයි. එහෙත් රජයේ මැති ඇමැතිවරුන්ගේ අදහස වී තිබුණේ මාර්ගගත ක්‍රම හරහා දේශපාලනඥයන්ට බරපතළ ආකාරයට මඩ ගැසීම් සිදුකෙරෙන බවය. එසේම කිසිදු නීතියකට හෝ ආචාරධර්මයකට හෝ එකඟ නොවන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගල චරිත ඝාතනය කෙරෙන බවට ද ඔවුහු චෝදනා කරති. එම විවාදයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර තිබුණේ සමාජ මාධ්‍ය හරහා පසුගිය කාලසීමාවේදී පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන ලද අවස්ථා 78,000කට අධික සංඛ්‍යාවක් සිදුව තිබූ බවය.

සමාජ මාධ්‍ය හෝ කුමන මාධ්‍යයක් හෝ යොදාගනිමින් පෞද්ගලික චරිත ඝාතන සහ මඩ ගැසීම් සිදුකිරීමට කිසිවකුටත් අයිතියක් නැත. එවැනි ක්‍රියාවලට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට අවස්ථාව තිබිය යුතුය. දැනට පවතින නීති එවැනි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තරම් ප්‍රමාණවත් බව නීතිවේදීන් ඇතුළු පිරිසක් පෙන්වා දෙති. එහෙත් ඔන්ලයින් පනතට සහාය දක්වන පිරිස් ප්‍රකාශ කරන්නේ සමාජ මාධ්‍ය හරහා සිදුකෙරෙන මඩ ගැසීම්වලට දඬුවම් කිරීමට එම නීති ප්‍රමාණවත් නැති බවය. එසේම සයිබර් අවකාශයේ කාන්තාවන්ට සහ දරුවන්ට විඳින්නට සිදුවන තර්ජනවලින් ආරක්ෂා වීම ඔන්ලයින් පනතින් සහතික කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර තිබිණි.

පසුගිය වසරේ සැප්තැම්බර් 18 වැනිදා රජය මගින් ගැසට් කරන ලද ඔන්ලයින් පනතේ එක් අරමුණක් වන්නේ වාර්ගික සහ ආගමික වෛරී සහගත ක්‍රියාවලට පෙළඹවීම් සිදුකිරීමට සමාජ මාධ්‍ය යොදාගැනීමට වැට බැඳීම බව සඳහන්ය. සමාජ විරෝධී අරමුණු සඳහා ක්‍රියාත්මක වීමටත් එවැනි ක්‍රියා සඳහා මුදල් යෙදවීම, අසත්‍ය ප්‍රචාර සිදුකිරීම හෝ ඒ වෙනුවෙන් ආධාර අනුබල දීමත් වැළැක්වීමට ඔන්ලයින් පනත යොදාගන්නා බවද සඳහන් වෙයි. එසේම මාර්ගගත ක්‍රම යොදාගනිමින් බැංකු හරහා සිදුවන බරපතළ වංචනික ක්‍රියා මැඩපැවැත්වීමටද පනත යොදාගැනීමට හැකියාව තිබේ.‍ විවිධ පුද්ගලයන්ගේ විශේෂයෙන් කාන්තාවන් සහ දරුවන්ගේ ඡායාරූප විකෘති කරමින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය විනාශ කරන අපරාධකරුවන්ට එරෙහිව ද ඔන්ලයින් පනත ක්‍රියාත්මක කළ හැකිය.

මෙහිදී පෙන්වා දිය යුත්තේ සමාජ මාධ්‍ය නියාමනය කිරීම යුගයේ අවශ්‍යතාවක් බවය. එහෙත් එම නියාමන ක්‍රමවේදය රටේ ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් දරන්නන් මර්දනය කිරීම සඳහා යොදාගැනීමෙන් වැළකිය යුතුය. අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වැළැක්විය යුතු බව සැබෑය. එහෙත් රජයේ මැති ඇමැතින්, නිලධාරීන් ඇතුළු විවිධ පුද්ගලයන් සිදුකරන දූෂිත, වංචනික ක්‍රියා ඇතුළු සොරකම් සහ අපරාධ සම්බන්ධයෙන් තොරතුරු පළකිරීමට තිබෙන නිදහස ආරක්ෂා විය යුතුය. ඔන්ලයින් පනතට එරෙහි වන පිරිස තදින්ම පෙන්වා දෙන කාරණයක් වන්නේ රජයට සම්බන්ධ පිරිස් විසින් සිදුකරනු ලබන එවැනි ක්‍රියා ජනතාවගෙන් වසන් කිරීමට මේ පනත යොදාගනු ඇති බවය. එය එසේ නොවන තැනට වගබලා ගැනීම ආණ්ඩුවේ වගකීමය.

සම්මත කළ පනතේ සඳහන් ඇතැම් කරුණු පිළිබඳ අන්තර්ජාල සේවා සපයන සමාගම් දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන්ද රජය සැලකිලිමත් වීම අවශ්‍යය. ඒ හරහා සිදුවිය හැකි ආර්ථික බලපෑම් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවිය යුතු බව ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. සමාජ මාධ්‍ය අවභාවිත කරන්නන් හේතුවෙන් අන්තර්ජාල සේවා සපයන සමාගම් වැරදිකරුවන් නොවන බවද මන්ත්‍රීවරයා පෙන්වා දී තිබිණි. එසේම ඔන්ලයින් පනත යොදාගනිමින් දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට ක්‍රියා කළහොත් එහි ප්‍රතිවිපාක රටටම අහිතකර විය හැකි බවද කිව යුතුය.

(***)