අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්


මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙසා මුළු ජීවිතයම කැප කළ ඒ.ටී. ආරියරත්න ශ්‍රීමතානෝය.

මෙරට සමාජ දේහයට අද්විතීය බලපෑමක් කළ සර්වෝදය ව්‍යාපාරය ඒ.ටී. ආරියරත්නගේ පළල් සමාජ දැක්ම ප්‍රදර්ශනය කරන්නකි.  සර්වෝදය ව්‍යාපාරය බිහි වූයේ මානව හිතවාදය, අහිංසාවාදය යන පෞරුෂ වර්ධනය පදනම් කර ගනිමිනි. අධ්‍යාපනයෙන් පමණක් ලැබෙන දැනුමෙන් පමණක් පුද්ගලයකුගේ පෞරුෂය වර්ධනය නොවන බව ගැඹුරින්ම ඇදහූ ආරියරත්න ශ්‍රීමතානෝ රටක පුරවැසියා ප්‍රායෝගික විය යුතු බව ඇදහුවේය. ඒ වෙනුවෙන් සමාජ සම්බන්ධතා නිර්මාණාත්මක විය යුතු බවත් සාමූහික විචාර බුද්ධියෙන් අනූන විය යුතු බවත් අවධාරණය කළ  එතුමා ඒ වෙනුවෙන් සර්වෝදය ව්‍යාපාරය ආරම්භ කළහ. එමගින් පණ ගැන්වුණු ශ්‍රමදාන කඳවුරු රටේ සිඟිති, තරුණ, වැඩිහිටි සියල්ලන්ගේම ජීවිතවල  අංගයක් බවට පත් වූයේ ද එහෙයිනි. සර්වෝදය ව්‍යාපාරය රටේ ගම් නගර ජනපද සිසාරා වේගයෙන් පැතිර ගියේ එබඳු ව්‍යාපාරයක අත්‍යවශ්‍ය බව වැඩි වැඩියෙන් අවධාරණය වෙමින් පැවැති පසුබිමකය. සමාජ අවශ්‍යතාව එයට හිමි ගැඹුරින් හඳුනාගෙන එයට සරිලන වැඩ පිළිවෙළක් දර්ශනයක් මත ගොඩනැගුණු සුවිසල්ම සමාජ ව්‍යාපාරයකට නිදසුනක් වේනම් ඒ සර්වෝදය මිස අන් යමක් නොවේ.

1931 වසරේ නොවැම්බර් මස 05 වැනිදා ගාල්ල උණවටුනේ දී උපත ලද එතුමා මූලික අධ්‍යාපනය ලැබුවේ ගමේ පාසලෙනි. ද්විතියික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙනි. උසස් අධ්‍යාපනය  විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙනි. ගුරුවරයකු වශයෙන් වෘත්තීය  ජීවිතය ඇරැඹුව ද බිත්ති හතරකින් වට කළ පන්ති කාමරයෙන් පිටත ලෝකය විනිවිද දැකීමට එතුමාට වුවමනා විය.

 ණය බරින් මිරිකුණු සංවර්ධනය වෙමින් පවතින රටක පුරවැසියාගේ ජීවිත සුවපත් කිරීමට නම් වසර හාර පන්සියයක් යටත් විජිතයක්ව පැවතීමෙන් උරුම වූ පරපුටු මානසිකත්වය, එනම් අනුන් මත යැපීමේ මානසිකත්වයෙන් එම පුරවැසියා මුදාගත යුතු බව ඒ.ටී. ආරියරත්නයෝ තේරුම් ගත්හ. එමෙන්ම ජාතිවාදය මෙන්ම ජාති බේදයද ආගම් බේදයද, කුල බේදය මෙන්ම දේශපාලන බේදය ද සමාජ සංවර්ධනයටත් මානව ප්‍රගමනයටත් මාරාන්තික වන හෙයින්ම එතුමාට අවැසි වූයේ සම්ප්‍රදායිකත්වයේ භූගත ගුහාවෙන් එළියට පැමිණි විශ්වීය මිනිසකු නිර්මාණය කිරීමටය. එම චේතනාවේ පාරිශුද්ධභාවය නිසාම බොහෝ දුෂ්කරතා හා අභියෝග මැද හා පහසුකම් හිඟ වටපිටාවක් තුළ වුවද සාර සුබාවට වැඩුණු වෘක්ෂයක් ලෙස සර්වෝදය නගා සිටුවීමට එතුමාට හැකිවිය.

ශ්‍රී ලංකාව ලෝකයට අයිති රටකි. එහෙයින්ම මෙම රටේ මානව සංවර්ධනය මුළු මහත් මානව  සමාජයටම බලපායි. ශ්‍රී  ලංකේය  සමාජය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම පුංචි මිනිසා ගනු ලැබූ ප්‍රයත්නය ජාත්‍යන්තර වශයෙන් ඉහළටම ඔසොවා තබමින් ඇගයීමට ලක්විය. රැමෝන් මැග්සේසේ සම්මානය, බෝඩෝයින් රාජ්‍ය සම්මානය, මහත්මා ගාන්ධි සාම ත්‍යාගය ආදි මිල කළ නොහැකි අගනා වටිනා සම්මාන රැසකින් එතුමා පිදුම් ලැබූහ.

වඩාත් වැදගත් වන්නේ යමකු ජීවත්වන කාලය නොව එම  ජීවත්වන කාලය තුළ ඔහු මානව සමාජයට සිදුකළ මෙහෙවරය. එම මෙහෙවර අනුස්මරණීය වේනම් ඔහු නෙත් පියා අවසන් ගමන් යන්නේ උපන් බිමට ණය නැති විශිෂ්ට මිනිසකු ලෙසය. ශ්‍රී ලංකා පුරවැසියකුට පිරිනමන ඉහළම සම්මානය වන හා ශ්‍රී ලංකාභිමානි සම්මානයෙන් පිදුම් ලද ඒ.ටී. ආරියරත්න නම් ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා අද දැයට සමු දෙන්නේ උපන් බිමට ණය නැති මිනිසකු ලෙසය. ලංකාදීපයේ අපි එතුමාට ‘‘නිවන් සුව’’ ප්‍රාර්ථනා කරමු. 

(***)