“බසයේ නංගීට” අයියා අහුවෙලා



කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත



මගී ප්‍රවාහන බස් රථයේදී මුණගැසුණු නාඳුනන හුරුබුහුටි නංගියා සමග කතාබහ කළ අයියා කෙනකුට දෙලොව සිහිවූ කතාවක් ගාලු‍ දිසාවේ නගරයකින් ඇසේ.
ගාල්ල, කොළඹ මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයකි. එදා මේ බස් රථය ධාවනය වූවේ ගාල්ල සිට කොළඹටය. වෙලාව දහවල්ය. ධාවනය ආරම්භ කෙරුණේ ගාල්ලේ බස් පොළෙන්ය. අයියා කෙනකු වාඩිවී සිටි ආසනයම සොයාවිත් හුරුබුහුටි නංගි කෙනෙක් වාඩි වූවාය. ඒ සමගම බස් රථය ගමන් ආරම්භ කළේය.
බස් රථය එසේ යන අතරතුර තමාගේ ආසනයේම අසුන් ගෙන සිටි අයියා සමග බලෙන්ම කතාවට ආවේ මේ හුරුබුහුටි නංගීය. නංගිගේ හුරුබුහුටි කම නිසාම අයියා ද ඊට අකමැති නොවීය. දැන් දෙන්නා හොඳ කළේය. ආගිය තොරතුරුය. මේ හුරුබුහුටි නංගීගේ හුරුබුහුටි කතා නිසාම අයියාද සිටියේ හොඳටම තොදොල්වීය.
ගිනි ගහන අව්ව නිසා බස් රථයේ සිටි මේ අයියාගේ මුහුණේ ඩාබිඳු දෙක තුනකි. අනේ අයියේ ඔයාගේ මුහුණට දාඩිය දාලානේ නංගී තොදොල් බසින් කීවාය. ඒ විතරක්ම නොව නංගී සිය ලේන්සුව අයියාට දුන්නේ අයියාගේ මුහුණේ ඩාබිදු පිහිදා ගැනීමටය. නංගී දුන්නු ලේන්සුවේ සුවඳට අයියාගේ හදවත ඇදී ගියේය. ඔහු ඕනෑකමින්ම නංගී දුන්නු ලේන්සුව නාසයට තබ තබා එහි සුවඳ ආග්‍රාහණය කෙළේය.
ගතවූයේ ටික වේලාවකි. අයියාගේ බෙල්ල නංගියාගේ කර මතය. අයියාගේ හාවක් හූවක් නැත්තේය. ඔහු නංගීගේ කරේ හොඳටම නිදිය. නංගීද ඔහුට නිදන්නට සිය කර හොඳ හැටි දුන්නාය. ඊට අවශ්‍ය පහසුකම නොපිරිහෙලා සැපයුවාය. අයියා දැන් බස් රථයේ යන්නේ දවල් හීන බල බලමිනි.
කලබලෙන් නින්දෙන් අවදි වන අයියා තමා ළඟ සිටි නංගී අතුරුදන්වී ඇති බව දුටුවේය. හිටි හැටියේම මෙවැනි තද නින්ද ගියේ ඇයිදැයි අයියා විමසිලි මත්වූවේය. ඒ සමගම පැමිණි හිසේ බර ගතියද ගැනද අයියාට සිහිවූයේය. සිය මුදල් පසුම්බිය අයියාගේ සිහියට ආවේද ඒ එක්කමය. මුදල් පසුම්බිය ද නංගී මෙන් අතුරුදන්. මේ සියල්ල සිදුවූයේ හුරුබුහුටි නංගී තමාගේ මුහුණේ දහදිය පිහින්න දුන්නු ලේන්සුවේ සුවඳ බැලීමෙන් පසුව බව සිහිවන විට අයියා අලි අමාරුවක වැටී ඇති බව සිහියට ආවාලු‍.