රජයේ කාර්යාලයක සේවය කරන මැදිවියේ පුද්ගලයකු වූ මොහු සිය නිවෙස පිහිටි ගෙවත්ත ඉතා අලංකාරවත් ලෙස පවත්වාගෙන යන අයෙකි. රාජකාරියෙන් බැහැරව සිටින සෑම අවස්ථාවකදීම වෙනත් විශේෂ හේතුවක් නොමැති නම් ඔහු සිය කාලය හා ශ්‍රමය යොදවන්නේ මෙම ගෙවත්තේ සංවර්ධන කටයුතු සඳහා ය. මේ සඳහා ඔහුට ඔහුගේ බිරිය හා දරුවන්ගෙන් ද නොමද සහයක් ලැබෙන බව ඔහු කියයි.
එළවළු, පළා වැනි කෙටිකාලීන බෝග ද පලතුරු හා විවිධ මල් වර්ග ද අලංකාර ගස් වර්ග ද මෙම ගෙවත්තෙහි පිළිවෙළකට වගාකර ඇත. මේවායෙහි පල දරන කාලයට එම ඇතැම් පල ආහාරයට ගැනීම සඳහා ගෙවත්තට එන විවිධ පක්ෂීන්ගෙන් ද අඩුවක් නැත. එය තමන්ට මෙන්ම තම පවුලේ සාමාජිකයන්ගේ සතුටට මෙන්ම මානසික සුවයට ද හේතුවක් බව ද ගෙවතු හිමියා කියයි. මේ නිසා ඔහු ගෙවත්තෙහි වගාවල පල ඇති කාලයට පමණක් නොව පල නැති කාලයට ද ගෙවත්තට පක්ෂීන් ගෙන්වා ගැනීමට ද පියවරක් ගත්තේය.
ගෙවත්තෙහි සුදුසු ස්ථානයක සකස් කළ උපකරණයක් මත තැබූ විවෘත බඳුනකට දිනපතාම පලතුරු වර්ග දමන්නට හෙතෙම පටන් ගත්තේය. මෙය ඔහු රාජකාරියට යන නොයන සෑම දිනකම දවසේ ප්‍රථම රාජකාරිය බවට පත්කර ගත්තේය. ඒ අනුව දැන් ගෙවත්තේ වගාවල පල ඇතත් නැතත් පක්ෂීන්ගෙන් ද අඩුවක් නැත.
පසුගිය දිනක ඔහු සුපුරුදු පරිදි රාජකාරියට යාමට සූදානම් වී මුළුතැන්ගෙට ගොස් බිරියගෙන් පක්ෂීන්ට දෙන පලතුරු ගැන විමසා ඇත. නමුත් කිසියම් අතපසුවීමක් නිසා බිරිය එදින සුපුරුදු පරිදි පක්ෂීන්ගේ කෑම වේලට අවශ්‍ය පලතුරු රැගෙනවිත් තිබුණේ නැත. මෙම අවස්ථාවේ දී සැමියා ඇමතූ බිරිඳ ඔයා වැඩට යන්න මම ඉක්මනට කඬේට ගිහින් මොනවත් ගෙනත් කුරුල්ලන්ට දමන්නම් යැයි පවසා ඇත. නමුත් ඔහුගේ හිතට එය හරි මදිය. ඒ නිසා ඔහු මුළුතැන්ගේ තුළ ඒ මේ අත විපරම්කරන්නට විය. එහිදී ඔහුට ඉදුණු කෙසෙල් ගෙඩියක් හමුවිය. එමගින් හිත සනසාගත් ඔහු එය ද රැගෙන ගෙවත්ත හරහා රැකියාවට යාමට නිවෙසින් පිටත් විය.
දැන් ඔහු රාජකාරියට ගොස් ය. මේ අතර ඔහුගේ බිරිය නුදුරු වෙළඳ සලකට ගොස් කෙසෙල් ඇවරියක් මිලදී ගෙන ගෙවත්තට පැමිණියාය. එසේ පැමිණි ඇය කෙසෙල් ඇවරියත් රැගෙන පක්ෂීන්ට ආහාර දමන බඳුනට එය දමන්නට ගියාය. එවිට එම බඳුනෙහි ජංගම දුරකතනයක් තිබෙනු ඇය දැක ඇත. මෙය තමාගේ සැමියාගේ ජංගම දුරකතනය බවට හඳුනා ගැනීමට ඇයට වැඩි වේලාවක් ගත නොවීය.
සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව සිතාගත නොහැකිව කල්පනා කරමින්ම ඇය දුරකතනයත් රැගෙන ගෙවත්තේ සිට නිවෙසට ගොඩවූවා පමණි ඇගේ ජංගම දුරකතනය නාදවන්නට විය. එය ඇගේ සැමියාගෙන් වූ ඇමතුමකි. ඊට වහා ප්‍රතිචාර දැක්වූ ඇය මහ හයියෙන් සිනාසෙන්නට වූවාය.
හරි වැඬේනෙ තාත්තාට අද වෙලා තියෙන්නෙ. එයා උදේ කුරුල්ලන්ට දාන්න අරගෙන ගිය කෙසෙල් ගෙඩිය කලිසම් සාක්කුවට දාගෙන පෝන් එක කුරුල්ලන්ට කන්න දෙන භාජනේ දාල ගිහින්. මවගේ සිනා හඬ ඇසී ඒ ගැන විමසූ තම වැඩිමහල් දියණිය අමතා කාන්තාව එසේ කීවාය.
(මෙය වයඹ පළාතෙන් ඇසූ සත්‍ය කතාවකි.)
(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)

