රන්සෑගොඩ - ඩී. කංකානම්ගේ
පොලිස් නිලධාරීන් ඉදිරියේ ජංගම දුරකථනයට එකවර ඇමතුම් දෙකක් ලැබීමේ අපූරු පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.
ඔහු වයස අවුරුදු 25 ක් තරම් වූ තරුණයෙකි. කුරුඳු තැලීම රැකියාව කරගත් නිසාම ඔහුගේ අතමිට වඩාත් සරු විය. ඒ නිසාම කෙළිලොල් දිවියක් ගත කිරීමට ඔහු හුරුපුරුදු වී සිටියේය.
රැකියාව නොකරන අවස්ථාවන්හිදී උපැස් යුවළක් ද පැළඳ ගනිමින් අංගසම්පූර්ණ වටිනා ඇඳුම් කට්ටලයකින් සැරසී තම යතුරුපැදියේ නලාව හඬවමින් ගමන් කරන ඔහු දුටු සියලු දෙනාගේම අවධානයට ලක්විය. තමා සතුව ප්‍රමාණවත් තරම් ධනස්කන්ධයක් ඇතැයි සිතන ඔහු සමාජයේ අනෙක් තරුණ පිරිසට වඩා ඉහළින් වැජඹෙන්නට වූයේ ඉඳහිට පොලිස් නිලධාරීන් සමඟ හීනියට අඩියක් ද ගැසීමෙනි.
දිනක් ඔහු ජැන්ඩියට හැඳ පැළඳ තම මිතුරකුගේ පින්කම් ගෙදරකට සහභාගි වීමට පිටත් විය. එහෙත් ටික දුරක් ඔහු ගමන් කිරීමේදී පොලිස් නිලධාරින් කිහිප දෙනකු මාර්ගය ඉදිරියේ රථවාහන පරීක්ෂා කරන අයුරු දුටු ඔහුට දෙවියන් සිහිවූයේ යතුරුපැදියේ බලපත්‍ර ආදී ලියැකියවිලි ගෙන ඒමට ඔහුට අමතක වූ නිසාය.
ලොකු දඩ මුදලක් ගෙවීමට සිදුවන බව සිතූ ඔහුට ගණ දෙවි නුවණ පහළ විය. ක්ෂණිකව යතුරුපැදිය මාර්ගය අයිනේ නතර කළ ඔහු තම ජංගම දුරකථනය අතට ගෙන තනිවම කතා කළේ තමාට දුරකථන ඇමතුමක් ලැබුණු බව අඟවමිනි.
විනාඩි කිහිපයක්ම ඔහු දුරකථනයේ රැඳී සිටියේ පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් ඉක්මනින්ම යාවී යැයි සිතූ බැවිනි.
සිද්ධිය දුටු පොලිස් නිලධාරීන්ට සැක පහළ වූ නිසාම ඔහු අසලට ගිය ද ඒ බවක් නොතැකූ ඔහු තනිවම කතා කරමින් සිටියේය.
පසෙකට වී දුරකථන ඇමතුම අවසන් වනතුරු බලා සිටි පොලිස් නිලධාරීන් හා තරුණයා විස්මයට පත් කරමින් ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබී දුරකථනය නාද වන්නට විය.
කිසිවක් කරකියා ගත නොහැකි වූ තරුණයා පොලිස් නිලධාරීන් දෙස බලනවාත් සමඟම එක් නිලධාරියකු ඇසුවේ ඔයා කතා කරන විට තවත් කෝල් එකක් ආවේ කොහොමද කියායි. තරුණයා ගොත ගසමින් පැවසුවේ සර් මේකෙ සිම් දෙකක් තියෙනවා, ඒක නිසයි.
එවිට පොලිස් නිලධාරියා ඇත්තද? එක සැරයට කෝල් දෙකක් එන නිසා අපටත් ඔය වගේ දුරකථන හරියට වටිනවා යැයි පවසා, අනෙක් පොලිස් නිලධාරියා අමතා සාජන්ට් මෙයාගේ යතුරුපැදියේ ලියකියැවිලි සියල්ලම සහ යතුරුපැදියත් පරීක්ෂා කරන්නැයි පැවසීය.
තරුණයා නොදැනුවත්වම දෑත හිසේ ගසාගත්තේ ගෙවීමට සිදුවන දඩ මුදල සිහිවීමෙනි.