ළිඳට වැටුණු දැරිය නිවෙසක සිට ඇවිත්


(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

නිවස අසලම පිහිටි ළිඳකට වැටුණු බව කියන නව හැවිරිදි දැරියක සොයන්නට කිහිප දෙනකුම ළිඳට බැස ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසු විදුලි මෝටර් දෙකක් යොදවා ළිඳ හිස් කර බැලුවත් දරුවා සොයා ගැනීමට නොහැකි වූ පුවතක් මීරිගම බෝතලේ ප්‍රදේශයෙන් වාර්තා විය.


මව හා පියා රැකියාවට ගිය අතරේ දියණිය නිවසේ සිට ඇත්තේ ආච්චි අම්මා සමඟය.


ඒ දෙදෙනා නින්දට ගොස් ඇත. ආච්චි නිදි අතර මිනිබිරිය නිවස ඉදිරිපිටට වී සිටියදී අසල්වැසි ඥාතියකු සමග ත්‍රිරෝදයෙන් අසල නිවසකට ගොස් ඇත. ඇය පිටව යන අවස්ථාවේ නිදාසිටි ආච්චිට ඒ බව කෑ ගසා කියා ඇත. දියණිය කෑ ගසන බව ඇසුණු ආච්චි අම්මා අවදි වී බලද්දී මිනිබිරිය දක්නට නොවීමෙන් ඇය ළිඳට වැටී ඇතැයි අනුමාන කර අසල්වාසීන්ගේ උදව් ඉල්ලා ඇත. ඒ අනුව පැමිණි ප්‍රදේශවාසීන් කිහිපදෙනකු ළිඳට බැස පරීක්ෂා කළත් දරුවා හමු වී නැත. ආච්චිගෙ ඇවිටිල්ල නිසා අසල්වාසීන් ඉක්මන් වී ළිඳ ඉසීමට කටයුතු කර ඇත්තේ ඉන් පසුවය. 


මේ අතර කිසිවකු සිද්ධිය මීරිගම පොලිසියට දැනුම් දෙනු ලැබීය. පොලිස් පිරිසක් ද එහි ගොස් ඇත්තේ ඉන් අනතුරුවය. පොලිසිය යනවිට ළිඳ ඉසිමින් පැවතිණි. අවසානයේ ළිඳේ කිසිවකුත් නැති බව පසක් විය.


දැරියට කුමක් වී දැයි සොයමින් සිටින අතරේ දියණිය අසල නිවසක සිටින බව දැනගන්නට ලැබීමෙන් පසු ආච්චි අම්මා පැවසුවේ දැන් මගේ ඇඟට ලේ ටිකක් ඉනූ බවය.