හොල්මන් ගුහාවේ යමපල්ලා යකා නටලා



රාජාංගණය - නුවන් කුමාර



හොල්මන් මන්දිරයක අපායේ යම පල්ලාට රඟපෑ අයකු සත්‍ය ලෙසම ආරූඪ වී පුද්ගලයකුට පහර දීමේ පුවතක් අනුරාධපුරයේ ගමකින් වාර්තාවේ.
වාර්තාවන ලෙස සිද්ධිය මෙසේය.
පසළොස්වක පොහොය දිනවලට සමගාමීව හොල්මන් මන්දිර පැවැත්විම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසකම වර්තමානය වන විට සුලභව සිදුවන්නකි.
ගමක තරුණයින් පිරිසක් දින 4ක් පුරා හොල්මන් මන්දිරයක් පැවැත්වීමට කතිකා කරගෙන තිබු අතර එය නැරඹීමට පැමිණෙන පිරිසගෙන් යම් මුදලක් අයකර ගැනීමටත් තීරණය කරගෙන තිබිණි. එය ආරංචි වු අල්ලපු ගමේ තරුණයින් පිරිසක්ද එම දිනවලදීම හොල්මන් මන්දිරයක් පැවැත්වීමට කටයුතු යොදා ගෙන තිබිණි.
ගම්මාන දෙකේම තරුණ පිරිස හොල්මන් මන්දිර පැවැත්වු අතර දෙපාර්ශවයම සිටියේ තරමක් විරසකවය.


එක ගමක තරුණයන් පිරිසක් අනික් ගමේ පැවැති හොල්මන් මන්දිරය නැරඹීමට පැමිණ බහින්බස් වීමක් සිදුවි අපායේ යම පල්ලාට රඟ දැක්වු අයගේ පියාට පහර දී ඇතැයි වාර්තාවේ. එය බලා සිටි යමපල්ලා තමන් සිදුකරන්නේ රඟපෑමක් යැයි අමතක කර පියාට පහර දුන් අයට ‍තම අත තිබු කටු පොල්ලෙන් පහර දි තිබේ. පහර කෑමට ලක්වී අසාධ්‍ය තත්වයෙන් පසුවු තරුණයන් කිහිප දෙනෙකු රෝහල් ගත කරන්ට සිදුවු බවද වාර්තාවේ.
අවසානයේ යම පල්ලාට රඟ පෑ අයට පොලිස් කූඩුවේ ගත කිරීමට සිදුවී ඇති අතර පහර දීම සම්බන්ධව නීති මගින් ද කටයුතු කරගෙන යන බව වාර්තාවේ.
මින්පසු කිසිම දිනක හොල්මන් මන්දිර තම ගමේ පැවැත්වීමට කිසිවකුට ඉඩ නොතබන බව එම ගමේ වැඩිහිටියෝ පවසති.