මොරගොල්ලාගම සිසිර කැලේගම
අනියම් බිරියට විවාහක බිරිය පහරදීමේ සිද්ධියක් නිසා සිය සැමියා විවාහක අඹුව ප්‍රතික්ෂේප කොට අනියම් කත රැගෙන යාමට පැමිණි පුවතක් පොල්පිතිගම මූලික රෝහලෙන් වාර්තාවේ.
විවාහක පවුල් දෙකකි. දෙපාර්ශ්වයේ අයටම දරුවෝද සිටිති. සැමියන් දෙදෙනාම රාජ්‍ය සේවාවේය. තම විවාහක බිරිය තවත් විවාහක සැමියකු සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන යන බවට ලද තොරතුරු මත සැමියකු විමසිල්ලෙන් පසුවිය.
දිනක් සැකය දුරුවිය. ඒ ඔහුගේ අතටම රංගනය අසු වූ නිසාය. හැමදාමත් එහෙම දෙයක් නැහැ කියා සැමියා රවටන බිරියට ඔහු එදින පහර පිට පහර ගැසුවේය. ඒ දැන්වත් නටන නාඩගම නවතාලන ලෙසට අවවාද කරමිනි. ඇය සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන යන බව එම සැමියාගේ විවාහක බිරියටද දැනගන්නට ලැබුණාය.
විවාහක සැමියාගෙන් පහරකා දරුවාත් වඩාගෙන මහ මඟ යන කතට යක්ෂයා ආරූඪව සිටි විවාහක කත අනියම් කතට පහර දුන්නාය.
තම සැමියාගෙන්ද, අනියම් සැමියාගේ බිරියගෙන්ද ගුටිකෑමෙන් අසරණ වූ ඇය රෝහලට පැමිණ නතරවුණේ තම දරුවාත් රැගෙනය.
ඇයට තම බිරියත් පහර දී ඇති බව ඇය සමඟ සම්බන්ධතාව පවත්වන සැමියාද දැන ගත්තේය.
මත් වතුර තොල ගෑ ඔහු තම විවාහක බිරිය ප්‍රතික්ෂේප කළේ ය. ඔහු අනියම් රෝහලේ සිටින බිරිය කැඳවාගෙන යාමට රෝහලට පැමිණියේය.
අවේලාවේ රෝහලේ වාට්ටුවලට ඇතුළත් වීමට අවසර නැත. පදම ඉක්මවා සිටි ඔහු රෝහලේ ආරක්ෂක අංශයටද තර්ජනය කළේය. රාජකාරියට බීමත්ව බාධා කිරීමේ වරදට අන් බිරියක් රෝහල් වාට්ටුවෙන් රැගෙන යාමට ආ අනංගයා රෝහල් පොලිසිය මැදිහත්ව අත්අඩංගුවට ගත්තේය.
වෙරි සිදුණු ඔහු පොලිස් ඇප මත මුදා හැරිය බවත්, ඒ අතරේ රෝහලේ සිටි බිරිය ඔහු සමඟ යාම ප්‍රතික්ෂේප කර තිබුණු අතර වරදට සමාව දී නිත්‍යානුකූල සැමියා සුපුරුදු නවාතැන කරා ඇය ගෙනගිය බවත් රෝහල් ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණි.