වියලුව වාර්තාකරු
බස්රථයක ගමන් ගනිමින් සිටියදී මර නින්දේ පසුවූ පුද්ගලයකු තමුන් ගමන්ගන්නා බස්රථය අනතුරකට ලක්වෙනු සිහිනෙන් දැක මරහඬ දී ගෙන ධාවනය වන බස්රථයේ ජනේලයකින් පිටතට පැනීමට තැත් කළ බව කියැවෙන පුවතකි.
බස්රථයේ ගමන්ගත් මගියකු පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.
එය පළාතේ ප්‍රධාන මාර්ගයක ධාවනය වෙමින් තිබූ දුර ගමන් සේවා පෞද්ගලික බස්රථයකි.
සැලකිය යුතු මගී පිරිසක්ද බස්රථයේ ගමන් ගත්හ. බස් රථයේ මැද කොටසේ අසුනක වාඩිවී සිටි පුද්ගලයෙකු මරනින්දේ පසුවන අයුරු බස්රථයේ ගිය බොහෝ දෙනකුගේ නෙත ගැටී තිබිණි. එහෙත් එය සාමාන්‍ය සිදුවීමක් නිසා බොහෝ දෙනකු ඒ පිළිබඳව කිසිදු අවධානයකින් පසු නොවිණි.
බස්රථය ගමන් අරඹා පැය දෙක තුනක් ගත වෙද්දී එක්වරම ජනේලය ආසන්නයේ වාඩි ගෙන මර නින්දේ පසුවූ පුද්ගලයා “බුදු අම්මෝ අපි ඉවරයි” කියාගෙන බස් රථයේ ජනේලයෙන් හිස පිටතට දමා එයින් පනින්නට උත්සාහ කළේ බසයේ සිටි සියල්ලන්ම කලබලයට පත් කරමිනි.
කෙසේ වෙතත් ඔහු සමග අසුන්ගෙන සිටි අනෙක් තැනැත්තා ඔහුගේ කලිසමෙන් අල්ලා බස්රථය තුළට ඇද ඔහු යළි වාඩි කරවූ අතර සිදුවූවේ කුමක්දැයි විමසද්දී ඔහු දුන්නේ අපූරු පිළිතුරකි.
ඒ වන විටත් ඉහෙන් කනින් දාඩිය පෙරාගෙන දැඩි ලෙස බියට පත්ව සිටි ඔහු පවසා සිටියේ තමුන්ට තදින් නින්ද ගිය බවත් සිහිනෙන් බස්රථය පල්ලමකට පෙරළෙනු දුටු බවත්ය. අනතුරින් බේරීම සඳහා තමුන් ධාවනය වන බස්රථයෙන් පිටතට පනින්නට තැත් කළ බව ඔහු පැවසූයේ බස්රථයේ සිටි සියලුදෙනා සිනා සයුරේ ගිල්වමිනි.
ඉන් බොහෝ සේ ලැජ්ජාවට පත්වූ හෙතෙම යළිත් නින්දට වැටුණේ මගීන්ගේ සිනහව නවතින තුරු ය.