කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
‘‘තමා ජීවත්වන නගරයේ අයියලා සියලුදෙනාම තමාගේ අතේ’’ යයි කියමින් කාර්යාලයේ රඟපාමින් සිටි අයකුගේ මුදල් පසුම්බියට ගැටකපන්නකු ගසා අලි ජංජාලයක් වූ පුවතක් අසන්නට ලැබේ.
හේ කාර්යාලයේ සේවක, සේවිකාවන් ඉදිරියේ අමුතුම රංගනයක යෙදුණේය. එය වැඩිමනත්ම දිස්වූයේ චුට්ටක් විතර ඇඟ රත්වූවිටය. ඔහුට උවමනා කළේ නගරයේ ඉන්න අයියලා ඉන්නේ තමන්ගේ අතේ බව පෙන්වීමටය.
ඔවුන් සමග එකට කනබොන බව ඇඟවීමටය. ඔවුන් ඉතා ළඟින් ආශ්‍රය කරන බව පෙන්වීමටය. ඔහු ගැන නොදන්නා අය එය පිළිගත්තත් දන්නා අය එය නිය පිටින් උඩට නොගත්තෝය. ඒ ඔහුගේ තරම දන්නා නිසාය. ඔහු ඇද බා ඇති බේගල් ගැන දැනුවත්ව සිටි නිසාය.
මේ ළඟදී කාර්යාලයට බසයෙන් පැමිණෙමින් සිටියේය. ගමනාන්තයේදී ඔහුගේ මුදල් පසුම්බිය ගැට කපන්නකුගේ ගොදුරක් බවට පත්විය. ඔහුගේ ඉහ මොළ රත්විය. වැදගත් ලියකියවිලි රැසක් එහිය. ඔහුට මෙය මදිකමකි. බස් රථයම දෙවනත් කරමින් ගමේ ඉන්නා අයියලාගේ නම් කියමින් ඔහු කෑගැසීය. එහෙත් මුදල් පසුම්බිය නම් නොලැබිණ. කාර්යාලයට ගොස් ටික වෙලාවකින් ඔහුට භාර්යාවගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේය. ඒ ගැටකපන්නකු ගැසූ තමාගේ මුදල් පසුම්බිය ත්‍රිරෝද රථයකින් පැමිණි අයකු ගෙනත් දුන් බවය. එය ඇසූ ඔහු චූන් වූවේය.
‘‘මම හිතුවා මගේ පර්ස් එක ගෙදරටම ගෙනත් දේවි කියලා. මම මුළු බස් එකම දෙවනත් කළා. මගේ පර්ස් එක ගත්ත එකා හවස් වන කොට ගෙදරටම ගෙනත් නොදුනොත් උල තියනවා කියලා. ඒකේ බයට තමයි මගේ පර්ස් එක ගෙනත් දෙන්න ඇත්තේ’’ යයි ඔහු ශබ්ද නගා භාර්යාවට කීවේ කමීසයේ කොළරයද උස්සමිනි.
මොන පිස්සුද? තමුසෙගේ පර්ස් එකේ සත පහක්වත් තිබිලා නැහැ. ගැට කපන්නාට දුක හිතිලා ඒ මිනිහා එයාගෙම සල්ලිවලින් කුලියට ත්‍රිරෝද රථයක් අරගෙන ගෙදර සොයාගෙන ඇවිල්ලා දීලා ගියා. අපිටත් දරුවන් ඉන්නවනේ, මේ අහිංසකයාග් පර්ස් එකට ගහලා හිතට උසුලන්නේ නැහැ, කියලා තමයි ඒක දීලා ගියේ. නැත්නම් මේ චණ්ඩි පාට් එකට නෙමේ’’ යයි භාර්යාව කී විට කතා කර ගන්න බැරිව ඔහු ගල් ගැහුනාලු.