හිස් කළයට කෙහෙවලු‍ පටලවාගෙන



කරන්දෙණිය එම්.සුසිල් පියන්ත



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට යන සිය දියණියගේ ඉස්සරහට හිමිදිරියේම හිස් කළයක් අරන් පැමිණි කතක සමග කෙහෙවලු‍ පටලවාගත් කතක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
ඇයට සිටියේ මේ දියණිය පමණි. මේ දියණියට ඉගැන්වීමට ඇය ගත් ධෛර්ය ගැන දන්නේ දන්නා අයත් උඩ ඉන්නා දෙවියනුත් පමණි. මේ දියණිය ඊයේ පෙරේදා ආරම්භ වුණු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියාය. පළමු දිනයේ තිබුණේ බෞද්ධ ධර්මයයි.
එදා උදේ රැයින්ම ඇය සිය දියණිය සූදානම් කළේ නගරයේ පාසලේ පැවති විභාග මධ්‍යස්ථානයට යාමටය.


ඇය එදා උදේ විභාගයට යන සිය දියණිය ඉදිරියට වතුර වීදුරුවකට සුදෝ සුදු මල් දමා රැගෙන ආවාය. එයින් වතුර උගුරක් දෙකක් දියණියට පෙවූ මේ පෙම්බර අම්මා ඇය සමග පාරට යාමටද පැමිණියාය.
 ඒ එන අතර මඟ වතුර රැගෙන යාමට හිස් කළයක් අතින් ගත් කාන්තාවක් ආවාය. එය දුටු සැණින් මේ මවට වැසුනේ මහ සොහොන් සමයමය. ඒ සමගම ඇය ආවේශවූවාය. අසල්වැසි කත හිතා මතාම මේ දෙය කළා යයි ඇය සිතුවාය. දියණිය බස් රථයට ඇරලූ ඇය හිස් කළය රැගෙන ආ අසල්වැසි කතගේ නිවසට ගොස් ආඩපාලි කීවාය. මේ කිසිවක් නොසිතා කළ අසල්වැසි කත ඒ ගැන සමාව ඉල්ලු‍වද ඇයගෙන් ඊට බුරුලක් නොලැබුණි. ඇයගේ බෙලිකටු මල්ල සෙලවීම නතර නොවීනි. හිමිදිරි උදෑසනම තමන්ගේම නිවසට පැමිණ තමන් නොසිතා කළ දෙයට ඇයට තරහ ගියාය.
එහි අවසාන ප්‍රතිඵලය මේ කතුන් දෙදෙනා කෙහෙවලු‍ පටලවා ගැනීමය. දෙන්නටම තැලීම් තුවාල ඇති වන තුරුම දෙන්නා ඇන කොටා ගත්හ. අසල්වාසීන් පැමිණ දෙන්නා දෙපැත්තට නොකළේ නම් දෙන්නටම නවතින්න සිදුවනුයේ රෝහලේය. අත් පා වෙළාගෙනය.
දහවල් විභාගයට ගිය දියණිය නිවසට පැමිණියේ දැඩි සතුටකිනි. අම්මේ අද විෂය හොඳටම කරා. ඒ එකක් ෂුවර්ම තමයි යයි කීවාය. ඇයගේ මවට තරු පෙනුණි. සිය මවගේ අතේ පයේ රතු පැල්ලම් කිහිපයක් දුටු ඒ පිළිබඳව දියණිය ඇසූවිට හිස් කළයේ කතාව ඇය දියණියට කීවාය. දැන් දියණියත් මේ මවත් විභාගයට යාම සඳහා පාරට යනුයේ අසල්වැසි කත හිස් කළය රැගෙන ඒදෝයි බල බලාලු‍.