(ඉබ්බාගමුව - සම්පත් සෙනවිරත්න)
සුරා මතින් හොඳ හැටි පදම්ව දඩාවතේ ගිය බල්ලකුට ආලවන්තකම් පා සුරතල් කිරීමට ගොස් අන්තිමේදී එම බල්ලා ලවා තම කට සපාගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් වයඹ පළාතේ ගම්මානයකින් වාර්තාවේ.
වයඹ පළාතේ ප්‍රදේශයක වෙසෙන අවිවාහක තරුණයෙකි. මොහු උදේ සිට සවස් වනතුරු කය වෙහෙසා වැඩ කරමින් මුදල් උපයන කම්මැලිකම යනු කුමක්දැයි වත් නොදන්නා හිත හොඳ තරුණයෙකි. නමුත් දිනපතා සවසට ඇඟේ මහන්සිය නිවා ගැනීමට යැයි කියමින් මධුවිත පොදක්
තොලගෑම මොහු කාලයක සිට පවත්වාගෙන එන පුරුද්දකි.
එසේ මත්පැනින් සප්පායම් වූ විට මොහු ඉතාමත් හැඟුම්බර පුද්ගලයෙක් බවට පත්වන අතර අසල සිටින ඕනෑම කෙනෙකු වැළඳගෙන සිප ගනිමින් මිතුරුකම් පෑම ඔහුගේ ස්වභාවයයි. දිනක් මෙසේ සුපුරුදු පරිදි හොඳහැටි මත්පැන් පානය කර ගමේ කඩමණ්ඩිය වෙත පැමිණි අපේ මිත්‍රයා ඒ අසල කොටයක් මත වාඩි වූයේ කවුරුන් සමඟ හෝ කතා කිරීමේ අදහසින්ය.
නමුත් ඒ මොහොතේ කිසිවකුත් අසල නොසිටි බැවින් දඩාවතේ යන බල්ලකු නගුට වනමින් මොහු අසලට ආ අතර ඔහු උගේ හිස අතගාමින් මැක්කන් කඩමින් බල්ලා සුරතල් කිරීමට පටන් ගත්තේය. බල්ලා ද හදිසියේ හමු වූ මේ අපූරු අමුත්තා කෙරෙහි ස්නේහයෙන් තව තවත් තුරුලට ළං වූ අතර ඔහු බල්ලාගේ මුහුණ තම මුහුණට තබා සිප ගන්නට පටන් ගත්තේ වෙරි මතත් සමඟ එන සත්ව කරුණාව ඉහවහා ගිය බැවිනි. බල්ලා ද කෙඳිරි ගාමින් නගුට නොනවත්වා වනමින් සතුටු වූ අතර අවසානයේ අපේ මිතුරා බල්ලාගේ හොම්බ තම කට තුළට දාගෙන සෙමෙන් සපන්නට විය.
එවිට නම් බල්ලාගේ නාසය ඔහුගේ දත්වලට අසු වූ බැවින් බල්ලාට තරු පෙනිණි. බල්ලා දඟලමින් වැරෙන් පොරෙන් තම හොම්බ අපේ මිත්‍රයාගේ කටින් එළියට ගත් අතර සැණෙකින් පැන මිතුරාගේ මුහුණ සපා කෑවේය. අපේ මිත්‍රයාගේ අවාසනාවට බල්ලාගේ දත් පහරට ලක් වූයේ ඔහුගේ තොල් දෙකයි.

