තමාගේ ඥාතියකුගේ නිවසක් යැයි පවසා මත් තොල ගෑමට නිවසකට රැගෙන ගිය නඩයක් ගුටි පූජාවකින් අනුනවයෙන් බේරුණු පුවතක් පොල්පිතිගම බල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
රාජ්‍ය ආයතනයක සේවය කළ පිරිසකි. කීප දෙනකු විශ්‍රාම ගිහින්ය. තවත් අය සේවයේ නියැළී සිටිති. නමුත් ඔවුන් එදා මෙන්ම දුකට සැපට එක්වෙන පිරිසකි.
එලෙස ආයතනයෙන් ඉවත්ව ගිය සේවකයකුගේ මව හදිසියේ මිය ගියාය. ඒ කොරෝනා සමයේදීය. මේ තත්වය හමුවේ ආයතනයේ කිසිවකුටත් පිටත ඥාතියකුගේ නිවසේ පැවැති එම අවමංගල උත්සවයට යාමට බැරි විය.
ඒ අනුව එම මවගේ පුත්‍රයා මිය ගිය අම්මා වෙනුවෙන් දානමය පින්කමක් කළේය. ඒ සඳහා ආයතනයේ සිටින හා විශ්‍රාම ගිය දසත සිටින හිතවතුන්ට ඇරයුම් කෙළේය.
රාත්‍රියේ සුමධුර ධර්ම දේශනාවකි. පසු දින මහා සංඝ රත්නය හමුවේ සාංඝික දානමය පින්කමකි.
ඇරයුම් කළ පිරිස් එහි පැමිණිය හ. රාත්‍රියේ දී හාමුදුරු නමක නිවසට වැඩමවා සුමධුර ධර්ම දේශනය කරන අතරේ පැමිණි සේවක පිරිස එම නිවසින් පිටතට ගියහ. ඒ මත් තොල ගෑම සඳහාය. මුදල් අය කළේය. ඇවසි බයිට් හා අරක්කු ගෙන ආවේය.
එහෙත් ඒවා බොන්නට තැනක් නැත. එවිට එහි සිටි සේවකයෙක් ඔවුන් ඇමතුවේය.
“මේ ගෙදර අපේ ඥාතියෙකුගේ ගෙදරක්. ඒ අයත් බණ අහන්න ගිහින් ඉන්නේ. ප්‍රශ්නයක් නෑ. මෙතැන ඉඳන් පාටියට සෙට් වෙමු. මොනා හරි වුණොත් මං බලා ගන්නම්.”
ඒ අනුව කිසිදු බියක් හා සැකයක් නැතිව ඔවුහු එහි නැවතුණාහ. බණ ඇසෙන අතරවාරයේ මෙහි ගී රස වින්දනයක් ඇසෙන්නට විය. ඒ පදම ඉක්මවා යාම නිසාය. අවට තරුණ පිරිසක් එහි ළඟා වූහ. බීමත්ව සිටි අයෙක් “ඇයි මොකද මල්ලී” කියා ඇසුවේය.
“යකෝ මොකද කියන්නේ මේක අපේ ගෙදරනේ. උඹ කොහේ ද.”
“මම දකුණේ මල්ලී.”
“දකුණේ උඹ ඇයි මෙහේ ආවේ.”
ගැටුමට මුල පුරන්නට පෙර ඥාතියා යැයි පැවසු අය එහි ගියේය.
“මල්ලී මම... මම.. ඇයි දන්නේ නැද්ද? ” කියා ඔහු පැමිණි තරුණ පිරිසට අතට අත දෙන්නට හැදුවේය.
“මං කියන්නේ කවුද යකෝ උඹ අපේ ගෙට ආවේ.”
ඥාතියා යැයි පැවසු ඔහු නිරුත්තරය.
පදම ඉක්මා ඇති නඩයත් අන්ද මන්දය. ඔවුනගේ වෙරි සිඳී ඇත.
ඒ බව වටහා ගත් එහි සිටි අයකු වහ වහා එතැනට ගියේ ගුටි පූජාවෙන් බේරෙන්නට ය.
“මල්ලී මෙයා කීවා මේ ගෙදර එයාගේ නෑයකුගේ කියලා. ඒකයි අපි මෙහි ආවේ. අපි අර අයියාගේ දාන ගෙදර ආපු අයයි. වැරදි විදියට හිතන්න එපා”
“අඩෝ මේ අපේ බොක්කනේ. අයියා ඔයා මෙතැන ඉන්න බවක් අපි දැනගෙන හිටියේ නෑනේ. කමක් නෑ. ප්‍රශ්නයක් නෑ. ඔයා ඉන්නවා නම් කමක් නෑ. අපි යනවා.” ඔවුහු යන්න ගියහ. අවසානයේ දන්නා අය නිසා අත් වෙන්නට තිබු ගුටි පූජාව නොදන්නා අයකු නිසා අනූනවයෙන් බේරුණා යැයි පැවසූ නඩය යාන්තම් ඇති යැයි පවසා දාන ගෙදරට යාම සඳහා එතැනින් ඉවත්ව ගියාලු.
මොරගොල්ලාගම සිසිර කැලේගම