තරුණ සුදු නෝනලා දෙන්නකු දුන් අපූරු ගේමකින් තරුණ වෙළඳසල් හිමියාට රෑ තරු දවල් පෙනුණු අපූරු කතාවක් ගාලු දිසාවේ සංචාරක කර්මාන්තයට වැඩි ප්රසිද්ධියක් ඇති නගරයකින් අසන්නට ලැබේ.
යතුරු පැදියේ නැගී ආ තරුණ සුද්දියන් දෙදෙනෙකි. යතුරුපැදිය නතර කෙරුණේ වෙළෙඳ සලක් ඉදිරිපිටය. එම වෙළඳ සලේ සිටියේ තරුණයෙකි. සුදු නෝනලා යතුරුපැදියෙන් බැස මේ වෙළෙඳසල තුළට ගියහ. ඔවුන් දෙදෙනා වෙළෙඳසල තුළට යාමත් එක්ක ආවේ අපූරු සුවඳකි. මන බඳිනා මේ තරුණ සුද්දියන් දෙදෙනා දුටුවිට තරුණ වෙළඳසල් හිමියාට බයක් මෙන් සතුටක් දැනුනේය.
හරිහමන් ආකාරයට ඉංග්රීසි කතා කිරීමට නොහැකිවීම බිය වීමට හේතුවකි. මේ සුදු නෝනලා දෙදෙනාට නොවටිනා ගානට බඩු අලෙවි කොට ලබාගත හැකි ලාභය සතුටට කාරණයකි. ඒ කෙසේ වෙතත් මේ දෙදෙනා ගුඩ් මෝනින් යයි කියා තරුණයා ඇමතූහ. තරුණයා ද පිළිතුරු ලෙස ඉතා සුහඳව මේ සුදු නෝනලා දෙදෙනා පිළිගත්තේය.
එක සුදු කතක් භාණ්ඩ පෙන්න පෙන්නා මිල ගණන් විමසුවාය. දන්නා ඉංග්රීසියෙන් ඔහු ඇයට භාණ්ඩයේ නියම වටිනා කමට වඩා වැඩියෙන් මිල කීවේය. අනෙක් සුදු කත ගැන අවධානය ඔහුගෙන් ගිලිහී ගියේය. භාණ්ඩවල මිල ගණන් අසමින් මේ සුදු තරුණිය වෙළෙඳසල් හිමියා වෙළඳසලේම එක්කර ගෙන ගියේය.
අනෙක් සුදු තරුණිය යතුරු පැදියේ නැගී එහි නළාව ශබ්ද කළාය. ඒ සමගම අර සුදු තරුණිය කලබලයෙන් තරුණයාගෙන් සමාව ඉල්ලා යතුරුපැදියේ නැග්ගාය. ඒ සමගම ඔවුහු දෙදෙනා යතුරු පැදියේ නැගී ඉගිල්ලුනහ. ඔවුන් දෙදෙනා ගියත් වෙළෙඳසල තුළ තිබූ සුගන්දය එහෙමමය. හුස්මක් ඉහළට ගත් මේ තරුණයා වෙළෙඳසලේ මුදල් දමා තිබූ ලාච්චුව විවෘත කර තිබුණු බැවින් ඒ පිළිබඳව විමසිලිමත් විය.
ඔහුට දෙයියන් බුදුන් සිහිවුයේ එවිටය. වෙළෙඳසලේ වෙළෙඳාම් කළ මුදල්වලට අමතරව බැංකු ගත කිරීමට තිබූ මුදල් ද ලාච්චුවෙන් එර්දි වී තිබුණි. සිතන්න දෙයක් නැත. ඒ වන විටත් සුද්දියන් දෙදෙනා යන්න ඕන ගමන යන්නට ඇතැයි සිතා ඔහු හිත හදා ගත්තේලු.
කරන්දෙණිය එම්. සුසිල් ප්රියන්ත

