සුද්දා අන්දන්න ගිහින් නාගෙන



කරන්දෙණිය එම්.සුසිල් පියන්ත



සංචාරකයා අන්දන්න ගොස් නාගත් හෝටල් හිමියකු පිළිබඳ කතාවක් දකුණේ ප්‍රධාන නගරයකින් අසන්න ලැබේ.
අලු‍ත් මාලු‍, අලු‍ත් ඉස්සන් තමන්ගේ හෝටලයෙන් විදෙස් සංචාරකයන්ට දෙන බවට ප්‍රසිද්ධ හෝටලයකි. විශේෂයෙන්ම පොකිරිස්සන් සුද්දන්ට කෑමට දෙන හෝටලයක් කීවොත් එය වඩාත්ම නිවැරදිය. පොකිරිස්සෝ පණ පිටින් හෝටලයේ ටැංකියක සිටිති. සුද්දා පෙන්වන පොකිරිස්සා පරිභෝජනයට ලබාදීමට ද ප්‍රසිද්ධය.
එදා පැමිණි සුද්දෙක් තමාට සාදා දෙන ලෙස ටැංකියේ සිටින පොකිරිස්සකු පෙන්නුවේය. ඒ අනුව එම පොකිරිස්සා ටැංකියෙන් ගෙන ගියේ සුද්දාට සාදාදීමට යයි කියමිනි.
සුද්දාගේ කෑම වේලට පොකිරිස්සා සූදානමින්ය. ඒ අනුව කෑමට ගිය සුද්දා තර්ක කළේ මේ සාදා ඇත්තේ තමා පෙන්වූ පොකිරිස්සා නොවන බවය. තමා කියන්නේ බොරු නම් එය සනාථ කිරීමට සූදානම් බව සුද්දා කීවේය. තමාට පොකිරිස්සා පෙන්වූ ටැංකියට සුද්දා හෝටල් හිමියා කැඳවාගෙන ගියේ ඉන් පසුවය.


දෙයියනේ සුද්දා පෙන්වූ පොකිරිස්සා එම ටැංකියේ නිරුපද්‍රිතව සිටියේය. හෝටල් හිමියාට තරු පෙණුනේය. සුද්දා කෑම ප්‍රතික්ෂේප කළේය. හෝටල් හිමියාට කරන්න කිසිම දෙයක් නොවීය. සුද්දාට කෑම සාදන්න ගිය වියදම එහේම පිටින් අපතේය.
සාදන්න යයි කියා ටැංකියේ සිටින පොකිරිස්සා පණ පිටින්ම අල්ලාගෙන ගෙන ගියද ඌ නැවතත් ටැංකියට යන්නේ පස්ස දොරෙනි.පොකිරිස්සන් යයි කියමින් ඒ සඳහා වෙනත් ආදේශක ඉස්සෙකු හෝ ශීතකරණයේ ගබඩා කර ඇති කල් ගිය පොකිරිස්සන් සාදා සුද්දන්ට දෙන බව ආරංචිවුණේ එදාලු‍.