(හසලක සුනිල් ඒකනායක)
සැමියාගේ සමාජ සේවා කටයුතු නිසා සියදරුවන්ට කොවිඩ් 19 වයිරසය ආසාදනය වේයැයි කියා බියක් දැක් වූ තරුණ බිරිඳක සැමියාට නිවෙසට ඇතුළුවීම තහනම් කරමින් නිවෙසේ ඉදිරි දොරේ දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබූ පුවතක් කුණ්ඩසාල ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවිය.
තිස් හතර හැවිරිදි ඔහු වෘත්තියෙන් වඩු කාර්මිකයෙකි. කුඩා දරුවන් දෙදෙනකුගේ පියෙකු වන මොහු සිය වෘත්තිය කටයුතු නිවසට යාබදව ඉදිකර ගත් වඩුමඩුවේ පවත්වාගෙන ගියේය. සිය මෙවලම් හා වෙනත් ආරක්ෂිත දෑ සුරක්ෂිතව තැබීම සඳහා මෙම මඩුවේම කොටසක කුඩා කාමරයක් ඉදිකරගෙන තිබිණි.
මොහු රැකියාවට අමතරව ප්‍රදේශයේ ස්වේච්ඡා සමිති කිපයක සාමාජිකත්වය දරන අතර එම සංවිධානවලින් කරන විවිධ සමාජ සේවා කටයුතුවලට රැකියා වෙන් විවේක ලද සෑම අවස්ථාවකම නිරතවීමට නිවසින් බැහැරට යෑම පුරුද්දක් කරගෙන සිටියේය.
මේ වෙනවිට රටම වෙලාගෙන සිටින මාරාන්තික වසංගත තත්ත්වය හේතුවෙන් එම සමාජ සේවා කටයුතුවලට නිවසින් පිට නොයන ලෙසත් මිනිසුන් ගැවසෙන ස්ථානවලට නොයන ලෙසත් බිරිය දැන්වූවාය. එවැනි ස්ථානවලට ගොස් රෝගය බෝකරගෙන නිවසට පැමිණ එය දරුවන්ටද බෝවීමට ඉඩ ඇති හෙයින් එසේ නිවෙසින් පිට නොයන ලෙස තරුණ බිරිඳ ඔහුට කීප විටක්ම නැවත නැවත පැවසුවේ අවවාදාත්මක ලෙසිනි.
එම උපදෙසට, ඉල්ලීමට ඔහු කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය. සිය සමාජ සේවා කටයුතු පෙරපරිදිම කරගෙන ගියේය. මෙය කෙසේ හෝ නැවැත්විය යුතු යැයි සිතා ගත් ඇය මෙදින සැමියා නිවෙසින් පිටතට ගිය අවස්ථාවේ ඔහුගේ නිදන ඇඳ ඇතුළු ඔහු පරිහරණය කරනු ලැබූ සියලුම දෑ වඩු මඩුවේ ඇති කාමරයට දැමූ අතර සිය නිවෙසේ ඉදිරි දොර වසා දැන්වීමක් අලවා තිබිණි.
එහි මෙසේ විය.
ඔබ සමාජසේවා කටයුතුවලට නිවෙසින් පිටයෑම නතර කරන තුරු අද දින සිට ඔබට නිවසට ඇතුළු වීම සහ දරුවන් සමග ඇසුරු කිරීම තහනම්ය. අද සිට ඔබගේ නවාතැන වඩුමඩුවේ කාමරයයි. කාමරය සකස් කර ඇත. එතැනට අවශ්‍ය කෑම බීම ගෙනැවිත් තබන්නම්. මෙය මගේ දරුවන්ගේ ආරක්ෂාව සඳහා ගත් පියවරකි. අමනාප නොවන්න.
සමාජ සේවා කටයුතු නිමාකර මෙදින පෙර පරිදි නිවසට පැමිණෙන විට බිරිඳගේ එම දැන්වීමෙන් පසු කරකියා ගත කිසිවක් නොවීය. එබැවින් ඔහු බිරිදට පොරොන්දු වූයේ කෝවිඩ් වසංගතය පහව යනතුරු නැවත සමාජ සේවා කටයුතුවලට නිවෙසින් පිටතට නොයන බවය.