සැමියා පාසලේ නඩු භාණ්ඩ ගෙදර ගෙනත් බිරියට යකා නැඟලා
මිදුලට ආ හිඟන්නකුට මාරු සල්ලි දීමට කාමරයේ දමා තිබූ සැමියාගේ කලිසම් සාක්කුවට අත දැමූ බිරියකට එහි තිබී කාන්තා ලේන්සුවක එතූ රන් මාලයක් හසුවීමෙන් යකා වැහුණු පුවතක් අසන්නට ලැබුණේ අකුරැස්සට නුදුරු ප‍්‍රදේශයකිනි.
ගුරුවරියක වූ ඇගේ සැමියා තරුණ විදුහල්පතිවරයෙකි. විවාහ වී තෙවසරක් ගත වුවද ඔවුනට දරුවකු නොවීය. පසුගිය සති අන්තයේ සැමියා කුඹුරට ගොස් සිටි මොහොතේ ගෙදරට ආ හිඟන්නකුට මුදලක් දීමට යාමේදී අතට හසුවූ මෙම ලේන්සුව සහ මාලය ගැන ඇයට සැකයක් ඇතිවූයේ පාසලේ වෙනත් සබඳතාවක් ගැන කලින් ඉව වැටී තිබුණු හෙයිනි.
දැඩි කෝපයෙන් හිඟන්නා එලවා දැමූ ඇය සැමියා එනතුරු බලා සිටියේ හොඳ අඩව්වක් අල්ලන්නටය. එහෙත් මේ ගැන ඇසූ විට සැමියා සිනාසෙමින් කීවේ පාසලේ ඉහළ ශ්‍රේණියක සිසුවකු හා සිසුවියක අතර මේ බඩු හුවමාරු වී ඇති හෙයින් ඒ පිළිබඳ නඩුව විමසීමට ගිය තමා මේවා නඩු භාණ්ඩ ලෙස අත්අඩංගුවට ගත් බවත් අමතක වීමකින් ගෙදර ගෙනැවිත් ඇති බවත්ය.
”ඇත්ත නැත්ත පස්සෙ දැනගන්නම්කො” තමාටම කියාගත් ඇය ඉවත්ව ගියේ නම් සතුටෙන් නොවේලූ.

