ගංවතුරින් නිවාස හා ආයතන යටවූ විට සැවොම ඒවා හැරගියහ. නමුත් සමහර ආයතනවල ආරක්ෂක නිලධාරීන්ට සිදුවූයේ දන හිසටත් උඩින් වතුර තිබුණත් ආරක්ෂක කුටියට වී ආයතනය ආරක්ෂා කිරීමටය. එක් ආරක්ෂක නිලධාරියකුට අනුයුක්ත කිරිමට කිසිවකු නොසිටියෙන් දින තුනක් පුරා ගත කිරීමට සිදුවූයේ ජලයෙන් යට වූ මුර කුටියේ කබල් මේසයක් මතය.
පිහිනිමට නොදත් ඔහුට විදුලිය විසන්ධි කර තිබූ නිසා කළුවරේ ද, මදුරු දඟර නොමැති කමින්, මදුරුවන් සිය ගණනකගේ ග්‍රහණයෙන් ද පසුවීමට සිදුවිය. උදෑසන මේස කබල මත සිටින ඔහුට දැකගත හැකි වූයේ දණහිසක් වතුරේ බැස ඔහු කරා පිවිසෙන පුද්ගලයෙකි. “අයියා කෑම ඕනෙද” හෙතෙම විමසීය. “දන්සල් ද?” ආරක්ෂක නිලධාරියා ඇසුවේ තමා සන්තකයේ තිබුණේ රුපියල් තුන්සියයක් හෙයිනි. “කෑම එකක් සීයයි” පුද්ගලයා පැවසීය. “එකක් දෙන්න” ඔහු පැවසුවේ දින තුනක්ම ආහාරයට ගෙන තිබුණේ බිස්කට් බැවිනි. මනා ලෙස ඇසුරූ කෑම පාර්සලයේ ව්‍යජංන තුන හතරක්ම විය.
“දවල්ටත් මම එකක් ගේන්නම්” අයියා වතුරට බහින්න එපා. වතුර පාර සැරයි” ඔහු පැවසීය. මදුරු දඟර සහ වේදනා නාශක බෙහෙත් පෙති මිලදී ගැනීමේ අරමුණින් ආරක්ෂක නිලධාරියා දිවා කාලදී බියෙන් වතුරට බැස්සේ සුනඛයින් ද වතුරේ ගමන් කරනු දුටු පසුය. ගංවතුර බැස ගිය ස්ථානයක මිනිසුන් පොරකනු දුටු ඔහු නෙත ගැටුණේ වාහනයකින් කෑම පාර්සල් බෙදා දෙන අයුරුය.
පෝලිමේ පැමිණි ඔහු කෑම පාර්සලයක් ලබාගනිද්දී උදේ කෑම පාර්සලය විකුණූ තැනැත්තා ද ඒ අතර විය. ආරක්ෂක නිලධාරියා දුටු ඔහු “අයියා මොකද ආවේ. මම කෑම ගෙනත් දෙනවානේ. උදේත් මේ කට්ටියම තමයි කෑම ගෙනාවේ” යැයි පැවසීය. ආරක්ෂක නිලධාරියා කිසිවක් පැවසුවේ නැත. වාර්තා වූයේ කැලණි ගඟ අසබඩිනි.
ක්‍රිස්ටෝපර් සීපියන්

