සල්ලිකාරයන් පන්දාහට පොරකද්දී නැති බැරි මිනිහා දීමනාව ආපහු දීලා


(වලව කේ.පී සුමනදාස)
ව්‍යාපාරිකයන් පිරිසක් රුපියල් පන්දාහේ දීමනාව ගැනීමට පොර කද්දී කිසිවකුගේ හව්හරණක් නැතිව තනිව ජීවත්වන පුද්ගලයකු රජයෙන් ලබා දෙන රුපියල් 5000 හේ දීමනාව එපා කියයි. 


පෙරේදා (23) සෙවණගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හබුරුගල ග්‍රාමනිලධාරී වසමේ කිරිඉබ්බන්වැව ගම්මානයේ පිහිටි ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේ සුදුස්සන්ට රුපියල් 5000හේ දීමනාව ලබා දීමට අදාළ නිලධාරීන් විසින් සිදුකරනු ලැබීය. 


මේ අතරතුර එම ස්ථානයට පැමිණි ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් පිරිසක් තමන්ටද රුපියල් 5000 හේ දීමනාව ලබා දෙන ලෙස අදාළ නිලධාරීන්ට බල කළහ. එහිදී නිලධාරීන් ව්‍යාපාරිකයන්ට 5000 හේ දීමනාව ලබා ගැනීමට සුදුසුකම් නොමැති බව කියා සිටියත් ඔවුහු එය පිළි නොගත්හ. ඔවුන් එසේ ආසාධාරණ ඉල්ලීම් කරද්දී ගම්මානයේ පදිංචි කිසිවකුගේ පිහිටක් නොමැතිව තනිව ජීවත් වන වියපත් අයෙක් තමන්ට ලබා දෙනු ලබන රුපියල් 5000 හේ දීමනාව අවශ්‍ය නොමැති බවත් එය රජයට ආපසු බාර දෙන බවත් පවසා රුපියල් 5000 ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේය. එවිට පන්දාහට පොරකන ව්‍යාපාරිකයෝ හීන් සැරේ එතැනින් මාරු වූහ.