සල්ලි පාඩම වැරැදී අලි ජංජාලයක වැටිලා


මොරගොල්ලාගම සිසිර කැලේගම


සැමියා සිය බිරියට බැංකු ගනුදෙනු කරන ආකාරය ගැන ක්‍රියාවෙන් පෙන්වන්නට ගිහින් දෙදෙනාම අතරමං වූ පුවතක් වයඹ හා රජරටට මායිම් කහල්ල පල්ලේකැලේ රක්ෂිත ගම්මානයකින් වාර්තා වෙයි.
සැමියා රජයේ රැකියාවක නියැලෙන අතර , බිරිය බාලවයස්කාර දරු දෙදෙනා සමගින් ගෘහණියක ලෙසට නිවසේ පසුවුණාය.
ඔහු රැකියාවට ගියත් සවස් යාමයේ ගෙදරට එන නිසාත්, සති අන්තයේ නිවාඩුව ගෙදර ගත කරන නිසාත් බිරියට කිසිදු තනියක් දැනුණේ නැත.
එහෙත් හිටිහැටියේ සැමියාට හදිසියේම පිට පළාතකට ස්ථාන මාරුවීමක් ආවේය. මේ තත්ත්වය හමුවේ බිරිය දරුවන් බලාගෙන නිවසේ පසුවෙන්නට වූවාය. එපමණක්ද නොව දරුවන්ගේ අසනීපයකට බෙහෙත් ගැනීමට රෝහලට යාමටත්, බඩු ගෙන ඒමට කඩේට යාමටත් ඇයට සිදු විය.
සැමියා එහි සිට සල්ලි එව්වේය. එහෙත් සල්ලි ගන්නට ඇය බැංකුවට යනවා හැරෙන්නට නවීන පහසුකම්වලට බැංකුවෙන් මුදල් ගැනීමට දන්නේ ද නැත.
මේ නිසා සැමියා නිවාඩු ආ දිනයක ඔහු බැංකු කාඩ්පත බිරිය අතට දුන්නේය. අවැසි වේලාවක බැංකුවට ගිහින් රස්තියාදු වෙන්න එපා. සවස් වෙලාවක හරි නිවාඩු දිනයක හරි බැංකුවේ ඒටීඑම් කවුළුව වෙතට ගොස් කාඩ්පත ඇතුළු කර මුදල් ගන්න කියා තම කාඩ්පතේ රහස් අංකය ද කියා දුන්නේය.


“අනේ එහෙත් මට ඒක තේරෙන්නේ නැහැනේ.” ඇය කීවාය.
“එහෙනම් එන්නකෝ සති අන්ත නිවාඩු නිසා බැංකුවත් වහලනේ. අපි බැංකුවට යමු මම ඔයාට ගන්න හැටි පුරුදු කරන්නම්” සැමියා පැවසුවේය.
ඒ අනුව දරු දෙදෙනාත් කැටුව ඔවුන් බැංකුව කරා දුරකතර ගෙවා ගියේ කුලියට ගත් ත්‍රිරෝද රථයකිනි.
නිවාඩු දිනයක් නිසා එම කවුළුවේ කිසිවෙකුත් නැත.
“ඔයාට කියා දුන් ආකාරයට කාඩ්පත දාලා මුදල් ගන්න උත්සහ කරන්න කෝ” කී සැමියා දරුවන් තබාගෙන පිටත සිටියේය.
ඇතුළට ගිය ඇය කාඩ්පත ඇතුළු කළාය.
පළමු උත්සාහය අසාර්ථක විය. නැවත නැවතත් ඇය වැරදි හදාගෙන කෙසේ හෝ එය පුරුදුවීමට උත්සාහ කළාය.
“අනේ කාඩ්පත එන්නේ නැහැනේ. මොකද වුණා.”
පිටත දරුවන් සමග රැඳී සිටි සැමියා එහි පැමිණියේය. 
කාඩ්පත වාර කිහිපයක් වැරදි අංකය භාවිත කර ගැනීමට තැත් කිරීම නිසා ඇතුළත හිර වී ඇත.
“එහෙම වෙන්නේ ඇයි” ඇය ඇසුවාය.
 “හොරට ගන්න කවුරු හරි උත්සහ කරනවා කියලා එහෙම වෙනවා” ඔහු පිළිතුරු දුන්නේය
“දැන් මොකද කරන්නේ.” ඇය ඇසුවාය.
තවදුරටත් කිසිත් නොකියා ඔහු ඇය හා දරුවන් කැටුව ත්‍රී රෝද රථයෙන්ම පැමිණ බිරිය හා දරුවන් ඇරලවා ගෙට දිව ගොස් ඔහු ඒ සැනින් එම රථයෙන්ම ආපසු නගරයට ගියේය. පමා වී ඔහු ආවේය. බිරිය අතට අවැසි මුදලක් දුන්නේය. පසුදින වැඩට යාමට සූදානම් විය.
“අනේ ඔයා කාඩ්පත ගත්තෙත් නැතිව කොහොමද මේ සල්ලි හොයාගත්තේ” ඇය විමසුවාය.
“කාඩ්පත ගන්න සඳුදා වෙනකම් ඉන්න බැහැ. මම ඒක අවලංගු කරලා අලු‍තින් කාඩ්පතක් ගන්නම්. මම කොහොම හරි සල්ලි හොයා ගත්තනේ. සල්ලි හොයා ගත්තු විදිය ඔයාට වැඩක් නැහැනේ” ඔහු කෝපයෙන් මෙන් කීවේය.
ඔහු පසුදා උදේම සේවයට ගියේය.
නිවසේ පසු වූ බිරිය රෙදි සෝදන විට ඔහුගේ කලිසමේ තිබී රිසිට්පතක් හමුවුණි.
“අනේ මගේ මංගල මුද්ද මේ මිනිහා තියලා නේද මේ සල්ලි අරගෙන තියෙන්නේ” ඇය විලාප දෙමින් සැමියා ඇමතුවාය.