සතියකින් සාම්පල් ගෙන්න කීවාම සතියේම මුත්‍රා එකතුකර ගෙනැල්ලා


සතියකට පසුව මූත්‍රා පරීක්ෂණයක් සඳහා මූත්‍රා සාම්පලයක් ද රැගෙන එන ලෙසට වෛද්‍යවරයකු විසින් දැනුම් දීමෙන් පසුව අදාළ රෝගියා සතියක් පුරාවට බැහැර කළ මූත්‍රා ප්ලාස්ටික් මෙගා බෝතල් දෙකකට පුරවා රැගෙන ඒමේ පුවතක් වාර්තා වේ.
මෙය කොත්මලේ එක්තරා ප්‍රදේශයකින් වාර්තා වූ සත්‍ය සිද්ධියකි.
මෙම සිද්ධියට සම්බන්ධ රෝගියා මූත්‍රා ආශ්‍රිත රෝගයකින් පෙළෙන අයෙකි. ඔහු අදාළ වෛද්‍යවරයා හමුවීමට පැමිණ ඇත්තේ මූත්‍රා බැහැර කරන විට දැවිල්ලක් ඇතිවන බව පවසමිනි. රෝගියා පරීක්ෂා කරන ලද අදාළ වෛද්‍යවරයා මූත්‍රාවලට විෂබීජයක් ගොස් ඇති බවට සැක කරමින් ඒ සඳහා බෙහෙත් ලබා දී ඇතත් එම බෙහෙත් පාවිච්චි කර සතියකට පසුව මූත්‍රා සාම්පලයක් ද රැගෙන අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණ තමාව හමුවන ලෙස දැනුම් දීමක් කර ඇත.


වෛද්‍යවරයාගේ එම උපදෙස් පිළිගත් රෝගියා සතියකට පසුව තමන් විසින් සතියක් පුරාවට බැහැර කළ මූත්‍රා මෙගා ප්ලාස්ටික් බෝතල් දෙකකට පුරවාගෙන වෛද්‍ය මධ්‍යස්ථානයට රැගෙන ගොස් ඇත.
ඒ බව අනාවරණය කර ගැනීමට හැකි වී ඇත්තේ රෝහලේ සේවය කරන කම්කරුවකු විසින් බෝතල්වල මොනවාද තියෙන්නේ කියා ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය.
මෙම සිද්ධියට සම්බන්ධ රෝගියා වතු ප්‍රදේශයේ පදිංචි අයෙකු බවට වාර්තා වන අතර මෙය කොත්මලේ ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකින් පසුගියදා වාර්තා වූ සත්‍ය සිදුවීමකි.