වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා


හසලක සුනිල් ඒකනායක


කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ගැනීමට පා පැදියකින් ගමන් කිරිමේදී එය පෙරළී බිම ඇද්‍ වැටීමෙන් ඇගේ රෝගය සුවපත් වූ සිදුවීමක් හසලකට නුදුරු ගමකින් වාර්තාවිය.
කෘෂිකාර්මික ආශ‍්‍රිත රැකියාවක නියුතු ඔහුගේ තිස් අට හැවිරිදි වියේ පසුවන බිරිඳට එක් වරම එක කකුලක දණහිස කොටසින් නැවීමට නොහැකිව ඇත. ක්ෂණිකව හටගත් මෙම රෝගී තත්වයට ගමේ වෙද මහතාගෙන් සති දෙක තුනක් තෙල් බෙහෙත් පත්තු බැන්දත් කකුලේ පැවති ආබාධය සුව නොවුණි. මෙම ආබාධය නිසා ඇයට නිවසේ වැඩක් පලක් කිරීමට හෝ ඇවිද යාමට සහ වාඩිවී සිටීමට පවා අසීරුවිය. මේ තත්වය නිසා ඇය පමණක් නොව පවුලේ අනෙක් අයද දැඩි අපහසුතාවකින් පසුවූහ.


රෝගය සුව නොවන නිසා සැමියා ඇයට පැවසුවේ තෙල් බෙහෙත් පත්තු බැන්දා ඇති අපි දොස්තර මහත්තයකු හමුවෙන්නට යමු යැයි කියාය. එම යෝජනාවට බිරිඳ සහ පවුලේ අයද කැමති වූයෙන් සැමියා ඇයව සිය පා පැදියේ පිටුපස කොටසේ තබාගෙන රෝහල කරා රැගෙන යමින් සිටින අවස්ථාවේදී මාර්ගයේ බෑවුම් කොටසකදී එක්වරම පා පැදිය පෙරළි දෙදෙනාම මාර්ගයෙන් පිටතට විසිවී ගොස් බිම වැටුණි. 
එසේ අනතුරට ලක්වූ අඹුසැමියන් දෙදෙනාගෙන් සැමියා වහා නැගිට බිරිඳව කොහේද කියා කතා කර බලන විට ඇය සැමියාටත් කලින් බිම වැටී සිටි තැනින් නැගිට තමන් දෙසට ඇවිද එන අයුරු දැක ඔහු දැඩි විශ්මයෙන් යුතුව ඇය දෙස බලා සිටින විට ඇය පැවසුවේ ‘‘ඒයි මට දැන් ඇවිදින්න පුළුවන්නේ. කකුලත් හොඳට නැමෙනවා. තිබුණු වේදනාවත් දැන් නැහැනේ.” කියාය. යකඩෝ දෙයියෝ අපි දිහා බැලූවා. දෙයියෝ තමයි අපේ බයිසිකලය පෙරළලා ඔයාව හොඳකළේ. හෙටම අපි අහවල් දේවාලයට ගිහිල්ලා පූජා වට්ටියක් තියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න යමු.” යැයි සැමියා ඇයට පවසා ඔවුන් දෙදෙනා පෙරළා නිවසට පැමිණ සැමියා නිවැසියන්ට සිදුවූ තත්වය පැහැදිලි කර පැවසුවේ දේව හාස්කමකින් තම බිරිඳට සුවය ලැබුණු බවකි.