විකුණන්න ගෙනා ගම්මිරිස් මල්ලත්-පාපැදියත් අතුරුදන්


ඇත්බටුවේ ගොවි මහතකු තම ගෙවත්තෙන් කඩා වියළාගත් ගම්මිරිස් කිලෝ දහනවයක් විකිණීම සඳහා ඉකුත් දා පාපැදියෙන් අඟුණකොළපෑලැස්ස තොග කඩපළට ගෙනාවේය. පාපැදිය තල්ලූකරගෙන යමින් වෙළෙඳසල් කීපයකට ගොස් ගම්මිරිස් මිල ගණන් විමසීය. එහෙත් ඔහු බලාපොරොත්තු වූ මිලක් නොලැබිණි. ගම්මිරිස් මල්ල ආපසු ගෙන යන අතර තවත් වෙළෙඳසලකට ගොස් මිල ගණන් විමසීය. මඳක් කල්පනා කරමින් සිටි ඔහු එම වෙළෙඳසලට ගම්මිරිස් විකිණීමේ අදහසින් වෙළෙඳසලෙන් එළියට බැස්සේය. ඔහු වටපිට බැලූවේය. වෙළෙඳසල ඉදිරිපිට නතර කර තිබූ පාපැදිය පෙනෙන්නට නැත. එහෙ මෙහෙ දුව ගියේය. ඒත් හෝඩුවාවක් හෝ දැනගන්නට නැත. ගම්මිරිස් මල්ලේ පාඩුවත් පාපැදියේ පාඩුවත් බැලූ විට තමන්ට සිදුවූ පාඩුව රුපියල් 22,000 අධික යැයි පැවසූ ගොවි මහතා මේ පිළිබඳ අඟුණකොළපෑලැස්ස පොලිසියට පැමිණිලි කර හිස් අතින් ගෙදර ගියේය.